(ඇහැලියගොඩ ආරියවංශ පැල්පිටිය)
ඔහු ඇහැලියගොඩ පදිංචි ගොවියෙකි. ඔහුගේ මඤ්ඤොක්කා හේන සහ කොරටුව නිවසේ සිට සැතපුම් කාලක් පමණ එපිටින් පිහිටා තිබුණි.


දිනක් ඔහුගේ බිරිය ඔහුට කතා කොට “වැසි කාලෙත්” ආවා. දර මඩුව කැඩිල බිමටම පාත්වෙලා. මම කී දොහක් කීවද ඕක හදල දාගන්න ලී දඬු ටිකක් ගෙනැවිත් දෙන්නැයි කියලා. කෝ තඹේකටවත් මායිම් කළාද මම කියපු දේ? යැයි ඇසුවේ තරමක කේන්තියෙනි.


ලී දඬු ගෙනැවිත් දීම තවත් පරක්කු කළහොත් මත්තට වන දේ සහසුද්දයෙන්ම දැනගත්  ඔහු පසු දින හේනට ගියේ හේනට කඩා වැටී තිබූ කිතුල් කඳ මඩුවේ වහලය සාදා ගැනීමට ගෙනැවිත් දීමටය.


සවස් වන විට හේනේ වැඩ අවසන් කළ ඔහු කිතුල් කඳ අමාරුවෙන් කර තියාගෙන ටික දුරක් එද්දී හමුවන ගමේ කහට කඩයට ගොස් එහි මිදුලට කිතුල් කඳ දමා ඒ මතම ඉඳගෙන කහට එකක් බීවේ පෙර පුරුද්දටය.


අනතුරුව කඩ මිදුලේ සිටි තරුණයින් දෙදෙනකුගේද සහායෙන් නැවත කිතුල් කඳ කර තබාගෙන ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න තිබියදී නිවසට පැමිණි මොහු කිතුල් කඳ ගෙමිදුලට දමා තම බිරියට කතා කළේ ද කිතුල් කඳ මතම හිඳගෙනය.


සිනහ මුසු මුහුණින් එළියට පැමිණි බිරියගේ මුහුණ වෙනස් විය. කිතුල් කඳේ එක් කෙළෙවරකට අත දිගු කළ ඇය හිස මත දෙඅත් තබා කෑ ගසන්නට වූයේ එහි කෙළවරක සිට එළියට ඇදෙමින් පෙනය පුප්පන විශාල නාගරාජයකු දුටු නිසාය.


පෙනය පුප්පා තමා දෙස බලා සිටින නාග රාජයා දුටු ඔහුට කිතුල් කඳෙන් නැගිටීමට ගතවූයේ මොහොතකි.


දෝත සිරස මත තබා ගත් ඔහු “අනේ නාග රජතුමනි, සැතපුම් කාලක් මගේ කර මතින්ම පැමිණි ඔබ වහන්සේ මට අනතුරක් නොකළාට පින්සිදු වේවා” යැයි ආශිර්වාද කළේ දෙපා වෙවුලමිනි.