මනාලයා මනාලිය කැන්දා ගෙනවිත් මාස පහකට මදක් වැඩිය. මනාලයා කොළඹ රැකියාවක  නියුතු අතර සෑම සති අන්තයකම මහ ගෙදරට යාබදව තමාගේම නිවසට පැමිණෙන්නේ නිදහසේ ගත කිරීමටය. 


දිනක් සිකුරාදා රාත්‍රියේ පැමිණි ඔහුට කුස්සියේ තිබුණු ඉදුණු පුවාලු කෙසෙල්කැන දැකගත හැකිවිය. ඒ ගැන විමසූ විට “අපේ වත්තෙන් තමයි” මනාලිය පැවසුවාය. පසුදින බිරිය ඔහුට කෑමට කෙසෙල් ගෙඩි පහක්ම දුන්නාය. නැවත රැකියාවට පැමිණෙන දිනයේ උදෑසනම අවදිවූ ඇය ඔහුට කෑම සකස්කර දිවා ආහාරය සඳහා පාර්සලයක්ද බැඳ දුන්නාය. මනාලයා  කෙසෙල් ඇවරියක් රැගෙන  යෑමට  බලාපොරොත්තු වුවත් ඇය එයට කර ඇරියාය. 


දිනක් ඔහුට තම මඟුල ජෝඩු කළ  මිතුරා අහම්බෙන් කොළඹදී මුණගැසිනි. ‘මචන් මම ගිය සතියේ ගෙදර යද්දි ඉදිච්ච ලොකු කෙසෙල් කැනක් තිබුනා. මට කන්න හම්බ වුණේ ගෙඩි පහයි. මුළු කැනම වයිෆ් කාළා ඔහු කීය. “එයා ඒ කාලේ ඉඳන් එහෙමයි. වත්තේ කෙසෙල් කැනක් ඉදුනොත් කැනම කනවා. අම්මාටයි තාත්තාටයි ඕනේනම් ගෙඩි හය හතක් දෙයි. අම්මලා මුකුත් කියන්නෙත් නැහැ. එකම කෙල්ලනේ” මිතුරා පැවසීය.
 ක්‍රිස්ටෝපර් සීපියන්