(මින්නේරිය සරත් ගුණසිංහ)
මරලතෝනි දෙන රෝගියකු රැගත් ත්‍රීවිලරයක් පවනට බඳු වේගයෙන් පැමිණ රෝහල් කොරිඩෝවේ නැවතිණි. රෝගියාගේ මර ලතෝනිය අසා රෝහලේ හෙදියන් දෙදෙනෙක් එතැනට දිව ආහ.


“මොකද මේ ලතෝනිය” හෙදියක් ඇසුවාය.


“පාත්වෙලා එකේ වේදනාවට කෑ ගහන්නේ” රෝගියා ළඟ සිටි ඔහුගේ බිරිඳ පිළිතුරු දුන්නාය.


“ඉතින් කෑ ගහන්නේ නැතිව ඉන්නකෝ, දැන් ට්‍රොලිය අරන් එයි” ඇය තම ස්වාමියා අස්වැසීමට එසේ තෙපළාය. එහෙත් ඔවුන්ට ලැබුණේ අනපේක්‍ෂිත පිළිතුරකි. 


“මොකද කරන්නේ? දොස්තර වර්ජනයක් බෙහෙත් ටිකක් දෙන්න දොස්තර කෙනෙක් නෑ” හෙදිය කීවාය.


“ඉතින් හත් දෙයියනේ අපි මේ ලෙඩාට මොකද කරන්නේ.” යැයි බිරිඳ හෙදියගෙන් විමසුවාය.


“කරන්න තියෙන්නේ එක දෙයයි. කැමති නම් ලෙඩා හෙට ගේන්න, නැත්නම් ගෙනිහින් ප්‍රයිවට් කර ගන්න. දොස්තර මහත්තයා එතන ඉන්නවා. එතුමා කොහෙවත් යන්න කලින් එතනට යන්න” හෙදිය කීවා.


“හරි එතැන මම දන්නවා. යං එහේට.” යැයි කී ත්‍රීවිල් රියදුරා ඔවුන් රැගෙන ඉගිලුනේ හෙදිය කියා දුන් ප්‍රයිවට් රෝහලටය. එසැණින් රෝගියාගේ බිරිඳ විමසීම් කවුළුවට දිව ගියාය. එහි සිටි සේවිකාවට සිය අවශ්‍යතාව ගැන කීවාය.


“ඕක පොඩි ඔපරේෂන් එකක්. 65000ක් ගෙවලා ලෙඩාව වාට්ටුවට අරගෙන යන්න “එම කීම ඇසූ රෝගියගේ බිරිඳට තරු පෙණුනි. එහිදී ඇය බැගෑපත් වූවාය.


“අනේ නෝනා එච්චර සල්ලි මට නෑ” ඇය කීවාය.


“එහෙනම් දොස්තර මහත්තයා හම්බ වෙලා කතා කර ගන්න. ඕන්න කාමරේ ඉන්නවා.” සේවිකාව එසේ කීවාය. එසැණින් රෝගියාගේ බිරිඳ වෛද්‍යවරයා හමු වූවාය.


“අනේ සර් මගේ මහත්තයාගේ පස්ස පැත්ත පහත් වෙලා. දවස් දෙක තුනක්ම වේදනාවෙන් කෑ ගහනවා. ඔපරේෂන් එකට 65000ක් ඉල්ලනවා. අනේ සර් මට එච්චර සල්ලි නෑ.” 


“නිර්වින්දනය කරලා සැත්කම කරන්න ඒ ගාන අය කරනවා. ඉන්ජෙක්ෂන් ගහලා නම් 35000ක් අය කරනවා.” වෛද්‍යවරයා කීවේය.


“අනේ එච්චර නැහැ සර්”


“එහෙනම් තියෙන්නේ කීය ද?” වෛද්‍යවරයා ඇසුවේය.


“20 ක් විතර සර්” ඇය කීවාය.


“එහෙනම් 25ක් ගෙවලා ලෙඩා වාට්ටුවට අරගෙන එන්න” වෛද්‍යවරයා කීවේය.


වෙනත් කළ හැක්කක් නොදත් ඇය දිවගොස් රු. 25000ක් බැඳ රිසිට්පත රැගෙන වෛද්‍යවරයා ඉදිරියට ආවාය. අනතුරුව රෝගියා වාට්ටුවට ගත් වෛද්‍යවරයා පැය භාගයකට පමණ පසුව පිටත් කර එව්වේය. රෝගියා පා ගමනින්ම තම බිරිඳ හමුවට පැමිණියේය.


ඒ අසල සිටි සේවකයෙක් “ආ.. ආවේ කොහොමද? දැන් කොහොමද ඇවිදගෙන යනවා නේද? ඕනම අමාරු ලෙඩෙක් මෙහාට එක්ක එන්න බය වෙන්න එපා අතේ ඇති මුදලට සැත්කම කරවා ගත හැකි” යැයි ඔහු කීවේය.


“අනේ මගේ කට ඉස්පිරිතාලේ වර්ජනය කරලා පිට වෙදකම් අනේ මෙහෙමත් රටක්” යැයි තමන්ටම කියා ගනිමින් ඇය තම ස්වාමියාත් සමඟ ත්‍රී විලරයෙන් ආපසු පිටව ගියාය.