(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඔහු මැදිවයසේ පසුවූ පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් නොවූ ඔහු කලක් ඈත පළාතක පේනකරුවෙකු ළඟ ආවතේව කරමින් සිටියේය. පේනකරුගේ දේවාලයට ලැබෙන පඬුරු එකතු කිරීම හැර අනෙක් සියලු දේවල් එකතුකොට ඒවා අවශ්‍ය තැන්වලට ගෙන ගියේ ඔහුය. පලතුරු වෙළඳසලකටත් හඳුන්කූරු කපුරු ආදිය ඒ අසල වෙළඳසලකටත් තිරරෙදි ආදිය ටේලර් සාප්පුවකටත් ගෙනයාම ඔහුගේ රාජකාරියේ කොටසක් විය.


දිනක් ඔහුගේ හිතට අලුත් අදහසක් පහළ විය. “හැමදාම මේ මනුස්සයට ආවතේව කර කර ඉන්නවට වඩා මමත් ගමට ගිහිල්ල පේන කියන්න පටන් ගන්න ඕන” යනුවෙන් ඔහු සිතුවේය. ටික දිනක් යනවිට ඔහු පේනකරුට දක්වන සැලකිල්ල අඩුවන්නට විය. පේනකරු සමඟ හිත් අමනාපයක් ඇතිකර ගත් ඔහු යළිත් ගමට ගියේය. එසේ යනවිට දේවාලයේ තිබූ කුඩා දේව රූප කිහිපයක් ඝණ්ඨාරයක් ඇතුළු දේවාලයකට අවශ්‍ය දේවල් කිහිපයක් ද රැගෙන යාමට අමතක කළේ නැත. කලකට පසු ගමට පැමිණි ඔහු නිවස අසල කුඩා දේවාලයක් ඉදිකර ගත්තේය. දේවාලයේ හඳුන්කූරු කපුරු සුවඳ ගමපුරා හමා යන්නට විය. පුදුමයකි දැන් ඔහු කපු මහතෙකි. දිනපතා සවස කාලයේ දේවාලයේ පෝලිමකි. පේන ඇසීමට පැමිණෙන අයට තර්ජනය කර ඔවුන්ගේ කටින්ම තොරතුරු ලබාගෙන පේන කියන හැටි ඔහු ඉගෙන ගෙන තිබූ නිසා මෙය ඉතා පහසුවිය. පඬුරු ගැනීමෙන් පසු කපුමහතා පේන කියන්නේ පේන අසන්නට එන පුද්ගලයාට පිටු පාලාය. දිනක් පේනයක් කියමින් සිටින විට කපු මහතා මෙසේ කීවේය “දරුවනි, තව සුළු වේලාවකින් මෙම ස්ථානයට ශ්‍රමණ පැවිද්දෙක් වඩින බව මට දෙවියන් පෙන්නුම් කරනවා.” එසේ කියු කපුවා යළිත් පේනය කියන්නට විය.


ඔහුගේ අනාවැකිය සත්‍යයක්ම විය. එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් භික්ෂුන්වහන්සේ නමක් එහි වැඩියහ. එහෙත් උන්වහන්සේ වැඩියේ පේනයක් ඇසීමට නොව වෙනත් කාරණවකටය. මේ අතර පේනයක් ඇසීමට පැමිණ සිටි එක්තරා පුද්ගලයෙක් සෙමින් සෙමින් ඔහුට නොපෙනෙන ලෙස දේවාලයේ පිටතට නොපෙනෙන කොටසට එබී බැලුව්ය. එම පුද්ගලයා දුටුවේ පේන කීමට උපයෝගී කරගන්නා අපූරු උපකරණයකි. කුඩා කණ්ණාඩියක් මුල්ලක සවිකර තිබුණේය. එම කණ්ණාඩිය යොමුකර තිබුණේ කපුවාගේ නිවසට එන පාර දෙසටය. පේන කියන කපුවාට ප්‍රධාන පාරේ සිට ඔහුගේ නිවසට එන තෙක් මේ කණ්ණාඩියෙන් හොඳට දර්ශනය වේ. හාමුදුරුවන් වඩින බව එහි සිටි පුද්ගලයින්ට කපුවා කීවේ මේ කණ්ණාඩිය බලාගෙනය.


දැන් දේවාල භූමියේ කලබලයකි. දෙවියන් පලාගියේය. ඉන්පසු ගමේ මිනිස්සු ඔහු හැඳින්වූයේ කණ්නාඩි කපුවා යන නමිනි. එහෙත් ඔහු වැඩි කලක් ගමේ සිටියේ නැත. ගමට මුහුණ දීමට බැරිවූ කණ්ණාඩි කපුවා යළිත් ගමෙන් ගියේය.