(වියලුව වාර්තාකරු)
පිරිසක් ඉදිරියේ නොදන්නා පණ්ඩිතකම් පෙන්වීම්ට ගිය පුද්ගලයකු ඔවුන් ඉදිරියේම බලවත් ලෙස ලැජ්ජාවට පත්වූ පුවතක් වියලුවේ ගම්බද ප්‍රදේශයකින් වාර්තාවේ.


 සිද්ධිය මෙසේය.


 ඔහු පිරිසක්  ඉදිරියේ තම හැකියාවන් පෙන්වා සතුටු වීමට රුචිකත්වයක් දක්වන පුද්ගලයෙකි.


 පසුගිය දිනක ඔහු ගමේ වෙළඳසලක් වෙත ගොඩවූවේ කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නටය.


 ඒ අවස්ථාවේ මළ බද්ධය වැළැක්වීම සඳහා රෝහලකින් නිකුත් කළ ඖෂධ අඩංගු බෝතලයක් ද  රැගෙන එහි පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙකු එහි සිටි තරුණයෙකු අත එය තබමින් ‘අනේ පුතේ මේ බෝතලෙන් බෙහෙත්  බිංදු වැටෙන්නේ නැහැනේ’ යැයි කියා සිටියේ තරුණයා ලවා එය යථා තත්ත්වයට පත් කර ගැනීමේ අටියෙනි. 


 මෙය තමන්ට ලකුණු දාගන්නට හොඳම අවස්ථාවක් යැයි සිතූ පෙර කී පුද්ගලයා තරුණයා අතේ තිබූ බෙහෙත් බඳුන බලෙන්ම අතට ගෙන ‘දෙන්න මම ඕක හදලා දෙන්නම් ඕවගේ ඒවද මම හදලා තියෙන්නේ’ යැයි කියමින් අනාරාධිතවම කටයුත්තට අත ගැසුවේ ඖෂධ පිළිබඳ විශේෂඥයකු පරිද්දෙනි.


 කිසිත් සොයා නොබැලු හෙතෙම බෙහෙත් බෝතලයේ මූඩිය ඉවත් කර එහි බෙහෙත් පිටතට ගලා එන ස්ථානයට කට තබා ඇද්දේ වයෝවෘද්ධ පුද්ගලයා එය වැළැක්වීමට ගත් උත්සාහයද ව්‍යවර්ථ කරමිනි.


බෙහෙත් බෝතලය කටට තබා ඉරීමෙන් පසුව එය නිසි පරිදි ක්‍රියාත්මක වුවද වෙළෙද සල පුරා පැතිර ගියේ සමච්චල් සහගත සිනා හඩකි.


ස්තූති පූර්වකව බෙහෙත් බෝතලය අතට ගත් මහල්ලා ‘අනේ පුතේ මම ඕක කී සැරයක් නම් ගුද මාර්ගයට ඇතුළු කරල මිරිකුවා ද ඒත් වැඩ කළේ නැහැනේ පුතාට පිං සිද්ධ වෙයි’. කියමින් ඔහුට පින් දෙද්දී සෙසු පිරිස යළි යළිත් කොක් හඩලා සිනා සෙන්නට වූවේ හැම දේටම අත දාන ඔහුට සිදුවූ අකරතැබ්බය ගැන එකිනෙකාට පවසමිනි.


පැමිණි කාරණාවත් අමතක කර දැමූ ඔහු නොකඩවා කෙළ ගසමින් හීන් සිරුවේ වෙළද සලෙන් පිටවූවේ ‘මාමා ඕක කලින් කියන්න එපායැයි’ කියා මහල්ලාට ද දොස් පවරමිනි.