(හොරණ - වික්‍රමරත්න වල්පිට)
හොරණ බස් නැවතුමට ආශ්‍රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ. 


නගරයට නුදුරු ගමක වෙසෙන ඔහු කාර්යාලයක සේවකයෙකි. ඔහු කාර්යාලයට යන්නේ කෑම පාර්සලය බට පෙට්ටියක ඔබා එය රෙදි බෑගයක දමා කරේ එල්ලාගෙනය. බැලු බැල්මට නයි නටවන්නකු ලෙස සැමදා දෘශ්‍යමාන වන මොහු හට ගමේ තරුණ ගැටව් අන්වර්ථ  නාමයකින් හැඳින්වූයේ “නයි වෙද මහත්තයා”  යනුවෙනි.


 ඔහු එදිනද කාර්යාලයේ වැඩ නිමවා ලහි ලහියේ දිව විත් බස්රථයට නැග ගත්තේ බස්රථයේ හිරවෙමිනි. සෙනඟ අතර හිරවෙමින් සිටගෙන සිටි ඔහු හිස් කෑම පෙට්ටිය සහිත රෙදි බෑගය අසුනක වාඩි වී සිටි කාන්තාවකට තියා ගන්නට දුන්නේ සිටගෙන සිටීමට පවා අසීරු තත්ත්වයක සිටි නිසාය.


 මේ අතර මගීන් අතර සිරවී සිටි ගමේ තරුණ ගැටයකුද ඔවුන් විසින්ම “නයි වෙද මහත්තයා” යනුවෙන් හඳුන්වන කාර්යාල සේවකයා ළඟට පැමිණියේ සෙනඟ අතර හිරවෙමිනි. 


කාර්යාල සේවකයා ළඟට පැමිණි තරුණ ගැටයා ඔහු කතාවට  පටලවා ගන්නට අර ඇන්දේ මෙලෙසිනි.


 “ආ.... වෙද .... මහත්තයා.. අදත්... නයි.... නටවල... වගෙයි...... නයි පැටියටත් මහන්සි.....ඇති... සද්දෙ... නැත්තේ...”


විහිළුවටත්, කටකාරකමටත්, අනුන්ට ‘ලණු’ දීමටත් දක්‍ෂ මෙම ගැටයා කාන්තාව සමීපයේ ඇති රෙදි බෑගයට තට්ටුවක් දැම්මේය.


 “ඔව්... අපිටත්... මහින්සියි.... කාටත් මහන්සියි..” කියමින් කාර්යාල සේවකයා කතාවෙන් ලිස්සා යෑමට තැත් කළේය. මේ සංවාදයට හොඳින් සවන් දුන් රෙදි බෑගය ළඟ තබාගෙන වාඩිවී සිටි කාන්තාවට ඒත්තු ගියේ මේ බෑගය තුළ නාගයෙක් අති බවටය. ඇය වහා කෝපයෙන් රෙදි බෑගය  අසුනට විසිකර “ඔහෙල.. අපිට දෙන්නෙ නයිමයි.” කියා කෑ ගසා සෙනග අතර හිරවෙමින් බසයෙන්  බැස්සාය.


තුෂ්ණිම්භූතව සිටි කාර්යාල සේවකයා වට පිට නොබලාම අසුනේ වාඩිවිය.


දැන්.... ඉතින්.... ගෙදරට... යනකන්... වාඩිවෙලා ... ගිය හැකි....  අතින් කට වසා ගෙන සිනහවෙමින් සිටි තරුණ ගැටයා පවසන විට ගමන ආරම්භ කරන්නට බසය පණ ගැන්වීය.