(උණවටුන ඩී. ජී. සුගතපාල)

ඇය විසිපස් හැවිරිදිය. රූමත්ය. පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයේය. වෙළඳසලක සේවිකාවකි. ඇයගේ විනෝදාංශය වූයේ නිවාඩු ඇති සෑම විටකම තම ජංගම දුරකතනයේ රැඳී සිටීමය.

එසේ සිටි අවස්ථාවක ලැබුණ ඇමතුමකි. එය ඇය දන්නා හඳුනන කෙනෙකුගෙ න් නොවීය. එහෙත් ඇය ඒ බවක් හැඟවුයේ නැත. දුරකතනයෙන් ගලා ආ පිරිමි කටහඬ කෙරෙහි ඇය තව තවත් උනන්දු වුවාය. අනේ සොරි මම වැරදි නම්බරේකට අරගෙන තියෙන්නේ. අයියෝ ඒකට කමක් නැහැ. අපි ටිකක් කතා කරමු.

මං ආසයි ඔයා අඳුර ගන්න. මොන පළාතෙද? ඇයගේ සිය ග ණනක් ප්‍රශ්නවල කෙළවරක් නැත. මම ගාල්ලේ ඔහු කීවේය. මම ගම්පහ ඇය කීවාය. සති දෙකක් පුරාවට දිනපතා දිවා රාත්‍රි දෙදෙනාගේ දුරකතන දෙකට විවේකයක් නැත. සති දෙක අවසානයේ ඇය ඉදිරිපත් කළ ඉල්ලීමකි. ඔයා හෙට කැලණි පන්සලට යන්න කොටුවේ ස්ටේෂන් එක ළඟට එන්න. මං එතැන ඉන්නම්. තරුණියක සමග පැය කිහිපයක් හෝ ගත කරන්නට ලැබීම ගැන සතුටු වූ ඔහු ඉල්ලීමට එකඟ විය. දෙදෙනා හඳුනා ගැනීම සඳහා ඇඳගෙන එන ඇඳුම් පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කෙරිණි. නියමිත පරිදි දෙදෙනා මුණ ගැසිනි.

මෙතරම් ලස්සන තරුණියක සමග සිටින්නට ලැබීම වාසනාවක් යැයි ඔහු සිතුවේය. දෙදෙනා අත්වැල් පටලාගෙන කොළඹ රවුමක් ඇවිද සයිවර් කඩයකට ගොඩවී තොසේ කෑහ. අපි ගාලු ගිහිල්ල පන්සල් යමු. ඔහුගේ ඉල්ලීම ඉවත දැමීමට දැන් ඇයට නොහැක. දෙදෙනා ගාල්ල බස් නැවතුමෙන් බසින විට රාත්‍රී අට පසුවී තිබිණි. දෙදෙනාගේම අතේ එතරම් මුදලක් නැත. ඔහු ඇයගේ අත් බෑගය හැර බැලුවේය. එහි වූයේ සුවඳ විලවුන් කුප්පියක් කුඩා ඇඳ ඇතිරිල්ලක් පමණි.

දෙදෙනාටම දැන් යන එනමං නැත. හෝටලයක කාමරයකට යාමටද දෙදෙනාටම අතේ මුදල් නැත. තරුණයා ඇය සමග හෙමින් ඇවිද ගෙන ගොස් වෙළඳ සලක් පිටුපස පදික වේදිකාවට ගොඩවිය. තරුණිය බෑගයේ තිබූ ඇතිරිල්ල ගෙන බිම එලුවාය. හොඳ වෙලාවට ඔයා බෙඞ් ෂීට් එකක් ගෙ නාවේ. ඔහු කීවේය. සිරිපොද වැස්සේ දෙන්නා තුරුලු වුවත් වැඩි වේලාවක් එසේ සිටින්නට නොහැකි විය.

එවිට වේලාව රාත්‍රි එකොළහයි හතළිස් පහට පමණ ඇත. ජංගම සංචාරයේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක උදය සාන්ත මහතා දෙදෙනා පොලිසියට කැඳවාගෙන ආවේය. පසුදින තරුණියගේ සහෝදරියකට දුරකතන ඇමතුමක්දී ගෙන්වා ඇය බාර දුන් අතර විසි දෙහැවිරිදි තරුණයාගේ මවට දුරකතන ඇමතුමක් දී ගෙන්වාගෙන ඔහු බාර දුන්නේය.