(ලුණුවිල - ආර්. ප්‍රනාන්දුපුල්ලේ)
තම මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට යාමට තමන්ටය කියා නියමිත සුදුසු ඇඳුම් කට්ටලයක් නොතිබූ බස් කොන්දොස්තරවරයකු කිරිමැටියාන නගරයේ ඇඳුම් මසන හා ඇඳුම් කුලියට දෙන ස්ථානයකින් වැඬේ කරගෙන පසුදාම ගෙනැවිත් භාරදෙන බව කියා රුපියල් හත්සියයක කුලියකට කෝට් එකක් රැගෙන ගොස් කට්ටි පනිමින් සිට මාස කීපයකට පසුව කෝට් හිමියාට මුණගැසී අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ සිද්ධියකි මේ. 


හිතවත්ම මිතුරකුගේ විවාහ මංගල උත්සවයට ලද ආරාධනය සතුටින් පිළිගත්තත් ඊට සහභාගිවීමට තරම් සුදුසු ඇඳුමක් මැසීමට අඩුම තරමේ රුපියල් හත්දාහක් පමණ වැයවන හෙයින් ඔහු රුපියල් හත්සියයකට දවසේ කුලියට කෝට් එකක් ලබාගත්තේ තමා සතු හුරුපුරුදු කලිසමේ පාටට සරිලන අන්දමිනි. තම මිතුරාගේ මංගල ගමනේ වැඩ නිමාවට පත්වුවත් කුලී පදනම මත ගත් කෝට් එකෙන් තවත් එවැනිම ගමන් කීපයක අවශ්‍යතා ඉටුකරගත් මෙම පුද්ගලයා එම ඇඳුම ආපසු ගෙනවිත් හිමිකරුට භාරදීම පස්සට තබා නිහඬවීමත් සමගම ඔහුට එය ආපසු භාරදීම ද අමතක වී ගියේය.


කෝට් හිමිකරු මාස කීපයක්ම බලා සිට බැරිම තැන තම සගයන් කීපදෙනෙකු අත ඔහුට පණිවිඩ යැව්වේ එය විගස ආපසු ගෙනැවිත් භාරදෙන ලෙස වුවත් ලැජ්ජාව නිසාම ඔහු ඒ කිසිවකට කන්දීමක් කළේ නැත. කෝට් හිමියා දැඩි කෝපයට පත්ව කවදා හෝ ඔහු මුණගැසෙතැයි බලා සිටි අවස්ථාවක කිරිමැටියාන නගරයේදී දෙදෙනා මුණගැසුණි.


‘මගෙ කෝට් එකට මොකද කළේ. ඔයවගේ ජරාවැඩ කරන්න එපා’. කෝට් හිමියා දෙනෝදාහක් බලා සිටියදී බැණගෙන බැණගෙන යද්දී අදාළ පුද්ගලයාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඒ අසල විය. 


‘ඇයි මම කෝට් එකට සල්ලි දීලනෙ ඔයාගෙන් අරන්ගියේ’. ඒ ඔහුගේ පිළිතුර විය. ‘රුපියල් හත්සියයට කෝට් එකක් දෙනවද ඕයි. ඕක හත්දාහක් විතර වටිනා කෝට් එකක්. ඔහෙට ඕක දුන්නෙත් දවසේ කුලියටයි’. හිමිකරු යළිත් පෙරළා බැණ වැදුණි. 


‘මම හිතුවෙ කෝට් එකේ වටිනාකම රුපියල් හත්සීයක් බව’ කියමින් අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් විගස පලා ගියත් මේ වනතුරු ඔහුට සිදු වූ දෙයක් සොයාගත නොහැකිව ඇත.