කන කැසීමට අවශ්‍ය වූ විට පෑනකින්, පැන්සලකින්, කතුරකින් කන කැසීම ඔහුගේ සිරිතය. දිනක් ඔහු කන කැසීමට යමක් සෙවුවත් හමු නොවූයෙන් ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගෙන කන කසන්නට විය. අවාසනාවකි. ගිනි කූරේ වෙඩි බෙහෙත් ගැලවී කනට වැටුණි. එය ගණන් නොගත් හෙතෙම රැකියාව සඳහා පිටත් විය. දින කිහිපයක් ගතවිය. ඔහුගේ උගුරේ සුළු ඉදිමුමක් දක්නට ලැබුණු අතර ආහාර ගිලීමට ද අපහසු විය. 


ඔහු රෝහලකට ගොස් තම අමාරුව පැවැසීය. විදුලි පන්දමෙන් උගුර පරීක්‍ෂා කළ වෛද්‍යවරයා බෙහෙත් දුන්නත් සුවයක් නොවීය. කන ද ඉදිමී ඇති බව දුටු හෙතෙම පෞද්ගලික වෛද්‍යවරයකු හමුවිය. ‘කට අරින්න බැහැ නේද. කම්මුලත් ඉදිමිලා. ඔයාට කම්මුල් ගාය. හුළං වදින්නේ නැතිව ගෙදරට වෙලා මේ බෙහෙත් බොන්න.’ ඔහුගේ උපදෙස විය. 


සතියකට අධික කාලයක් 
රෝගියාට තම කාමරයට වී බත් සහ එළවළු පමණක් ආහාරයට ගැනීමට සිදුවිය. කම්මුල් ගායට භාවිත කරන අත්බෙහෙත් ද කම්මුලේ ගෑම නොකඩවා සිදු කෙරිණි. වේදනාවේ සුළු අඩුවීමක් සිදු වුවත් ඉදිමුමේ අඩුවක් නොවීය. 


‘මේක නම් කම්මුල් ගාය වෙන්න බැහැ. මට පොඩි කාලෙත් හැදිලා තියෙනවානේ’ බිරිඳට පැවැසූ හෙතෙම දිගටම කල්පනා කළ විට දිනක් ගිනි කූරෙන් කන කැසීමේදී වෙඩි බෙහෙත් කනට වැටුණු බව මතක් විය. වහා රෝහලකට ගොස් කන සුද්ධ කළ විට කම්මුල් ගාය අතුරුදන් විය. 


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය