වෘත්තියෙන් රියැදුරෙකු වූ සිය එකම පුතු මනාලියක් නිවසට කැඳවාගෙන ආවේ මීට දින දෙකකට පෙරය. මංගල උත්සවය  ඉතා ඉහළින් පැවැත්වීමට හැකිවීමත් තම පුතුට රුවැති යහපත් ගතිගුණ ඇති චාම්  යුවතියක් ලැබීම පිළිබඳවත් නැන්දම්මා සිටියේ මහත් සතුටකිනි.


  තාත්තා නැතිවෙනකොට උඹට අවුරුදු හතරයි. මම උඹව ලොකු  මහත් කෙරුවේ හුඟක් දුක් මහන්සි වෙලා. අපේ පවුලට ලැබිල ඉන්න දුව අපේ වාසනාවට ලැබුණ කෙල්ලක්. මට දුවක් නැති වුණාට ඒ මගේම දුවක් වගේ. ගෙදරට ආව දා ඉඳන් ගෙදරත් එක්ක එළිය වැටිලා. ඒ ළමයි ආදරෙන් බලාගන්න ඕනෑ.” අම්මා පුතාට කීය.


ඒ මනාලිය නිවසට පැමිණ ගෙවෙන තුන්වන රාත්‍රියයි.


 මැදියම් රාත්‍රියේ මව තිගැස්සී ඇහැරුණේ ඇය නිදා සිටි කාමරයේ දොර ඇර කව්රුන් හෝ කාමරයට ඇතුළුවනු ඇසීමෙනි. ඇය සිතුවේ කිසියම් අවශ්‍යතාවක් සඳහා පුතා පැමිණ ඇතැයි කියාය. එහෙත් පැමිණ සිටියේ පුතා නොව ඔහුගේ බිරියයි. ලේලිය සිටියේ ඇස්වල කඳුළු පුරවාගෙන මහත්වූ සිත්වේදනාවකිනි. 
“ඇයි දුවේ මොකක් හරි ප්‍රශ්නයක්ද? කරදරයක්ද? පුතාගෙන් වරදක් වුණාද? කලාතුරකින් දවසක එයා පෙඩි අඩියක් ගහනවා. අද වැඩට ගිහින් එනකොට ටිකක් බීලාවත් ආවද?


මහත් කුතුහලයකින් යුතුව නැන්දම්මා විමසුවාය.


“නෑ අම්මේ එහෙම දෙයක් නෑ. එයාගෙන් වරදක් වුණේ නෑ. එයා මට පණ වගේ ආදරෙයි.


කියන්න මගේ දුවේ කියන්න ‘නැන්දම්මා එසේ පැවසුවේ දුව අසලටම ගොස් ඇය සිප වැළඳගනිමිනි.


 අම්මේ මට මේ දවස් දෙකේම රැට හරියට නින්දක් නෑ. දවල් කාලේ තමා ටික වේලාවක් නිදා ගන්නේ. එයා රෑ එළිවෙනකන් ගොරවනවා. ලී ඉරන මැෂිමක සද්දේ වගේ. මට නින්ද යන්නේ නෑ.


 ඔයා දුවේ අද මගේ ඇඳේ නිදා ගන්න. ඔයා කලබල වෙන්න එපා. පුතාට ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කරගෙන යමු. දුව දිගටම මේ ඇදේ නිදාගන්න. පුතාගේ ගොරවන ලෙඬේ සුව වෙනකම්.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)