අතීතයේ දී මෙන්ම වර්තමාන සමාජයේ ද අනුන්ගේ දියුණුව බලා සතුටු වන්නේ අතලොස්සක්. කෙනෙකු දියුණු වන විට කෙසේ හෝ බලා ඉන්නේ කොහොම හරි වට්ටවන්නයි. මාතර පැත්තේ ගමක ඉතා දුක් මහන්සියෙන් හා අරපිරිමැස්මෙන් කටයුතු කර බොහෝ සරුසාර දිවියක් ගත කළ තරුණයකු හිටියා. මොහු පිළිබඳව ගමේ අය මෙන්ම ඔහුගේ ඥාතීන් ද ඊර්ෂ්‍යාවෙන් පසුවුණා. මේ නිසා මොහුගේ ව්‍යාපාර කටයුතු හා ගෙදරදොර දියුණුව අතරමග බිඳ දමන්න කොඩිවිනයක් කර තිබුණා. සරුසාර ජීවිතයක් ගත කළ ඒ තරුණයා දිනෙන් දින ම ආර්ථික හා මානසික වශයෙන් පිරිහී අන්ත අසරණ තත්ත්වයට පත්වී තිබුණ නිසා ඒ පිළිබඳව ඔහුගේ පවුලේ අයකු එම තරුණයාට සිදුවූ විපත පිළිබඳව මට කීවා.


ඒ අනුව ඔහුගේ නිවසට ගිහින් දෙහි ගෙඩි කීපයක් මතුරා කැපූ විට මට හිතුණේ කොඩිවන කීපයක් ම කර ඇති බවයි. ඒවා අයින් කරන්න බැරි තරමට බරපතළ විදිහට කරලයි තිබුණේ. මාත් එයාගේ ව්‍යාපාර කටයුතු ගැන ටිකක් දැනගෙන තිබුණු නිසාත් හොඳ ගුණයහපත් මිනිසකු නිසාත් මේ වැටී තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මුදා ගැනීමට අදිටන් කරගත්තා යැයි පාරම්පරික මන්ත්‍රාචාර්ය ආර්.පී. සිරිපාල මහතා පැවසීය.


නම ගිය යකැදුරෙකු මේ විනය ඔහුට කරලා තිබුණා. මේක තනියම ගිහින් කරන්නත් අමාරුයි කියලා මට තේරුණා. ඒ නිසා එම අනවිනය කළ ඇදුරාත් මා හඳුණන නිසා මේ පිළිබඳව ආරංචි වුණොත් විනය කැපීමේ කටයුතුවලට බාධා කරන්න ඉඩ තිබෙන නිසා ඉතා රහසිගතව කළ යුතුව තිබුණා. එහෙම ආරංචි වුණොත් මටත් බාධක, කරදර එන්නත් පුළුවන් නිසා මගේ ආරක්ෂාව උදෙසා නියමිත වත්පිළිවෙත් සලසා ගෙන මේ භාරදූර කාර්යයට දින නියම කරගෙන තවත් යකැදුරකු හා ආවතේවකාරයන් හතර දෙනකුත් අවශ්‍ය කළමනාත් රැගෙන කෙම්මුර දිනයක එහි ගිහින් උදේ 7.00 ට විතර වැඬේ ආරම්භ කළා.


මගේ පියාගෙන් ලැබුණු යන්ත්‍ර මන්ත්‍ර සියල්ලම ජප කරමින් කටයුතු කළත් වෙනදා වාගේ නිසි පිළිවෙළට වැඩකටයුතු කරන්න ලැබුණේ නැහැ. අර ව්‍යාපාරික තරුණයා මේක කරන්න ඉඩ දෙන්නෙම නැහැ. “තොපි මට ඉරිසියා කරන්න ආවද? මගේ ව්‍යාපාර කටයුතු විනාශ කරන්න ගුරුකම් කරනවාද? මේවා කරන්නේ නැතිව මෙතැනින් පලයන් යන්න කියලා ගෝරනාඩු කළා. මොහුගේ බිරියත් ඔහු නවත්වන්න උත්සාහ ගත්තත් හරි ගියේ නැහැ. ඒ නිසා ටිකක් කල්පනා කරලා අනෙක් ඇදුරාගේත් උපදෙස් අනුව සාකච්ඡා කරලා බැලුවාම සිදුවී තිබෙන දේ තේරුම් ගියා. අප මොහුට කර තිබෙන කොඩිවිනය කපන්න හදන බව ආරංචි වී අර ඇදුරා ඒක වළක්වන්න බන්ධනයක් කරලා තිබුණා. ඒ නිසා ඒ බාධකය ඉවත් කරන්න මුලින් පටන් ගත්තා. මගේ පියාත් මෙවැනි අවස්ථාවක කළ යුතු දේවල් පිළිබඳව මට කියා තිබුණු නිසා මට බියක් තිබුණේ නැහැ. කොඩිවිනය අයින් කරන්න කළ යුතු වත් පිළිවෙත් කිරීමට වඩා අපට තිබුණු බන්ධනය ඉවත් කිරීමට දවසෙන් තුනෙන් දෙකක්ම ගියා. එදා හවස් වෙනවිට ඒ වැඬේ ඉවරයි. දැන් නැවතත් කොඩිවිනය කැපීමේ කටයුතු ආරම්භ කළා. කරලා තිබුණු අනවින එකින් එක කපා දමමින් සිටින විට අර තරුණයාට සිහිවිකාර වී කෑගහගෙන බිම වැටුණා. ටික වේලාවකින් ඔහුට වින කළ ඇදුරාගේ නමත් ඒ සඳහා ඔහු පෙලඹ වූ අයගේ නම් කීපයකුත් කියාගෙන ගියා. මේවා කරනකොට ඒවා කළ අයගේ නම් ගම් හෙළිවෙන්න දෙන්නේ නැහැ. ඒක දෙපැත්තටම නරකයි. ඒ විනය කර තිබුණු යකැදුරා මාත් හඳුනන නිසා මේක ආරංචි වුණොත් මටත් ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන හින්දා අර තරුණයාගේ කියවිල්ල නවත්වන්න වත්පිළිවෙත් කළා. ඒවා කරලා ඉවර වෙන විට පසුදිනට පහන් වී තිබුණා. නිදි මරලා මහන්සි තිබුණත් පැමිණි කාරණය ඉටු කිරීමට නැවතත් මුල ඉඳලම කටයුතු පටන් ගත්තා. එදාත් කටයුතු අවසන් කරන්න හදන කොටම අර තරුණයා නැවතත් ආවේශ වුණා. අප සකස් කර තිබුණු පිදේනි තටු ආදිය කඩා බිඳ දැම්මා. අප එළවා දමන්න හැදුවා.


මාත් වැඬේ අතහැරියේම නැහැ. හොඳ ශක්තිමත් ආවතේවකරුවන් රැගෙන ගිය නිසා අර තරුණයා මෙල්ලකරගෙන අපේ වැඬේ දිගටම කරගෙන ගියා. එදා අලුයම හතරට විතර අපේ වැඬේ සාර්ථක බවට නිමිති පහළ වුණා. එතකොට තමයි මට ඇඟට ලේ ඉනුවේ. එහෙම නොවුණා නම් කොතැනින් නතර වේවිද කියන්න බැහැ. එදා අලුයම පහ විතර වන විට අර තරුණයාගේ පෙර තිබුණු ශරීර ස්වභාවය මතුවෙමින් තිබුණා. බොහෝම ප්‍රබෝධවත් ගතියක් දිස්වුණා. වැඬේට බාධා ඇති වුණත් මාත් අතහැරියේම නැහැ. ඒ නිවසටත්, ඉඩමටත් ව්‍යාපාරික ස්ථාන කීපයටත් ආරක්ෂාවන් කරලා මගේ වැඬේ අවසන් කළා.


 ඉන් පස්සේ ටිකෙන් ටික අර තරුණයා දියුණුවෙන්න පටන් ගත්තා. දැන් බොහොම සරුයි. එදා ඉඳලා මාස කීපයකට සැරයක් තෑගිබෝග රැගෙන ඇවිත් මට වැඳලයි යන්නේ. මට පින් දිදී කියන්නේ “ඔබ දෙවියෙකු වගේ මට පිහිට වූ නිසා අද මම ජීවත් වෙනවා. නැත්නම් මා මැරුණු තැන ගසුත් පැළවෙලා.” ඉතින් මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ වටිනාකම කොතරම්ද කියන වගත් ගුරු මුෂ්ටි තබා නොගෙන මට කියා දුන් මගේ පියා ගැනත් මට ලොකු ආඩම්බරයක් තිබෙනවා යැයි ද හෙතෙම කීය.
(මුලටියන එස්. බාලසූරිය)