(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඇය මැදි වයසේ පසුවන කාන්තාවකි. ළඟම ඥාතියෙකුගේ මංගල උත්සවයකට යායුතුව තිබිණි. උත්සවය පැවැත්වෙන්නේද තරු පංතියේ හෝටලයක නිසා ඇඳුම් පැළදුම් මෙන්ම රන් ආභරණ ද අනෙක් අයට වඩා කැපී පෙනෙන අයුරින් පැළඳ යාමට ඇයට අවශ්‍ය වූවාය. එහෙත් අවාසනාවට මෙන් ඇයගේ රන් ආභරණ සියල්ල බැංකුවේ සේප්පුවේය. ගෙදර ඇත්තේ ඒවායේ රිසිට් පත් පමණි.


එනිසා මංගල උත්සවයට පෙර දිනයේ ඇය නගරයට ආවේ ඉමිටේෂන් රන් ආභරණ මිලදී ගැනීමට සිතාය. පදික වේදිකාවේ ඇවිද යනවිට එක් පුද්ගලයෙකු කුඩා පෙට්ටියක් මත තබාගෙන මාල වළලු කූරු හවඩි ඇතුළු විවිධ මාදිලියේ කාන්තාවන් පළඳින  ආභරණ විකුණමින් සිටියේය. ඔහු නිතරම හතර වටේ බලමින් කිසියම් සැකයකින් සිටියත් ඒ බවක් ඇයට වැටහුණේ නැත.


ඇය නතරවී බැලුවාය. ඇයට අවශ්‍ය දේ එහි තිබිණි. වළලු හතරක් අතටගත් ඇය එහි මිල විමසුවාය. “කීයද මේ වළලු හතර”
“නෝනා ඕකෙ පාට වෙනස් වෙන්නේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් තුන්සිය පනහක් දෙන්න” වෙළෙන්දා කීවේය.
වළලු හතර ඇයගේ සිත් ගත් නිසා රුපියල් දෙදහසේ නෝට්ටුවක් වෙළෙන්දා අත තැබූ ඇය ඒවා අතේ පැළඳ හැඩ බලන්නට වූවාය. ඒ සමගම වෙළෙන්දා පෙට්ටිය මත තිබූ ආභරණ සියල්ල පොදි ගසාගෙන වේගයෙන් දුවන්නට විය.බලාපොරොත්තු නොවූ දෙයින් කලබලයට පත් ඇය ද ඔහු පසුපස දුවන්නට වූවාය. එහෙත් ඔහු පසුපස හඹා යාමට ඇයගේ ධාවන වේගය ප්‍රමාණවත් නොවීය. 


ඒ සමගම ඇය ළඟ නතර වූයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි. ඇය හැඬූ කඳුළින් සිද්ධිය  කීවාය.


“නෝනා මේ පේව්මන්ට් එකේ වෙළඳාම තහනම්. එහෙම වෙළඳාම් කරන අය අල්ලලා නඩු දානවා. ඒක තමයි ඔය මනුස්සය දිව්වේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ”


ලැජ්ජාවටත් කනගාටුවටත් පත් ඇය සිදු වූ පාඩුව විඳ දරාගෙන මංගල උත්සවයට සහභාගිවුවද සිද්ධිය කිසිවෙකුටත් කීවේ නැත. එසේ නොකීවේ පැළඳ සිටින්නේ ව්‍යාජ රන් ආභරණ බව අනෙක් අය දැනගන්නා නිසාය.