(මීගලෑව මානෙල් පී. හේවගේ)
රජරට පැත්තේ කුලී වැඩෙන් ජීවිකාව කරගන්නා දෙදෙනකි. දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුවක් තිබී එකම තැන කුලී වැඩ නොකර සිට කාලය හමාර කර දෙදෙනා එකම කුඹුරක වැඩට ආ පළමු දිනයයි.


එදින ඔවුනට වට්ටක්කා වගාවක් උදලු ගෑමට නියමිතව තිබිණි. එක් පුද්ගලයකු අනෙකාට ඉදිරියෙන් උදලු ගැමේහි නිරතව සිටි අතර ඔවුන් උදලු ගෑ වට්ටක්කා වගාවේ අවසන් මායිම වී තිබුණේ අලි වැටකි.


ඉදිරියෙන් උදලු ගාමින් සිටි පුද්ගලයා හා අනෙකා අතර ලොකු දුරක් තිබී නොමැත. ඉදිරියෙන් ආ උදලු ගෑ පුද්ගලයා එක්වරම ‘බුදු අම්මෝ’ යැයි මහ හඬින් කෑ ගසමින් බිම වැටුණි.


ඔළුව බදාගෙන මඳ වේලාවක් සිටි ඔහු තමන් අතින් අත් ඇරුණු උදැල්ල ඔසවාගෙන අනිත් පුද්ගලයා දෙසට විදුලි වේගයෙන් පැන්නේ ‘උඹ මට උදැල්ලෙන් ගැහැව්වා’ නේද අසමිනි. කුඹුරේ අයිතිකරු වහාම පැන ඔහුගෙන් උදැල්ල උදුරා නොගන්නට සිදුවන්නට ගියේ මහා වින්නැහියකි. 


සිදුව තිබුණේ අපූරු දෙයකි. උදලු ගාමින් සිටි පුද්ගලයාගේ හිස අලි වැටේ වැදී තිබුණි. අලි වැටේ ඒ වනවිටත් විදුලිය තිබුණු නිසා ඔහුට විදුලි සැර වැදී තිබුණි. අලි වැටේ වැදුණු ඔහු විදුලි සැර නිසා ඉවතට විසිවෙද්දී ඔහු සිතා ඇත්තේ අනෙකා ඔහුට පහර දුන් බවය. කෙසේ නමුත් එදින ඔවුන් වැඩ කළ කුඹුරේ අයිතිකරු එම ස්ථානයේ රැඳී නොසිටින්නට මිනීමැරුමක් සිදුවනු නියතය.


එම සිද්ධියෙන් පසු විදුලි සැර වැදුණු පුද්ගලයා අනෙකාගෙන් සමාව ගත් බවත් දැන් දෙදෙනා ගජ මිතුරන් වූ බවත් වාර්තා වේ.