වේලාව රාත්‍රී නවයට පමණය. වසා ඇති ආයතනයක් ඉදිරියේ ආරක්‍ෂක නිලධාරියෙක් රාජකාරියේ යෙ දී සිටියේය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරා “අංකල් චිකන් කොත්තුවක් තියෙනවා කන්නැයි” පවසා පාර්සලයක් ආරක්‍ෂක නිලධාරියා අත තැබීය. “බොහොම ස්තූතියි” ආරක්‍ෂක නිලධාරියා කීය. ඔහු රාත්‍රී ආහාරය ගෙන නොතිබිණි. කෑමට ආශාවක් ඇති වුවත්, නොහඳුනන ත්‍රිරෝද රථ රියදුරා ගැන ඔහුට සැකයක් ඇති විය.

“ඕකේ මොනා දාල ද කව්ද දන්නේ” තමාටම කියාගත් හෙතෙම කොත්තු රොටිය අඩංගු බෑගය කුණු බඳුනට දැම්මේය. ප්ලේන්ටියක් සාදාගත් ඔහු දවාලේ ගෙනා බනිස් ගෙඩිය එහි ඔබා කන්නට වූයේය. කොත්තුව දුන් රියදුරාට ආරක්‍ෂක නිලධාරියා සේවයේ නියුතු ආයතනයට නුදුරින් පිහිටි ත්‍රීරෝද රථගාලේ මිතුරෙකු හමු විය. 


“තාත්තා මැරිලා අදට අවුරුදු දොළහයි. රෑ තමයි මට මතක් වුණේ. ඉතින් මම චිකන් කොත්තුවක් අරන්, රුපියල් දහකුත් බෑග් එකට දාලා අතන හිටපු සිකුරිටි අංකල්ට දුන්නා” යැයි පැවසීය. 


“මිනිහා හොඳ මනුස්සයා” අනෙකා කීය. පසුදින ආරක්‍ෂක නිලධාරියා උදේ ආහාරය සඳහා හෝටලයට යනු දුටු රථගාලේ සිටි හිතවත් ත්‍රීරෝද රථ රියදුරා, “ආ, ඊයේ රෑ වාසියි නේද? චිකන් කොත්තුවක් හම්බ වුණානේ යි” කීය. 


“ඔව්, ඔව්” ආරක්‍ෂක නිලධාරියා කීය. 


“මගේ යාළුවෙක් තමයි දුන්නේ. රුපියල් දහකුත් බෑග් එකට දැම්මා කීවා” මිතුරා පැවසීය. 


“මොනවා” යැයි පුදුමයෙන් පැවසූ ආරක්‍ෂක නිලධාරියා, එක හුස්මට කුණු බඳුන වෙත දිවගොස් කොත්තු පාර්සලය පරීක්‍ෂා කිරීමේ දී රුපියල් දහස නිරුපද්‍රිතව එහි විය. 


ක්‍රිස්ටෝපර් සීපියන් 
අනුරාධපුරය.