දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිතව ඇති ග්‍රාමසේවා කාර්යාලයකි. උදේ පාන්දරම එහි දිව ආ මැදිවියේ පුද්ගලයකු ග්‍රාමසේවා කාර්යාලයට ගොඩ වූයේ පැමිණිල්ලක් කිරීමටය.


 දැඩි නොසන්සුන්තාවකින් සිටි ඔහු තම නිවෙසෙහි වූ කාමරයක කුරුඳු තැලීමට පැමිණ එහි නතර වී සිටි තරුණයින් දෙදෙනකු තලන ලද කුරුඳු මිටි කීපයක් රැගෙන අතුරුදන්ව ඇති බව පැවසුවේ දැඩි නොසන්සුන් බවකිනි. “එතකොට තමුන් ගෙදර සිටියේ නැද්දැයි” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ පෞද්ගලික ආයතනයක මුර සේවයේ යෙදී සිටින තමා එදින රාත්‍රි මුර රාජකාරියේ යෙදුන බවකි.


 මේ පිළිබඳව තොරතුරු තම පොතේ සටහන් කරගත් ග්‍රාම සේවක ඒ වනවිට ගෙදර සිටියේ කවුදැයි විමසීය. “දුවයි, පවුලයි ගෙදර ඉඳලා තියෙනවා” ඔහු කීවේ දුකෙනි. 


ඉතිං දුවගෙන් ඇහුවෙ නැද්ද? ග්‍රාමසේවක විමසීය.


“එයත් උන් එක්කම පැනල ගිහින්” යැයි ඔහු කීය. “හත්ඉලව්වයි... ඕක කලින් කියන්න එපායෑ.  ඔය කුරුඳු ටිකට වැඩිය දුව වටින්නෙ නැද්ද?” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ තමා විවාහවීමේදී බිරියත් සමඟම ආ ඇය තමාගේම දියණියක නොවන බවය.


 “ඉතිං බිරිඳගෙන් ඇහුවෙ නැද්ද?” ග්‍රාමසේවක යළි විමසුවේ මද තරහවකිනි.


“එයත් උන් එක්කම ගිහිං” එවර ඔහු කීවේ ඉවත බලාගෙනය. 


“යකෝ මේක හතර බීරි කතාවක්නේ” කී ග්‍රාමසේවක “ඇයි ඕවා කලින් නොකීවේ මේක මම පොතේ ලියාගන්නම්. පොලිසියට ගිහිං පැමිණිල්ලක් කරනවා” කීවේ පොත වසා දමමිනි.


 “පොලිසි යන්න ලැජ්ජයි රාලහාමි” ඔහු කීය.


“එහෙනම් පාඩුවයි, ලැජ්ජාවයි දෙකම තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා” ග්‍රාමසේවක කීවේ කෝපයෙන්ලු. 

(තිහගොඩ - උපසේන ලියනගම)