(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගමේ කවුරුත් ඔහු හැඳින්වූයේ කඩියා නමිනි. ඔහු ඕනෑම වැඩකදී කඩිසරව වැඩකරන නිසාය. ඔහු වැඩට කඩිසරයකු මෙන්ම ගමේ කාගේත් විශ්වාසය දිනාගත් අහිංසකයෙකි. ඔහු කිසි දිනෙක කිසිම කෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වූයේද නැත.


කඩියාගේ වයස හරියට කියන්න ඔහුවත් දන්නේ නැත. ඒ ඔහු පාසල් නොගිය නිසාය. ගමේ කුලී වැඩ කරමින් උපයාගත් ආදායමින් තම මව සමග ජීවත් වූවේය. ඔහු පාසල් නොගියත් කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදල් හරියට ගණන් කළ හැකිය. ඔහු ගමෙන් පිට යාමක් නෑ. ජීවිත කාලයටම වරකට දෙවරකට වඩා නගරයට ගොස් නැත.


 මේ අතර ඔහුගේ මව අසනීප වූවාය. පළමුව ගමේ රෝහලට ඇතුළත් කළත් තත්ත්වය ආසාධ්‍ය වූ නිසා නගරයේ රෝහලට මාරු කර යවනු ලැබුවාය. මේ නිසා මව බැලීමට නගරයේ රෝහලට ඒමට ඔහුට සිදුවිය. දහවල් දොළහ රෝගීන් බලන වේලාවට ඇතුළුවීම සඳහා ඔහු උදෑසනින්ම නිවසින් පිටත් වූයේය. 


ලෙඩා බැලීමෙන් පසු පිටතට පැමිණි ඔහු කල්පනා කළේය. දැඩි බඩගින්නක් දැනුණි. ඒ නිසා රෝහල ඉදිරිපිට ආපනශාලාවකට ගොඩවී බැලුවේය. “අයියා එන්න වාඩි වෙන්න මොනවද කන්නේ”යි වේටර්වරයෙක් ඇසුවේය.


“බත් තියෙනවද” ඔහු ඇසුවේය.


 “තියෙනවා, මොනවද කන්නේ? ප්‍රයිඞ් රයිස්, බුරියානි, රයිස් ඇන්ඞ් කරි” වේටර්වරයා කියාගෙන ගිය කිසිවක් ඔහුට තේරුණේ නැත. එහෙත් පෙර දිනයක ගමේ කෙනෙකු සමග පැමිණි අවස්ථාවේ බත් බාග දෙකක් ඉල්ලූ හැටි මතක් විය. “කෑම එකක් කීයද” ඔහු ඇසුවේය. “එකිසිය හතළිහයි” වේටර් කීවේය.


 “මට කෑම බාගයක් ගේන්න” ඔහු ඇණවුම් කළේය.


 වේටර්වරයාද කෑම පිඟානක් ගෙනැවිත් ඔහුගේ මේසය උඩ තැබුවේය. එය කා දැමූ ඔහු රුපියල් හැත්තෑවක් අතට ගෙන අයකැමිවරයා වෙතට ගියේය. “ඉස්සරහින් එකසිය හතලිහයි.” කියා වේටර් කෑ ගැසුවේය. එහෙත් එය ගණනකට නොගත් ඔහු රුපියල් හැත්තෑව දී එළියට යාමට හදන විට පැමිණි වේටර් “මෙයාගෙන් එකසිය හතළිහයයි” කිවේය. ඔහු උඩබිම බැලුවේය.


 “කෑම එක එකසිය හතළිහයි” වේටර් කිවේය.


“මම ගත්තේ කෑම බාගෙ නේ. ඉතිං හැත්තෑවයිනේ” ඔහු කිවේය.


 ඔහුගේ අහිංසක නොදැනුවත්කමට අවට සිටි අය සිනාසෙද්දී වේටර් ඔහුගේ සාක්කුවට අත දමා තව රුපියල් හැත්තෑවක් ගත්තේය.