(ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර)
සිල්වා මහතා රජයේ සේවයේ නියුතු පුද්ගලයෙකි. වයස අවුරුදු පනස් පහකි. ධනවත් පවුලක කාන්තාවක සමඟ විවාහ වූ ඔහුට අතමිට මිල මුදල් යහතින් තිබුණි.


ඔහු හොඳින් ආහාරපාන ගන්නා පුද්ගලයෙකි. දිනෙන් දින ශරීරය ද තරබාරු විය. හොඳින් කා බී කාලය ගත කරන ඔහුට ශරීරය වෙහෙසා වැඩක් කරන්නට කාලයක් නොමැත.


“ඔයා ඉඳලා හිටලාවත් ගෙදර වැඩකටත් උදව් වෙන්ඩ නැත්නම් ඔහොම නිකන් ඉඳලා ලෙඩක් හැදෙයි” යැයි බිරිඳ නිතර නිතර පැවැසුවේය. එහෙත් සිල්වා මහතා ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.


“ඉන්න ටිකේ හොඳට කාලා බීලා ඉන්න ඕනේ” යැයි ඔහු පැවැසුවේය.


හිටි හැටියේ පසුගිය සතියේ සිල්වා මහතා අසනීප විය. වාහනයක් ගෙන්වා ගෙන හැකි  ඉක්මනින් රෝහල වෙත ගෙන ගියේය.
“ශරීරයට ව්‍යායාම නැති නිසා තමයි මේ ලෙඩවෙලා තියෙන්නේ. දවසකට පැය භාගයක්වත් ඇඟ මහන්සි කරලා වැඩ කරන්ඩ ඕනේ” යැයි වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.


සිල්වා මහතා එම උපදෙස් හිස මුදුනින්ම පිළිගෙන නිවසට පැමිණියේය. පසු දින සිට ඇඟ වෙහෙසා වැඩ කරන්නට සිතට ගත්හ. 
පසු දින රජයේ නිවාඩු දිනයකි. පොල් සිටුවීමට වළවල් කීපයක් කැපීමට පටන් ගත්හ. අඩි හතරක පමණ වළක් කපා අවසන් කළේය. දෙවෙනි වළ කැපීමට පටන් ගත්හ. එහි අඩි භාගයක්වත් කපා අවසන් කරන්නට නොහැකි විය.


පොල් වළ තුළටම සිල්වා මහතා ක්ලාන්ත වී ඇද වැටුණේය. බිරිය වාහනයක් ගෙන්වා ගෙන මුල දී ප්‍රතිකාර ගත් වෛද්‍යවරයා වෙතටම රැගෙන ගියේය.


සිල්වා මහතා දුටු වෛද්‍යවරයා සිනාසෙන්නට විය. සිල්වා මහතාට කිසිවක් තේරුම් ගැනීමට නොහැකිය.


“ඔය මහත්තයා අවුරුදු ගණන් වැඩක් කෙරුවේ නැහැනේ. මම කීවේ පොඩි පොඩි ව්‍යායාම කරන්ඩ කියලා. ඔය වාගෙ ලොකු වැඩ කෙරුවා නම් ප්‍රෙෂර් වැඩි වෙලා මැරිලා යයි” යනුවෙන් වෛද්‍යවරයා පැවැසුවේය.


සිල්වා මහතා ලැජ්ජාවට පත්විය. වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම කරන්නට සිතට ගත්තේය.