(උණවටුන ඩී.ජී. සුගතපාල)
රාජ්‍ය ආයතනයක් වාර්ෂිකව පිරිත් පිංකමක් පැවැත්වූයේ ය. එයට  කාර්යාලයේ සියලුම නිලධාරින් සහභාගිවූ අතර දිස්ත්‍රික්කයේ වෙනත් ආයතනවල බොහෝ රාජ්‍ය නිලධාරින් ද සහභාගිවීම සිරිතකි. මෙවර ද පිරිත් පිංකම පැවැත්විණි.


කාර්යාලයේ එක් එක් ආයතන පිරිතට සහ උදෑසන හීල දානයට අවශ්‍ය දේ වෙන් වෙන්ව බාර ගෙන සිටියේය. පිරිත අවසන්වී උදෑසන හීල දානය පිරිනැමීමෙන් පසු  එයට සහභාගිවූ බොහෝ දෙනාට අවශ්‍ය ඉක්මනින්ම ගෙදර යාමටය. මුළු  රැයක් පුරා නිදි වරා සිටීම නිසා සමහරු හිටගෙන පවා නිදා වැටුණාහ.


සියල්ල අවසන්වීමෙන් පසු එක් නිලධාරියෙක් නුවර බලා යාමට ගාල්ල බස් නැවතුම්පොළෙන් කඩවත සුඛෝපභෝගි බස් රථයකට ගොඩවිය. වායු සමනය කර තිබූ බස් රථය කඩවතට පැමිණෙනතුරු ඔහු නිදා ගත්තේය. කඩවතින් ඔහු නුවර බසයකට ගොඩවිය. පුදුම වාසනාවකි. බසයේ මගින් හත් අට දෙනෙකුට වැඩිය සිටියේ නැත. සමහර විට එය ලං.ග.ම.බස් රථයක් නිසාදෝයි ඔහු සිතුවේය. පිටුපස අසුණේ වාඩිවූ නිලධාරියා සැප නින්දකට වැටුණේය.


ටික වේලාවකදී එක්වරම ඔහුට ඇහැ ඇරිණි. ඇස් පිසදා වටපිට බැලුවේ බසය නුවරට පැමිණ ඇතියි සිතාය. එහෙත් ඔහු නගරයක් දුටුවේ නැත. හතර වටේටම දුටුවේ ලං.ග.ම බස්රථ ගාල්කර තිබෙන අයුරුය. යකඩ තලන හඬවල්ද උස් හඬින්  කතා කරන මිනිසුන්ගේ කටහඩවල් ඔහුට ඇසෙන්නට විය. බසයේ කිසිවෙකුත් නැත. වටපිට බැලිමේදී එය කඩවත ඩිපෝව බව දැන ගත්තේ ය.


ඔහු බෑගය කරේ එල්ලාගෙන බසයෙන් බැස්සේය. රියැදුරා සහ කොන්දොස්තර කාර්මිකයෙකු සමග එන්ජිම ගලවාගෙන සිටියේය. ඔහු බසයෙන් බසිනු දුටු කොන්දොස්තර “අයියෝ මහත්තයා නින්ද ගියාද බස් එක පස්යාලෙදි කැඩුණා. හිටපු කට්ටිය වෙන බස එකකට දාලා අපි මේ ඩිපෝ එකට ආවා. මහත්තයගේ ටිකට් එකේ සල්ලි දෙන්න විදියකුත් නැහැ. මම සල්ලි බැන්දා” කීවේය.


“එහෙමද “කියූ ඔහු අසල තිබූ කරාමයකින් මුහුණ සෝදාගෙන පාරට පැමිණ පසුම්බිය දිගහැර බැලුවේය. නුවරට යාමට  මුදල් ඇත. කඩයකට ගොස් තේ එකක් බී යළිත් නුවර බසයකට නැගගත් ඔහු මහත් අමාරුවෙන් නුවරට එන තුරුම අවදියෙන් සිටියේය.