මේ ගෙවන කාල වකවානුව කොයි කාටත් අමාරු කාලයි. ආහාරපානවල සිට සෑම දෙයකම මිල ගණන් වැඩිවන්නේ ටැක්සියක මීටරය වෙනස්වන ලෙසිනි.


මේ කියන තාත්තාටද නැති බැරි අමාරුකම් තදින් දැනෙන්නට ගත්තේ හදිසියේ ඩෙංගු රෝගයට ඔහු ගොදුරු වූ නිසාය.


ඇඟේපතේ හයිහත්තියෙන් පවුලක් නඩත්තු කළ මොහු කම්කරුවෙකි. අසනීප වූ නිසා වැඩ කිරීමට නොහැකිව ඔහු දස අතේ කල්පනා කළේ ගේ හරියෙ මිරිස්කරලක් නෑ කියා බිරිඳ කියන්නට ගත් පසුවය. පුතේ මෙහෙ වරෙන් පුතුන් සමග එකතුවී නිවසේ ගොඩගසා තිබූ පරණ පත්තර, පොත්පත් සහ බෝතල් එකතු කර ගොඩගැසුණේ අන්තිම තුරුම්පුව ගසමිනි.


නිවසේ තිබූ ලට්ට ලොට්ට විකුණා හෝ බඩ වියත රැක ගත යුතුය. පියාට සිතිණි. යකඩ බඩු කඬේ මුදලාලි නිවසට ආවේ යැවූ පණිවුඩයකට අනුවය. බඩු ටික රැගෙන මුදලාලි යන්නට ගියේ බඩු පැටවූ ලොරියද එළවාගෙනය.


අම්මේ මගේ පොත්ටික කෝ එදින සවස පුතු මවගෙන් අසන්නට වූයේ පාසල් පොත් ටික තිබ්බ තැන නැතැයි කියමිනි. බුලත් විටක් සප්පායම් වෙමින් සිටි පියා ගෙට එබී බැලුවේ මළ හත්තිලව්වයි සිතමිනි.


පුතේ මම ඔතන තිබ්බ පොත්ටිකක් පරණ පත්තර මුලලාලිට දීලා දැම්මා.


පුතාට තරු පෙනිනි. පිය පුතු දෙදෙනා ඒ මොහොතේම පොත්ටික සොයා පරණ පත්තර කඬේට ගියත් ඒ වනවිටත් පරණ බෝතල්, පරණ යකඩ එක්කම දරුවාගේ අලුත් පොත් ටිකත් කොළඹට පටවා තිබිණි.


වෙච්ච දෙයක්. කොරේ පිටට මරේ කියන්නෙ ඕකට තමයි. අසරණ පියා පුතුගෙන් සමාව ඉල්ලද්දී පුතුගේ නෙත් කඳුළින්පිරී ගියේය. පව් දුප්පත් තාත්තා. පුතු නිශ්ශබ්ද වූයේ දැන් කතාකර වැඩක් නැතැයි තේරුම්ගිය නිසාය.


ශිරාන් රණසිංහ