මේ අඹුසැමි යුවළ හරි අහිංසකය. තැලී පොඩිවී නොගියද ජීවිතය ගැට ගසා ගන්නට ගොවිතැනක් බතක් කරගත්තේ මහපොළව සමඟ පොර අල්ලමිනි.

මොවුන් පදිංචිව සිටියේ හක්මණ, මුරුතාමුරය ප්‍රදේශයේය. මොවුන් මෙදින කුඹුරට ගියේ වල්නාශක ඉසීමටය.

සැමියා සමඟ බිරිය ද ඒ ගමනට එකතු වුණේ කවදත් දෙන්නා එකට එක්ව හැමදේම කළ කී පුරුද්දටය. මොවුන් දෙපළ වැඩකරමින් සිටි ලියැද්දට යාබදව තිබුණේ මහනියරය. අත්ට්‍රැක්ටර් යතුරුපැදි ගමන් කරන මාර්ගය ද ඒ මත වැටී තිබිණි. වල්නාශක යෙදීමට සියල්ල සූදානම් කර තිබිණි. යතුරුපැදියක් පැමිණ නතර කෙරිණි. ඉන් බැස ආවේ වයස අවුරුදු පනහක පමණ පුද්ගලයෙකි. කඩවසම්ය. කතාබහට ද රුසියෙකි. ‘මම මේ මැරිච්ච අම්මාගේ අවසාන ඉල්ලීම ඉටුකරන්න යන ගමන්’. අම්මා මැරිලා හෙටට මාස තුනයි. මාස තුන පිරෙන දවසෙ අම්මාගේ කරාබු දෙකයි, මුදුවයි තෑගි කරන්න හොඳම කෙනා ඔබ කියලා හිතලයි මම මෙතන නතර වුණේ.

එහෙම කියමින් රෙදි කඩක ඔතා තිබූ රන් මුදුවක්, රන් කරාබු දෙකක් ඔහු ඇයට තෑගි කළේ සතුටු සිතිණි. සතුටින් පිනාගිය ඇයද කනේ තිබූ රන් කරාබු ජෝඩුවත්, මගුල් මුදුවත් ගලවා අලුත් රන් භාණ්ඩ පැළඳ ගත්තේ පරණ රන් භාණ්ඩ යතුරුපැදිය මත තබමින්ය. එහෙනම් බොහොම පින්. අම්මාගේ අවසන් බලාපොරොත්තුව ඉටුවුණා. මම ගිහින් එන්නම් එසේ කියා යතුරුපැදිය මත තිබූ රන් ආභරණ කිහිපයත් ඇය අතට දී සැමියාට ද පින් දී ආගන්තුකයා යන්නට ගියේය.

නිවසට ආ අඹුසැමි දෙපළ බිරිඳගේ අයියාට අලුත් රන් භණ්ඩ පෙන්වා පෙර පින ගැන කියන්න වූවා පමණි. ‘යකෝ මේ ඉමිටේෂන්’ ඇයට තරු පෙනිණි. රෙදි කඬේ ඔතා තිබූ ඇයගේ රන් භාණ්ඩද එළියට ගත් පසු ඒවාද ඉමිටේෂන් වී තිබිණි. ඇයගේ දෙකොපුල් දිගේ කඳුළු ගඟක් ගලා ගියේ ඇයට ද නොදැනය. මේ අවනඩුව පොලිස් පොතේ ලියැවුණද අදටත් ‘ඉමිටේෂන් කපටියා’ නිදැල්ලේය.

 

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)