(තිහගොඩ උපසේන ලියනගම)
මව, පියා හා සහෝදරයින් දෙදෙනකු සිටින නිවසක එකම ගැහැනු දරුවා වූ ඇය රූමත් ය. අහිංසක ය. උසස් පෙළ දක්වා පාසල් ගිය ඇයට සරසවි වරම අහිමි වූයේ ලකුණු දෙක තුනක් මදිවීමෙනි.


විවිධ පුහුණුවීම්වලට හා රැකියාවලට ගියද ඒවා සාර්ථක නොවූයෙන් ඇයට විවාහයක් කරදීමට මවුපියෝ තීරණය කළහ. එහෙත් ගෙන එන හැම යෝජනාවටම ඇය ක්ෂණිකව අකමැතිවීම නිසා වෙන මුකුත් සම්බන්ධයක් එහෙම තියෙනවාදැයි මව විමසීය. ‘අපොයි නෑ’ ඇය කීවේ ලැජ්ජාවෙනි. ‘එහෙනං’ මව ඇසීය.


‘ඇත්තම කියනවනං අම්මයි තාත්තයි වෙලාවකට රණ්ඩුවෙවී ගහමරා ගෙන වෙලාවකට කිරි පැණි වගේ දීග කන හැටි දැක්කම මට පවුල් කෑම නෙවී සංසාරෙත් එපාවෙනවා. මම හිතාගෙන ඉන්නෙ මෙහෙණියක් වෙන්න’ ඇය කීවෙන් මවට දෙවියන් සිහිවිය.


කෙසේ වෙතත් මවුපියන් සහ සහෝදරයින්ගේ ආයාචනය නිසා මහණවීමේ අදහස ඉවත්කර ගත්තත් විවාහ ජීවිතය නම් ඇය ස්ථිරවම ප්‍රතික්ෂේප කළා ලු.