“අපේ අම්මයි තාත්තයි මට නම් තියලා තිබුණේ විමලසේන කියලා. අම්මා දයාවතී. තාත්තා කරුණාපාල. මේ දෙන්නට හිටිය එකම දරුවා මම. අම්මා මානසික රෝගයකින් පෙළුණා. මාත් උපතින්ම මන්ද මානසික දරුවෙක්. මටත් හරි හැටි කතා කරන්න බැහැ. මට අවුරුදු දාහතක් වෙනවා. නමුත් මගේ වයසට සරිලන ලෙස සිරුර වැඩිලා තිබුණේ නැහැ. ඒ නිසා පාසල් ගියේ නැහැ. අපේ අම්මත් පාසල් ගිහින් තිබුණේ නැහැ. තාත්තා හෝඩියේ පංතියට විතරයි පාසල් ගොස් තිබුණේ. මුල් කාලයේ හොඳට හිටියත් පසුව මගේ රෝගී තත්ත්වයත් වැඩි වුණා. කොටින්ම කිවහොත් මාත් ශක්තිමත් දරුවෙක් නම් නෙවේ. මට මාසයකට සැරයක් වලිප්පුව හැදෙනවා.


 කොහොම වුණත් අම්මා මට ගොඩක් ආදරෙයි. අම්මා මුල් කාලයේ දී ඇයට තිබූ මානසික රෝගයට ප්‍රතිකාර ගත්තා. නමුත් පසු කාලයකදී බෙහෙත් හරිහැටි ගත්තේ නැහැ. තාත්තා අම්මා ගැනවත් මා ගැනවත් එතරම් හොයලා බැලුවේ නැහැ. අපි පදිංචි වෙලා හිටියේ වතු ආශ්‍රිත දුෂ්කර ගම්මානයක. කටුමැටිවලින් හා වහලයට පොල් අතු සෙවිලි කළ කුඩා නිවසක් තමයි අපට තිබුණේ. තාත්තාට හරිහමන් රැකියාවක් තිබුණේ නෑ. තේ වතුවල දලු කැඩිල්ලෙන් ලැබෙන වැටුපෙන් තමයි පවුලේ බඩ වියත රැකගත්තේ. අම්මාගේ ලෙඬේ වැඩි වුණාම තාත්තා පේන්න බැහැ. තාත්තාට හොඳටම බැණ වදිනවා. නිවසට පවා එන්නට ඉඩ දෙන්නේ නැහැ. බැණලා එළවා ගන්නවා. ඒ හින්දා  තාත්තා තේ වතුවල දලු කඩන්න ගිහින් දවස් තුන හතරකට පාරක් විතරයි ගෙදර එන්නේ. එහෙම ආවත් අපි ගැන වැඩිය හොයලා බලන්නේ නැහැ. ගෙදර ඉස්සරහ කාමරයට වෙලා ඉන්නවා.


අම්මා ඉවුම් පිහුම් වැඩ කළේ නැහැ. තාත්තා දවල් කාලයේම ගෙදර නැහැ. සමහරදාට ගෙදර එන්නෙත් නැහැ. සත්තුන්ට කෑම දෙනවා වගේ කාමරයේ ජනේලයෙන් තමයි කෑම පිඟාන දෙන්නේ. සමහරදාට ඒකත් ලැබෙන්නේ නැහැ. අම්මා කෑම පිඟාන විසි කරලා තාත්තාට හොඳටම බණිනවා. කොටින්ම කිව්වොත් තාත්තා මාත් අම්මාත් වෙනුවෙන් නියම අයුරින් වගකීම ඉෂ්ඨ කළේ නැහැ. තාත්තාට වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් තිබෙනවා කියලා ගම පුරා ආරංචියක් ද පැතිර ගිහින් තිබුණා. ඒ විතරක් ද? තාත්තා යන යන තැන බෑගයක් කරේ දමාගෙන අරන් ගියා. ඒ බෑගයේ තිබුණේ ඉඩමේ ඔප්පු තිරප්පු ටික. කොහොම වුණත් අම්මා මාව තුරුලු කරගෙන තමයි නිදා ගන්නේ. 


ඒ කාලයේ අම්මාගේ ලෙඬේ වැඩි වුණා. ඒ හින්දා මට හරියට කෑම බීම ලැබුණේ නැහැ. මං වැඩි කාලයක් හිටියේ බඩගින්නේ. අම්මත් එහෙමයි. මගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල නිසා මට වැඩි කාලයක් ආහාර නොගෙන ජීවත් වෙන්න බැරි වුණා. අම්මා මා තුරුලු කරගෙන ඉන්දැද්දිම මං මගේ ලෝකයට ගියා. එහෙම වෙලා දවස් දෙකක් යනකම් අම්මා මා තුරුලු කරගෙන කාමරයට වෙලා හිටියා. 


 තාත්තා ඇවිත් ජනේලයෙන් කාමරයට එබිකම් කරලා යනවා. ඔහු දැනගෙන හිටියේ නැහැ මං මැරිලා කියලා. දෙවැනි දවසේ කිසිදු සද්දයක් බද්දයක් නැති නිසා තාත්තාට තේරුණා මොකක් හරි දෙයක් වෙලා කියලා. ඔහු මේ ගැන පොලිසියට දැනුම් දීලා තිබුණා. ඊට පස්සේ පොලිසියේ මහත්තුරු ඇවිත් අම්මා මගෙන් ඈත් කරලා  ගම්මුන් සමඟ එකතුවෙලා ඇය අංගොඩ මානසික රෝහලට පිටත් කළා. මගේ මරණය ගැන පොලිසියට ද ගැටලුවක් තිබුණා. මා මියගියේ ලෙඩක් හැදිලා ද නැතිනම් වෙනත් දෙයකින් ද කියලා ප්‍රශ්නයක් මතුවුණා. මේ ගැන හොයන්න පළාතේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මගේ මළසිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මිනී කාමරයට රැගෙන ගියා. පශ්චාත් මරණ පරීක්ෂණය කළේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහත්තයා. ඔහු පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න කලින්  අපේ ගෙදරට ගිහින් ස්ථානීය පරීක්ෂණයක් කළා. ඒ විතරක් නෙවෙයි තාත්තා ගැනත් ගම්මුන් ගොඩක් දේවල් කියලා තිබුණා.


මිනී කාමරයේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා මගේ සිරුර කපලා බැලුවා ආමාශයේ මුකුත් නැහැ. අනෙකුත් සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය කරගත්තු තොරතුරු අනුව මා මියගිහින්  තියෙන්නේ  දිගු කලක් නිරාහාරව සිටීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් කියලා අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළා. අපේ වගේ රටක නිරාහාරව මිය යාම බරපතළ කාරණයක් කියලත් ඔහු කීවා. පොලිසියේ මහත්වරු මෙන්ම අධිකරණ වෛද්‍යවරයත් තාත්තාගෙන් ප්‍රශ්න කළා.  තාත්තා වගකීම් පැහැර හැරලා කියලා ඔවුන් කීවා. ගමේ අය එකතුවෙලා තමයි මගේ මළගෙදර කළේ. නිරාහාරව ඉඳලා මිය යන්න එක්කෝ ඕනකමින් නොකා ඉන්න ඕන. නැතිනම් කෑම නොදී ඉන්න ඕනෑ. අන්තිමට අධිකරණ වෛද්‍යතුමා තීන්දු කළා දිගු කාලයක් නිරාහාරව සිටීම නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මගේ මරණය වෙලා කියලා.”

 (රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි).

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)