(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනී)
අහුලාගත් ජංගම දුරකතනයක් අයිතිකරුට නොදී සඟවාගෙන සිටි වැඩිහිටි පුද්ගලයකු ඇඳසිටි සරම ඇතුළෙන් එය නොනවත්වාම නාදවීම නිසා එය අයිතිකරුට ආපසු දීමට සිදුවූ පුවතක් කොළඹ නගරයේ මුහුදු වෙරළ තීරයකින් වාර්තා විය.
 
ඉරිදා සහ පෝය දිනයන්හි වගේම රජයේ නිවාඩු දිනවලත් සවස් කාලයේ මෙම ස්ථානයට කවුරුත් එන්නේ සැඳෑ සිරිය නරඹන්නටය. එදා ද ඉරිදා දවසකි. දුවන පනින සෙල්ලම් කරන කුඩා දරුවන් මෙන්ම තරුණ තරුණියන්, ටික වේලාවක් නිදහසේ ගතකරන්නට කැමැති වැඩිහිටියන් සහ පවුල්පිටින් පැමිණි පිරිස් විනෝදවී තැන් තැන්වලට වී සිටියහ.
 
මොවුන් අතර සිටි තරුණ යුවළකි. ඔවුහු පඳුරක් යට වාඩිවී පෙම් සුව විඳිමින් කතාබහෙහි යෙදී සිටියහ. ඊට නුදුරින් අවුරුදු 60ක් 65ක් පමණ වයසැති සරමකින් සහ කමිසයකින් සැරසී සිටි වැඩිහිටි පුද්ගලයකු අවට සිරිනරඹමින් තනි පංගලමේ වාඩිවී සිටියේය. කෙමෙන් කෙමෙන් හිරු අවරගිරෙන් බැසයන්නට විය. රැය උදා විය. වැල්ලේ සිටි බොහෝ පිරිස් නිවෙස් බලා යන්නට වූහ.
 
කරුවල ටිකෙන් ටික වැඩිවිය. අවසානයේ වැල්ලේ සිටියේ තරුණ යුවළ සහ වැඩිහිටි පුද්ගලයා පමණි. සඳ එළියත් පොළෝ තලය සිපගත්තේය. කාල වේලාව ඉක්ම යන නිසා ජංගම දුරකතනයත් දමා තරුණ යුවළ ද එතැනින් නික්ම ගියහ. වැඩිහිටි පුද්ගලයා එතැනමය.
 
ටික දුරක් ගිය තරුණ යුවළ ආපසු සිටි තැනට පැමිණ ‘අංකල් මෙතැන ෆෝන් එකක් තිබුණේ නැත්දැයි’ වැඩිහිටි පුද්ගලයාගෙන් විමසූහ. ‘මම ෆෝන් එකක් ගත්තෙත් නැහැ. ෆෝන් එකක් දැක්කෙත් නැහැ’ යැයි ඔහු කියා සිටියේ මහත් ආඩම්බරයෙකිනි. ඒ වනවිටත් ඔහු ෆෝන් එක අහුලාගෙන සරම යටට සඟවාගෙන හමාරය.
 
තරුණ යුවළ ෆෝන් එක සොයමින් සිටියදී වැඩිහිටි පුද්ගලයා සිටි දෙසින් ෆෝන් එක නාද වන්නට විය. දිගින් දිගටම ෆෝන් එක නාද වෙමින් පැවතුණි. එහෙත් නාදය නවත්වන්න ඔහුට වෙලාවක් තිබුණේ නැත. ‘ඔය ඇහෙන්නේ අපේ ෆෝන් එක’ යැයි ඔවුහු ඔහුට පැවසූහ.
 
අන්තිමේදී තරුණ යුවළ ‘අංකල් ෆෝන් එක ගත්තා නම් දෙන්න. අපි පොලිසියට යන්නේ නැතැයි’ කියූවිට සරම යටින් ෆෝන් එක ගෙන ඔවුන්ට දී වැඩිහිටි පුද්ගලයා ලජ්ජාවෙන් මිරිකී පසුපස නොබලාම යන්නට ගියේය.