(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹමින් සිටිය දී එතැනට පැමිණි පරණ පෙම්වතා දුටු ඇය අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විඳීමට ගිය පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.


ගැටවර වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු තම පෙම්වතියන් ද සමග නිවෙස්වලට හොරෙන් මොරගොල්ල මුතුකෙලියාව වැව ඉස්මත්ත පිහිටි ප්‍රදේශයට ගොස් නිදහසේ වැව්සිරි නරඹමින් සිට ඇත.


එසේ ඇවිදිමින් සිටින අතරේ එක් මිතුරෙකුගේ පෙම්වතියගේ පැරණි පෙම්වතා එම ස්ථානයට නොසිතූ මෙහොතක පැමිණ ඇත. ඔහු දැක සතුටින් පිනාගිය ඇය අලුත් පෙම්වතාට බායි කියා පැරණි පෙම්වතාගේ යතුරුපැදියේ නැගී ඉගිල ගොස් ඇත. 


සිද්ධියෙන් කම්පනයට පත් මිතුරන් දෙදෙනා තවත් මිතුරෙකු සමග දුක සංසිඳුවා ගැනීමට පදමට මත්පැන් පානය කොට ඇත. 


හවස් ජාමයේ නැවත නගරයට පැමිණීමට ත්‍රීරෝද රථයේ නැගී පැමිණීමේදී මාර්ග ආරක්ෂාවේ සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු අසුවී බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත පොලිස් කුඩුවේ ලගින්නට ද සිදුවී ඇත.