(මාවතගම කාන්චන මාලා බණ්ඩාර විසිනි)
තමා පැලඳ සිටි ඇස් කණ්ණාඩිය නැති වී යැයි මුළු ගෙදරම හොයලා පැය ගණනාවක් සෙවූ කණ්ණාඩිය තම හිසේ තිබියදී මුණබලන කණ්ණාඩියෙන් දැක ලැජ්ජාවුණු එක් සත්‍ය කතාවත් මාවතගමින් ඇසේ.


ඔහු මැදි වයසේ පාසල් ගුරුවරයෙකි. පාසල අවසන් වී නිවස බලා ගිය ඔහු වත්තේ මිදුලේ විවිධ වැඩ පළ කරන්නට හුරු වී සිටියේය. ඉන්පසු සවස් වරුවේ පුවත්පත කියවන්නට පුරුදු වී සිටි හෙතෙම තම කණ්ණාඩිය නැති වී නිවස පුරාම සොයා බැලුවේය. පොත් මල්ලේ සහ තමා සිටි සෑම තැනකම සොයා බැලුවත් හමු නොවිණි. පැය 2ක් 3ක් ම සොයා බලා නැති තැන ඔහු නැවත කාමරවලට එබී බලද්දී ඔහුගේ නළල උළුවස්සේ වැදිණි. එහි වේදනාව වැඩි තැන ඔහු මූණ බලන කණ්ණාඩියෙන් තම නළල බැලුවේ තුවාල වී ඇත්දැයි පරීක්ෂා කිරීමටය. නළලට ඉහළින් තම හිසේ පැලඳ සිටින ඇස් කණ්ණාඩිය ඔහු දුටුවේය. මෙතෙක් පැය ගණනක්ම එය සෙවූ බව ඔහුටම වැටහිණි. ඔහු කිසිවකුටත් එය නොකීවේලු.