මේ කාලයේ අධ්‍යාපනය එහෙම පිටින්ම වෙනස් වූවකි.

පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංති යෑම අත්‍යඅවශ්‍ය දෙයක් බවට පෙරළී හමාරය. සමහර මව්පියන්ට ඒකත් හිතට මදිය. ගුරුවරු ගෙදරට ගෙන්වා වෙනම ඉගෙන ගැනීමේ කලාවක් දරුවන්ට හඳුන්වාදී ඇත්තේ එහෙම ඉල්ලුමකුත් ඇති නිසාය. මේ කියන මවටත් පියාටත් තිබූ එකම අරමුණ දියණියට හොඳට ඉගැන්වීමය. ඒ සඳහා අත දිගහැර වියදම් කළේ ඒ නිසාය. මොවුන් පදිංචිව සිටියේ යක්කලය. ගණිත ගුරුවරිය නිවසට ආවේ සතියකට වරකි. ටික දිනක් යනවිට ගුරුවරිය ගැන ලොකු පැහැදීමක් කා තුළත් ඇතිවිය.

ටීචර් නිවසට ආවේ බොහෝ විට මේ මවත් පියාත් රාජකාරිවලට නිවසින් පිටත්ව ගිය දිනවලය. “කෝ අනේ මෙතන තිබුණු ෆෝන් එක” සාලයේ තබා ගිය ජංගම දුරකථනය තිබූ තැන නැත. කොහෝ හරි වැටෙන්න ඇති. “තාත්තේ මගේ ඩික්ෂනරිය ගත්තද” ඊළඟ සතියේ ඩික්ෂනරියද නැත” මාර වැඩක්නෙ ගෙදර බඩුමුට්ටු නැති වෙන්න අරන්. මේ අතර ගුරුවරියද නිවසට පැමිණ ආපසු ගියද ගුරුවරියක් මේ බඩු සොරකම් කරනවා ඇතැයි ඒ අය තුන්සිතකින්වත් සිතුවේ නැත.

මේ අතර ටියුෂන් ගාස්තුවලට අමතරව රුපියල් දෙතුන්දාහ අතමාරු කරගන්නට තරම් ගුරුවරිය විශ්වාසය දිනා සිටියාය. ඊළඟ දවසේ බලන විට නිවසේ තිබූ වටිනා හැඳි ගෑරුප්පු හා පිඟන් කිහිපයක්ද අතුරුදන්ය. “කවුරුවත්ම නොවෙයි මේ ඔක්කොම කළේ ඔය ගුරුවරිය....” හොරකම ගැන අහන්න ගුරුවරියට කතා කළද ඇයගේ ජංගම දුරකතනය විසන්ධි කර හමාරය. අදටත් ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්විට ඇහෙන්නේ ඔබ ඇමතූ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නැත. පසුව අමතන්න කියාය. පසුව ගත්තත් කියන්නේ ඒ ටිකම යැයි සැමියා බිරිඳට කීවේ බිරිඳ හොයාගෙන ආ ගුරුවරිය මරු බඩුවක් යැයි නොකියා කියමිනි.

 

(ශිරාන් රණසිංහ)