කොළඹ මහ බස් පොළේ මගීහු නිතර පිරී සිටිති. ඔවුන්ගෙන් යමක් ඉල්ලාගෙන යැපෙන යාචකයෝ ද නිතර මෙහි වෙති.

සැඳෑ කාලයේ බස් රථවලට ගොඩවදින අපූරු යාචකයෙකි. ඔහුට කතා කළ නොහැකි බව අභිනයෙන් කියමින් දෙසවනද නෑසෙන බව කියන ඔහු කීයක් හෝ ඉල්ලා බස්වලට නගී. ඔහු දෙස බලා අනුකම්පාවෙන් ආධාර කරන අයද කොතෙකුත් වෙති.

ඔහු කතා කළ නොහැකි බව දෙසවන් බිහිරි බව අභිනයෙන් කියා පාන සැටි අපූරුය. ඔහු ඉල්ලන්නේ ඇඟිල්ල දිගු කොට එකකි. එය කෑමට බව ද අඟවයි. මේ ගොළු හිඟන්නා කාටත් මතකය. විශේෂයෙන් නිතර කොළඹ යන එන අයට ඔහු හොඳහැටි මතකය. ඉකුත් දිනෙක ඔහු බසයට නැංගේ කිහිලිකරු දෙකක වාරුවෙනි. මට සිතුණේ මේ අසරණයා තවත් අසරණවී ඇති බවකි. ඔහුට කිහිලිකරු දෙක නිසා අභිනයෙන් යමක් කියා පෑමටද නොහැකිය. මොහු හිඟාකද්දී බසයක හැපෙන්න ඇති යැයි සිතූ මම ඔහුට කීයක් හෝ දිය යුතුයැයි සිතීමි. මම සාක්කුවට අත දමා රුපියල් විස්සේ කොළයක් ගත්තේ ඔහුට දීමටය.

බසයට නැගුණු මේ අසරණයා අමාරුවෙන් හරිබරි ගැහී සිට ගත්තේය. “අනේ මහතුනේ මට වෙලා තියෙන විපත්තිය බලන්න. මම ඇත්තම කියන්නම්” ගොළුවා කතා කළේය. මම පුදුමයට පත්වීමි. බසයේ සිටි සියල්ලටම සිනාය. මම මගේ රුපියල් විස්ස ආපසු සාක්කුවේ දමා ගතිමි. (දූනගහ - බටේපොල විජයසිරි)