මොවුන් දෙදෙනා ගජ මිතුරන්ය. එකම ගමේ එකම වයසේ උන් මොවුන් දෙදෙනා කුඩා කල සිටම හැදී වැඩුණේ එකටමය. කොටින්ම දෙදෙනා එක බඩවැල කඩාගෙන පැමිණි සොයුරන් තරමට එකටම සිටි දෙදෙනෙකි. 


කරදඬු උස් වී තරුණ වියට පත් වූ දෙදෙනා ඊළඟට මුහුණ දුන්නේ රස්සාවක් සොයා ගැනීමේ අභියෝගයටය. 


‘මෙහෙම ඉඳල හරි යන්නේ නෑ. රස්සාවක් හොයාගන්න මහන්සි වෙන්න ඕනේ’. දෙදෙනා ඉරිදා පුවත්පත් ගෙන රැකියා ඇබෑර්තු බලා ඉල්ලුම් කළ ද, සම්මුඛ පරීක්ෂණවලට ගියද රස්සාවක් ලැබුණේ නැත. 


‘ඩ්‍රැයිවින් හරි කමක් නෑ මම යනවා’. එසේ කියා ඉරිදා පත්තරයක් ගෙන රියැදුරු ඇබෑර්තු බලන්නට එකෙකු තීරණය කළේ අන්තිම තුරුම්පුව ගසමිනි. 


‘වැදගත් මහත්මයකු රියැදුරෙකු සොයයි. පැමිණ හමුවන්න’. දැන්වීමේ කොළය ද රැගෙන දෙදෙනා මීරිගම සිට බම්බලපිටියට ගියේ පසුගිය සතියේය. 


‘සර්.... රියැදුරු ඇබෑර්තුව දැකලා ආවේ’. 


කරුණු කාරණා විමසූ ඒ මහතා එක් තරුණයෙක් රැකියාවට තෝරා ගත්තේ රියැදුරකු අත්‍යවශ්‍යව තිබූ නිසාය. 


‘හොඳයි. මට පිටකොටුවට යන්න ඕනේ. ඔයාම කාර් එක ගන්නකො’ කියා ඒ මහත්තයා මෝටර් රථයේ ඉදිරි ඇසුණේ වාඩිවූයේ රියැදුරු තරුණයා සමග ආ මිතුරාට පිටුපස අසුන දෙමිනි. 


අතුරු මාර්ගය ඔස්සේ මෝටර් රථය ධාවනය කළේ මෙකී අලුත් තරුණ රියැදුරුය. 


ගාලු පාරට ළං විය. 


රියැදුරුගේ ඉහෙන් කනින් දහඩිය වැගිරෙන්නට විය. 


‘මොකද ළමයෝ අසනීපයක්ද?’ 


‘නෑ සර්.... මට මීට එහානම් එළවන්න බෑ. අප්පේ.... වාහන ගොඩ” ඔහුට කියවිණි. 


‘ළමයෝ මේ ටික එන්න නම් මට ඩ්‍රයිවර්ලා අවශ්‍ය නෑ. මේ රුපියල් 200 ත් අරන් ගිහින් වෙන රස්සාවක් හොයාගන්න’. 


ඒ රස්සාවත් ගහලා ගියා කියමින් දෙදෙනා ගියේ දුකෙනි. 

ශිරාන් රණසිංහ