(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
ඉකුත් සති අන්තයේ දිනෙක අගනුවරට ආසන්න ප්‍රදේශයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතවතුන්ගෙන් උත්සව ශාලාව පිරී යන්නට විය.


ක්‍රම ක්‍රමයෙන් දිවා භෝජනය සඳහා කාලය ළඟා වෙමින් පැවතිණි. කෑමට පෙර බීම අවශ්‍ය අයට ඒ සඳහා ආරාධනා ලැබිණි.


 සෙසු අයට කෑම සඳහා ආරාධනා ලැබුණු අතර ඒ අනුව පිරිස පෝලිමේ ගොස් කෑම බෙදාගෙන තම තමන්ගේ මේස කරා ගොස් කෑම සප්පායම් වූහ. ඇතැම් අය කෑම කා අවසන් වනතුරුත් බීම සප්පායම් වීමට ගිය අය කෑම සඳහා නොපැමිණියහ.


මේ අතර කෑම කා අවසන් වූ කාන්තාවෝ කීප දෙනෙක් ඉඳුල් පිඟන් තැබීමට යමින් සිටියහ. පරිසර හිතකාමියකුගේ මංගල උත්සවයක් වූ බැවින් පොලිතින් කොළවලින් පිඟන් ආවරණය කර නොතිබිණි.


 බොහෝ දෙනා මඟුල් උත්සව වලදී පමණට වඩා කෑම බෙදාගෙන වැඩි ප්‍රමාණයක් පිඟන්වල ඉතුරු කළ ද මෙහි සිටි විශ්‍රාමික ගුරු මාතාවක තමන් බෙදාගත් කෑම ප්‍රමාණය සම්පූර්ණයෙන් අනුභව කොට තිබුණේ එය ඇයගේ යහපත් පුරුද්දක් බැවිනි.


මේ අතර හොඳටම බඹර පදන් වී පැමිණි මැදිවියේ පුද්ගලයෙකි. බමන මත නිසාම ඔහුට පිඟානක් සොයා ගැනීම අපහසු විය. අර කාන්තාව අත තිබූ පිඟාන වෙත ඔහුගේ ඇස ගැටිණි.


“කෝ දෙන්නකෝ අම්මේ ඔන්න ඔය පිඟාන මට” කී ඔහු සේදුවාක් මෙන් පෙනෙන්නට තිබූ ඇයගේ පිඟාන බලෙන් මෙන් ගෙන කෑම බෙදාගන්නට වූයේ එහි සිටි අය තුෂ්නිම්භූතව බලා සිටියදීය.