දැන් මෙන් නොව මීට කලකට පෙර දඩාවතේ යන බල්ලන් ආණ්ඩුවෙන් අල්ලා මරා දැමිණි. එම කාර්යය කළේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ප්‍රධානත්වයෙනි. මරා දැමීමට අල්ලන බල්ලන් දැමීමට ඊට සුදුසු වාහනයක්ද පැමිණේ. එම වාහනයට ගැමියන් කීවේ “බලුවෑන්” එක කියාය. එම වාහනයේ නැගී සෞඛ්‍ය නිලධාරියා සමඟ පැමිණි බල්ලන් අල්ලන පුද්ගලයා හැඳින්වූයේ ‘බලු හබරා’ නමිනි.


එක්තරා ගමක වෙළෙඳසලක් පවත්වාගෙන ගිය අයෙක් සිය දේපළවල ආරක්‍ෂාවට තඩි බල්ලන් දෙදෙනකු ඇති කළේය. දිවා කාලයේ නිදැල්ලේ හැසිරෙන මෙම සුනඛයෝ රාත්‍රී කාලයේ නිතරම බුරමින් රාජකාරිය ඉටුකළහ. කෙසේ වෙතත් දිවා කාලයේ දඩාවතේ යන මේ බල්ලන් දෙදෙනාට බලු හබරාගෙන්ද සමාව ලැබේ. දඩාවතේ යන අනෙකුත් බල්ලන් බලු වෑන් එකෙන් එලොව යද්දී මුදලාලිගේ බල්ලන් දෙදෙනාට පමණක් හැමදාමත් අභයදානය ලැබේ. ඒ පුණ්‍යකර්මයේ බලමහිමයෙන් සෞඛ්‍ය නිලධාරියාට ද මුදලාලිගෙන් පැහැදුම්, සන්තෝෂම් ලැබීම ප්‍රසිද්ධ රහසකි.


වසර ගණනාවක් මෙසේ ගෙවී යද්දී මුදලාලිගේ හිතවත් සෞඛ්‍ය නිලධාරියාට ස්ථාන මාරුවක් ලැබිණි. ඉන් පසුව ප්‍රදේශය බාරව පැමිණි නිලධාරියා නීතිය අකුරටම ඉටු කළ අවංක පුද්ගලයෙකි. පගාව දෙන්නන් මෙන්ම පගාව ගන්නන්ද ඔහුට පෙන්නන්නවත් බැරිය. හරියට නයාට අඳුකොළ මෙනි. ප්‍රදේශයේ වැඩබාරගත් ඔහුගේ ප්‍රථම රාජකාරිය වශයෙන් ඉටු කිරීමට සිදුවූයේද ජලභීතිකා මර්දන වැඩසටහනට අදාළව දඩාවතේ යන බල්ලන් ඇල්ලීමයි.


මුදලාලිගේ බල්ලන් දෙදෙනා ගැන ඔත්තු කීපයක්ම ඒ වන විටත් ඔහුට ලැබී තිබුණෙන් කෙසේ හෝ බල්ලන් දෙදෙනා කොටුකර ගැනීමට ඔහු අදිටන් කර ගත්තේය. බල්ලන් අල්ලන සේවකයාටද ඊට අවශ්‍ය උපදෙස් දුන්නේය. පසුදින එම ප්‍රදේශයට රාජකාරියට යාමට තීරණය විය. කෙසේ වෙතත් එදින උදෑසනම මුදලාලිට ද ආරංචිය ලැබී තිබිණි. මෙම නිලධාරියාගෙන් නම් ගැලවීමක් නැති බව වටහා ගත් ඔහු බල්ලන් දෙදෙනා අල්ලා කාමරයකට දැම්මේය. විකිණීමට තිබුණු කිරි හට්ටි දෙකක්ද, කුණු කරවල කටු තොගයක්ද කෑමට දී කාමරයේ දොර වසා දැම්මේය.


නිලධාරියා පැමිණ ප්‍රදේශය පුරා ඇවිද රාජකාරිය නිමවා යනතුරු බල්ලෝ නිසොල්මනේ කාමරයේ විසූහ.


පසුදින වෙළෙඳසලට පැමිණි පාරිභෝගිකයින් කීපදෙනෙකුට බල්ලන් දෙදෙනා මෙවරද බේරී ඇති බව දැක ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසීමේදී සෞඛ්‍ය නිලධාරියාටද අපහාසයක් එල්ල වන අයුරින් ඔහු කියා ඇත්තේ “ඔව් ඔව් කිරි හට්ටි දෙකකුයි කරෝල කිලෝ එකකුයි දීල තමයි මේ සැරෙත් බේර ගත්තෙ” යනුවෙනි.


කනින් කොණින් මේ පිළිබඳව සෞඛ්‍ය නිලධාරියාටද ආරංචි විණි.


පෙර අයට මෙන්ම තමාටද පැහැදුම් දී බල්ලන් දෙදෙනා බේරාගත් බවට මුදලාලි වහසි බස් දොඩන බව ඔහුට ආරංචි විණි.


සිය සේවා කාලය තුළ එවැනි චෝදනා ලබා නැති නිලධාරියාට මේ කතාව ඇසීමෙන් මල පැන්නේය.


හේ වහාම මුදලාලි හමුවීමට වෙළෙඳසලට ගියේය. මේ කතාව පිළිබඳව විමසුවේය. “නෑ නෑ බුදු මහත්තයෝ මම කිව්වේ බල්ලො දෙන්නට කිරි හට්ටි දෙකකුයි කුණු කරෝල ටිකකුයි කන්න දීලා බේර ගත්ත කියලයි. එහෙම නැතුව මහත්තයට පගාව දීපු කතාවක් මම කිව්වෙ නෑ” මුදලාලි තම නිර්දෝෂි බව කියා සිටියේය. බලවත් අසීරුවට පත් නිලධාරි මහතාට තැනට සුදුසු නුවණ පහළ විය” කුණු කරවල, එහෙනම් තමුන්ගෙ කඬේ කුණු කරවලත් ඇති හ්ම්, බලමු” කියා වෙළෙඳසල පරීක්‍ෂා කළේය.


කුණු කරවල පමණක් නොව කුණු ලූනු, කුණු අල සහ තවත් කල් ඉකුත් වූ භාණ්ඩ තොගයක්ම විකිණීමට තිබියදී සොයා ගැනීමට හැකි විය. ඒ පිළිබඳ මුදලාලිට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කිරීමට නිලධාරියා පියවර ගත්තේ පෙර සිටි නිලධාරියාට සිතින් බැණ වදිමිනි.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)