මුදලාලි මසුරෙකි. කිසිදු මුදලක් හෝ භාණ්ඩයක් අතමාරුවටවත් නොදෙන අයෙකි.


 දිනක් අසල්වැසියකුට විල් බැරෝවක් අවශ්‍ය විය. ළඟපාත විල්බැරෝවක් තිබෙන්නේ මුදලාලි ළඟය. එහෙත් කෙළින්ම විල්බැරෝව ඉල්ලුවොත් නොදෙන බව  හොඳාකාරවම දන්නා ඔහු මේ සඳහා ප්‍රයෝගයක් කල්පනා කරමින් මුදලාලිගේ නිවසට ගියේය.


 “ඇයි? බං උදෙන්ම” මුදාලාලි විමසීය.


“පොඩි බඩුවක් ඉල්ල ගන්නයි ආවේ, මුදලාලි” අසල්වැසියා පැවසීය.


“මොකක්ද,....” මුදලාලි ඇසීය.


“මට රු. 2000ක් දෙන්න මං පොලියකුත් එක්ක ඉක්මනින් ගෙනත්  දෙන්නම්” අසල්වැසියා පැවසීය.


“අනේ බං මේ දවස්වල මොන සල්ලිද? වෙළෙඳාමත් එච්චර හොඳ නැහැ. බැංකු ගිණුම්  ඕ.ඩී.වෙලා. උඹත් ආවේ හරිම දවස්වල. අනේ තරහනම් වෙන්න එපා නැතිකමයි කිව්වේ” යැයි පින්සෙන්ඩු විය.


 “කමක් නැහැ මුදලාලි නැති නිසානේ කියන්නේ. එහෙනම් අර මඩුවේ තියන “විල්බැරෝව” වරුවකට දෙන්නකෝ. වැඬේ කරගත්ත ගමන් ගෙනත් දෙන්නම්” අසල්වැසියා පැවසීය.


“එහෙමනම් ගෙනියපං පරෙස්සමෙන් පාවිච්චි කර ගෙනත් දීපං” යැයි මුදලාලි කීය.


මෙහෙම ප්‍රයෝගයක් නොකළානම් මේ මුදලාලියාගෙන් කවදාවත් මේ විල්බැරෝව ඉල්ලගන්න බැහැ.  තමන්ටම කියා ගනිමින් අසල්වැසියා විල්බැරෝව තල්ලු කරගෙන නිවසින් පිටවිය.
(අම්බල්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)