(පස්ගොඩ තිලක් එච්. ගමගේ)
රජයේ මත්පැන් මිල ඉහළ යාමත් සමග නීති විරෝධී මත්පැන් පෙරීම හා භාවිතය ගම්වල වැඩි විය. කුඹුරේ හේනේ වැඩපළෙහි කාර්යයන් නිමකරන බොහෝ දෙනෙකු හැන්දෑවට මී විත බිඳක් තොලගෑම පුරුද්දකි. අරක්කු බෝතලයක් ගන්නට වත්කමක් නැති බොහෝ දෙනා සවසට කසිප්පු, කරිඤ්ඤං තිප්පළ කරා පිය නැගූහ. නීතියේ රැහැනට කොටු නොවී කොතෙකුත් රහසිගතව පැවැතිය ද මෙම ස්ථාන පිළිබඳ කනින් කොනින් පොලීසියට ඉව වැටේ. සමහරු ඔත්තු දේ.


 මෙම ස්ථානයට සීනි කරිඤ්ඤං බීමට පැමිණියේ හිතවත්ම “කස්ටර්මස්ලා” සීමිත ප්‍රමාණයකි. මෙම මත්පැන් පෙරීම සිදුකළේ නිවසින් ඈත කැලෑ රොදකය. කිසිවකුට නොදැනෙන නොපෙනෙන අයුරින් මෙම කාර්යය සිදුකිරීමට ඔහු වග බලා ගති. මත්පැන් බීමට පැමිණෙන කිසිවෙකු ඔහුගේ නිෂ්පාදනාගාරය ගැන නොදනී.


සීනි කරිඤ්ඤං ජනශූන්‍ය ස්ථානයකදී භාවිත කෙරේ. එහිදී සීමිත කාලයක් තුළ ද රහමෙර පානය කරන සියලු දෙනා විසිරී යාම ආරක්ෂිත හේතූන් මත සිදුවේ. එය අයිතිකරුගේ නීතියකි.


දිනක් අයිතිකරු පුරුදු පරිදි සවස් වරුවේ සීනි කරිඤ්ඤං කළ දෙකක් රැගෙන එන විට දුරතියාම පොලිස් නිලධාරීන් කීප දෙනෙකු සැරිසරනු පෙනිණි. “බඩුත් එක්ක දැන්නම් මාට්ටු” ඔහුට සිතිණි. වට පිට බැලීය. දුවන්නටත් බැරිය පොලීසියට ඇහැගැහෙන්නට පුළුවන. කුමක් කරන්න දැයි සිහියට නොනැඟේ.


හදිසියේම ඔහුට ගණදෙවි නුවණ පහළ විය. තමා පැමිණි අඩි පාරට නුදුරින් පිහිටි අලුතින් වගා කරන ලද “තේ ඉඩම” දිස් විය. වහා එතැනට සේන්දු වූ ඔහු කළයේ තිබූ මත්පැන් ටික ටික හෙමිහිට තේ පැළවලට වත්කර ගෙන යන්නට විය.


 අඩි පාර දිගේ ආ රාලහාමිලා තේ පැළවලට වතුර දාන මිනිහෙක් යැයි සිතා යන්නට ගියහ. පොලීසියේ කනෙන් රිංගූ ඔහු ඔවුන් නොපෙනී යන තෙක් කරිඤ්ඤං කළ දෙකම තේ පැළවලට පූජා කළේය.