මා යට කළ කාර්කාරයා පැනලා ගියා

අධිකරණ වෛද්‍ය විද්‍යාවේ තවත් හෙළිදරව්වක්

 


මම තමයි අපේ පවුලට හිටපු එකම පිරිමි දරුවා. සුරනිමල කියලා තමයි මට කීවේ. අපේ තාත්තාට හරි හමන් රැකියාවක් තිබුණේ නැහැ. හේන් ගොවිතැන් කිරීමෙන් තමයි අපේ පවුලේ බඩවියත සරි කරගත්තේ. අපේ අම්මාත් ඒ සඳහා විශාල කැප කිරීමක් කරනවා. ඇය තාත්තා සමග හේනට ගිහින් හරි හරියට වැඩ කරනවා. මම අ.පො.ස උසස් පෙළ විභාගයත් සමත්වුණා. ඊට පස්සේ රජයේ රැකියා සඳහා අයැදුම්පත් ගණනාවක් දැම්මා. ඒත් වැඩක් වුණේ නැහැ. පවුලේ ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න වැඩි වුණා. මට අවශ්‍ය වුණේ රජයේ රැකියාවක් කරන්න. ඊට පස්සේ තමයි මම ඇඟලුම් කම්හලක රැකියාවට යන්න තීන්දු කළේ. අපි පදිංචිවෙලා හිටපු ගම්මානයට ටිකක් දුරින් තමයි ඇඟලුම් කම්හල පිහිටලා තිබුණේ. මගේ යාළුවෙකුත් ඒ ඇඟලුම් කම්හලේ වැඩ කළා. ඔහුත් එක්ක තමයි රැකියාවට ගියේ.


 සමහර දවස්වල රාත්‍රී සේවා මුර තිබුණා. එවැනි දිනවලදී ඇඟලුම් කම්හලේ සිට  නිවසට ආවේ පයින්. එක් දිනක් මං රාත්‍රී සේවා මුරය සඳහා ඇඟලුම් කම්හලේ රැකියාවට ගියා. එදින රාත්‍රී මට සේවා මුරය නිමවෙලා යළි නිවසට එන්න බැරිවුණා. ඒකට හේතු වුණේ නොහික්මුණු රියදුරකුගේ ක්‍රියාකලාපයයි. මා පයින් එද්දී ඔහු පැමිණි මෝටර් රථයේ  මා හැපුණා. ඒ සමඟ මා උඩින් විසිවෙලා ගොස් ඒ අසල තිබූ ලඳු කැලෑවට වැටුණා. ඒ රියැදුරා මගේ දිහාවත් බැලුවේ නැහැ. මා යටකරගෙන පැන ගියා. ඊට පස්සේ මට මොකක්ද වුණේ කියලා මං දන්නේ නැහැ. මගේ ලෝකයට මං ගිහින් තිබුණා.


අපේ පවුලේ අය මා ගෙදර ආවේ නැති නිසා හැමතැනම සෙව්වා. නමුත් මගේ මළ සිරුර ඒ අයට හොයා ගන්න බැරිවුණා. පස්සේ තාත්තා ගිහින් පොලිසියට පැමිණිල්ලක් දමලා තිබෙනවා. අනතුර වූ දිනට පසුදින දහවල් තමයි මගේ මළ සිරුර ප්‍රධාන මාර්ගයකට ආසන්නයේ ඇති ලඳු කැලෑවක තිබී සොයා ගන්නේ. ඇත්තටම ඒ වනවිට මගේ මරණය පිළිබඳ විවිධ කටකතා ගම පුරා පැතිර ගොස් තිබුණා. සුරනිමල මරලා ගෙනත් දමලා ඇඟේ හැමතැනම තුවාල ඇතැමුන් කියන්නට වුණා. මේක හෙණගහන අපරාධයක් කියලත් මට හිතවත් ගම්මුන් කීවා. මගේ සිරුරෙන් ගලා ගිය ලේ පැල්ලම් මාර්ගයේ තැනින් තැන දක්නට තිබුණා. ගොඩක් අය හිතුවේ මා මරලා ඇදගෙන විත් මේ කැලෑවට දමන්නට ඇති කියලා. පොලිසියේ මහත්වරුත් මේ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂාහැන්නදි මහත්මිය ඇවිත් අනතුර වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් කළා. මහේස්ත්‍රාත්තුමා ඇවිත් නියෝග කළා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මගේ මළසිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යන්න කියලා. ඔන්න එතකොට තමයි ඇත්ත කථාව හෙළි වුණේ. ගම්මුන් හිතන් හිටපු දේවල් සියල්ල බොරු වුණා.


 විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂාහැන්නදි මහත්මිය මගේ මළ සිරුර සියුම් විදිහට පරීක්‍ෂා කළා. මගේ දණහිසට යටින් එක් පාදයක විශාල පැළුම් තුවාලයක් තිබුණා. මුහුණේ හා උරහිස් ප්‍රදේශයේ තැනින් තැන කුඩා කැපුම් තුවාලත් තිබුණා. සිරුරේ තැනින් තැන කුඩා කැපුම් තුවාල දක්නට ලැබුණා. මගේ හිස් කබල පුපුරා ගොස් තිබුණා. මොළයට තමයි දරුණු ලෙස හානි වෙලා තිබුණේ. අධිකරණ වෛද්‍ය නිලධාරිතුමිය මගේ සිරුරේ තිබූ තුවාලවල හැඩය ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළා. මගේ පාදයේ දණහිසට පහළින් වූ තුවාලය දරුණු තුවාලයක්. අස්ථි ද බිඳී තිබුණා. තුවාලවල හැඩය හා අනිකුත් පරීක්ෂණවලට අනුව මා මියගොස් ඇත්තේ රිය අනතුරකින් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීන්දු කළා.


 මගේ පාදයේ තිබූ තුවාලය අනුව වළලුකරේ සිට තුවාල වූ ස්ථානයේ දුර අනුව මා හැපිලා තියෙන්නේ මිටි වාහනයක. අනතුරට අදාළ රථය කාරයක්. ඒ විතරක් නොවේ මගේ මුහුණේ තිබූ තුවාල අනුව මා කාරයේ බොනට්ටුවේ හැපිලා ඉදිරිපස වීදුරුවේ වැදිලා තිබෙනවා. මොළයේ තුවාල හා හිස්කබලේ තුවාල අනුව මෝටර් රථයේ හැපිලා විසිවෙලා තියෙනවා කියලා අධිකරණ වෛද්‍ය නිලධාරිතුමිය තහවුරු කරගත්තා. ඇත්තටම මට නම් මොකද වුණේ කියලා හිතාගන්නත් බැරිවුණා. මට මතක මාව විසිවෙලා වැටෙනවා. විතරයි.


  ඒ විතරක් නෙවේ මගේ සිරුරේ තිබූ පොඩි පොඩි තුවාලවල පොඩි පොඩි සුදු පාට සායම් කෑලි තිබුණා. ඒ අනුව මෙය සුදු පැහැති වාහනයක් බව කියන්නට පුළුවන් වුණා. ඒ විතරක් නෙවේ මේ සායම් කැබලි ගලපලා අනතුරට අදාළ වාහනය රසපරීක්ෂණ  දෙපාර්තමේන්තුවට හොයන්න පුළුවන් වුණා. මගේ සිරුරේ බාහිර හා අභ්‍යන්තර තුවාල පරීක්ෂා කරලා අධිකරණ වෛද්‍යතුමිය කීවේ පහරදීමක් නෙවෙයි රිය අනතුරකට ලක්වීමෙන් තමයි මට තුවාල වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඇය මෝටර් රථයේ විස්තරත් කීවා. මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව කුඩුවෙලා තියෙන්න ඕනෑ, බොනට්ටුව තැළෙන්න ඕනෑ කියලත් ඇය කීවා. මොළයට වූ තුවාල නිසා තමයි මගේ මරණය වෙලා තිබුණේ. ඒක තමයි අනතුරක් කරලා පලායන්න හොඳ නැහැ කියලා කියන්නේ. කොහොමහරි අහුවෙනවා.


මා යටකරගෙන ගිය මෝටර් රථය ගරාජයක තිබියදී පොලිසියෙන් සොයාගෙන තිබුණා. මේ අය කරලා තිබුණේ මෙම අනතුර වසන් කරන්න වාහනයේ කොටස් ඒ වනවිටත් ගලවා දැමීමයි. මෝටර් රථයේ බොනට්ටුවේ මගේ හිසකෙස් කිහිපයක් ද ඇලී තිබුණා. මේ අය ඒ බව දැනගෙන හිටියේ නැහැ. ඒ අනුව මිය ගොස් තිබුණේ මාව කියලා අධිකරණ වෛද්‍යතුමිය ස්ථිරවම තීන්දු කළා. එය තවදුරටත් තහවුරු කරගැනීම සදහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදු කළා.

 


 (මෙහි එන නම් ගම් මනඃකල්පිතයි)


 (රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂාහැන්නදි මහත්මිය සමග කළ කතාබහක් ඇසුරෙනි)


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)