IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිහින බිඳ දැමූ රැයේ අරලියගහ මැඳුරේ විත්ති

 

අරලියගහ මැදුරේ සිටි සිය ගණනක් පිරිස ඉතා කාර්යක්ෂමව හා යුහුසුලුව ක්‍රියාත්මක වූයේ ඡන්දය ගණනය කරන මධ්‍යස්ථානවලින්ම නිල නොවන ඡන්ද ප්‍රතිඵල එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇරඹීම වෙනුවෙනි. මේ අතර රාත්‍රී 10.30 ට පමණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙම ස්ථානයට පැමිණියේය. ඒ අනුව එතුමා ඒ වන විට ලැබෙමින් පැවති තැපැල් ඡන්ද ප්‍රතිඵල පිළිබඳ ලැබී ඇති තොරතුරු වෙත අවධානය යොමු කළේය. එලෙස ලැබී තිබූ තැපැල් ඡන්ද ගණනය කිරීම් මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලට අනුව ඉතා ළඟ සටනක් විද්‍යාමාන විය. 

තවද, ලැබී තිබුණ නිල නොවන තැපැල් ඡන්ද හා ගණනය කිරීමේ මධ්‍යස්ථානවල සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ සියල්ල එක්කළ විට ඒ වන විට ඡන්ද 80,000 ක පමණ පරතරයක් පෙන්නුම් කළේය. යම් කනස්සලු ස්වභාවයක් එතුමාගේ මුහුණේ ඇඳී ඇත. ජනාධිපතිතුමා යළින් අරලියගහ මැදුර වෙතට ගියේය. තම නිදන කාමරයට ඇතුළු වූ එතුමා තේ කෝප්පයක් පානය කිරීමෙන් අනතුරුව ඒ තුළ ම තනිවම රැඳී සිටියේය. සැබවින් ම එතුමා සියලු දෙනාගෙන් ම ඈත්ව හුදකලා වූවා වැනිය. ඒ කාලය අතරතුර එතුමා තමා ප්‍රගුණ කළ සියලු අභෞතික බලවේගයන් යළි සිතට නඟාගත්තා විය හැක. ඒ තුළ යම් පිහිටක් පැතුවා ද විය හැක. 


කෙසේ වෙතත් නැවත රාත්‍රී 1.00 ට පමණ නැවත ඉහත මෙහෙයුම් කාර්යාලය වෙත යාමට සූදානම් විය. මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් නිල නොවන ඡන්ද ප්‍රතිඵල ගණනාවක්ම රැස්කර ගැනීමට එහි ක්‍රියාකාරීන්ට හැකි වී තිබිණ. විශේෂයෙන්ම දකුණේ වඩා වාසිදායක දිස්ත්‍රික්කවල ප්‍රතිඵල මේ වන විට ලැබී තිබුණ අතර උතුරු - නැඟෙනහිර හා නුවරඑළියේ ප්‍රථිඵල ලැබී නොතිබුණි. ලැබී තිබුණ එම ප්‍රතිඵලවලට අනුව ඒ වන විට පරතරය ලක්ෂ දෙකහමාර ඉක්මවීය. නැතහොත් මෛත්‍රී ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩා ඡන්ද ලක්ෂ දෙකහමාරක් ඉදිරියෙන් සිටියේය. මෙම අවස්ථාවේ දී යාන්තමින් දොඩමලු වූ ජනාධිපතිතුමා ‘එන්න තියෙන්නේ අපිට අවාසි දිස්ත්‍රික්කද?’ යනුවෙන් ඇසීය. පුදුමයකට මෙන් එහි සිටි කිසිවකුත් පිළිතුරු නොදුන්නේය. ඒ අනුව මඳක් දුරින් සිටි විජයානන්ද හේරත් ‘ඔව් සර්’ යනුවෙන් පැවසීය. එහිදී නැවත ප්‍රශ්නයක් ඇසූ ජනාධිපතිතුමා ‘නුවරඑළිය මස්කෙළිය අපි පරදින්නේ කීයකින්ද?” ඊට හේරත්ගේ පිළිතුර වූයේ ‘ඡන්ද ලක්ෂ 3 ක් තිබෙනවා. එයින් අපිට ලැබෙන්නේ 30% යි’ යනුවෙන් පැවසූවත් සැබවින්ම ලැබුණේ 27% ක් පමණි. අසල පුටුවක අසුන්ගත් එතුමා නෝට් පොතක් වැනි යමක යම් ගණනය කිරීමක් කිරීමෙන් අනතුරුව නැවත මද වේලාවක් කල්පනා කළේය. ටික වේලාවකින් හුනස්නෙන් නැඟී සිටි එතුමා ‘මේක මට දිනන්න බෑ’ යනුවෙන් පැවසීය. මේ වන විට වේලාව පෙ.ව 1.30 පමණය.


ජනාධිපතිතුමා මෙම මෙහෙයුම් කාර්යාලය තුළ ගත කළ කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ චර්යා හැසිරීම ද යම් අමුතු තත්ත්වයක් ඉසිලීය. විශේෂයෙන්ම ජනාධිපතිතුමා රාත්‍රී 10.30 ට හා නැවත 1.00 ට එම මෙහෙයුම් කාර්යාලයට පැමිණි අවස්ථාවන් දෙකේ දී ම බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මෙම කාර්යාලය තුළ වූ ප්‍රධාන පුටුවේ අසුන්ගෙන සිටියේය. මන්දයත්. මැතිවරණ දින රාත්‍රියේ නිල නොවන ඡන්ද ප්‍රතිඵල එක්රැස් කිරීමේ කාර්යය බැසිල් ඇමතිතුමාගේ රාජකාරියක් ලෙස එතුමා සැලකුවා සේය. බැසිල් ඇමතිතුමාගේ කාර්යාලයේ සේවය කළ කිරිඇල්ල හා කාංචන ඊට නායකත්වය දුන්නේය. කිරිඇල්ල මහතා අනුරුද්ධ රත්වත්ත හිටපු ඇමතිතුමාගේ ගෝලයකු වූ අතර රත්වත්ත මැතිතුමා ශ්‍රී.ල.නි.ප.යේ ජාතික සංවිධායක ලෙස හඳුන්වා දුන් සියලු ව්‍යාපෘති පිළිබඳ මූලික දැනුම බැසිල් ඇමතිතුමා උකහාගත්තෙ කිරිඇල්ල මහතා ඔහු ළඟට ගැනීමෙනි. ඒ අනුව රත්වත්ත ඇමතිතුමාගේ ව්‍යාපෘති අතර මෙලෙස නිල නොවන ඡන්ද ප්‍රතිඵල එක්රැස් කිරීම ද එක් ව්‍යාපෘතියක් පමණි. ඒ අනුව එම කාර්යය සඳහා විශ්‍රාම ගිය හා සේවයේ නියුතු දිස්ත්‍රික් ලේකම්වරු හා අමාත්‍යාංශ ලේකම්වරු විශාල පිරිසක් ඊට සහභාගී වෙති. එම පිරිසට එක් එක් දිස්ත්‍රික්කය බාරදෙන අතර ඔවුන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා හෙවත් දිසාපතිවරු සමඟ එම රාත්‍රිය පුරාම අඛණ්ඩව සම්බන්ධතාව පවත්වා ගනිමින් ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානවලින් ලැබෙන පළමු නිල නොවන ඡන්ද ප්‍රතිඵලය ඉතා ඉක්මනින් තරගකාරී ලෙස ඉහත බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ මෙහෙයුම් කාර්යාලය වෙත ගෙන්වා ගත යුතුය. ඒ සඳහා ඔවුන්ට සහායක කණ්ඩායමක්ද හිමිවේ. එම නිල නොලත් ඡන්ද ප්‍රතිඵලවලට එතුමා අත්සන් තබයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රතිඵල එකතුකිරීම ආශ්‍රිත ක්‍රියාවලියට පරිගණක 200ක් පමණ උපයෝගී කරගෙන තිබුණි.


මෙලෙස ජනාධිපතිතුමා අවස්ථා දෙකක දී බැසිල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එම කාර්යාලයට පැමිණිය ද එහි ප්‍රධාන අසුනේ රැඳී සිටියේ බැසිල් ඇමතිතුමාමය. ජනාධිපතිතුමා ඊට එපිටින් වෙනත් ස්ථානයක තිබූ සෝපාවක අසුන්ගෙන සිටියේය. මෙම අවස්ථා දෙකෙහි දී ම දැකගත හැකි වූ විශේෂත්වය නම් ජනාධිපතිවරණය පරාජයට පත්වන බවට සතර දෙසින් ම ඉඟි පළ වූ එම ඉරණම්කාරී මොහොතේ දී පවා මෙම දෙදෙනා එක් වචනයක් හෝ එකිනෙකා කථා නොකර සිටීමය. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ එම කාර්යාලයෙන් පිටතට පැමිණෙන අතරතුරදී ආරක්ෂක ප්‍රධානීන් කැඳවන ලෙස දන්වා සිටි ජනාධිපතිතුමා නැවත අරලියගහ මැදුරට පැමිණීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට කථා කළේය. ඒ අනුව ජනාධිපතිතුමා තම දුරකථන සංවාදය අරඹමින් ‘මහින්ද මොකද වෙන්නේ’ යනුවෙන් අසද්දී ‘සර්ට ටිකක් අවාසියි’ ඔව් මම දන්නවා මම පරාදවෙන්න යන්නෙ. මම රනිල්ට කථා කරල එන්න කියනවා’ තවදුරටත් කථා කළ ජනාධිපතිතුම ‘මහින්ද ඔයා ළඟ තිබෙන ප්‍රතිඵලවල තත්ත්වය මොකක්ද?’ ‘සර් ළඟ ළඟ යනවා’ ‘ළඟ ළඟ යන කියල කියන්නේ කොහොමද?’ ‘නෑ සර්, හම්බන්තොට, මාතර, ගාල්ල හොඳට දිනලා තියෙනවා. රත්නපුරෙන් දිනනව ‘මහින්ද දකුණු පළාත හා රත්නපුරය අපි දිනනවා. කුරුණෑගල අපි හිතපු ගාණෙන් දිනන්නේ නෑ. ගම්පහ අපි පරාද නොවුනත් අපි දිනන්නේ පොඩි ගණනකින්. කොළඹින් අපි පරදින වැඩි ඡන්ද ගාණෙන් ඔය අපි දිනපු දිස්ත්‍රික්ක කීපයක්ම ගලවල යයි. කුරුණෑගලින් පොළොන්නරුව යයි. නුවරින් නුවරඑළියෙන් එන වැඩි ඡන්ද ගාණෙන් දකුණු පළාත බැලන්ස් වෙයි. ඒකට උතුරු - නැඟෙනහිර ආවම මම පරාදයි. දැන් ඔයා ළඟ ඇති මම 50,000 කින් පරාද ආසන’ යනුවෙන් පැවසීය.


මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද කීය. ‘සර් ඔක්කොම තොරතුරු ඇවිල්ල අවසන්. තීරණය උදේ 6.00 විතර වෙනකොට එයි.

එතකම් සර් ඉන්න. කවුරුත් දන්නෙ නෑනෙ අවසන් ප්‍රථිඵලය මොකක්ද කියල’. එහෙත් ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිළිතුර වූයේ ‘නෑ මට දැන් ඇවිල්ල තිබෙන තොරතුරු අනුව මම පරාදයි. ඒක කාටවත් දැන් වෙනස් කරන්න බෑනෙ. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කරද්දී තමාගේ ඉදිරියට මහා ඕක් ගසක් කඩා වැටුණාසේ හැඟීමක් මැතිවරණ කොමසාරිස්වරයාගේ සිත තුළ උපන්නේය.


මැතිවරණ දිනයේ දී පවා මැතිවරණ කොමසාරිස්වරයාගේ පෞද්ගලික තක්සේරුව වී තිබුණේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද ලක්ෂයකින් හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනු ඇති බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිතවතුන්ද අවසන් දිනය වන විට සිතුවේ ලක්ෂයකින් හෝ ඊට අඩු ගණනකින් ජයගනු ඇති බවයි.


ජනාධිපතිතුමාගේ කැඳවීමට අනුව ඉන් විනාඩි 15කට පමණ පසුව ආරක්ෂක ප්‍රධානීහූ අරලියගහ මැදුරට පැමිණියහ. එහි දී ජනාධිපතිතුමාගේ නිල කාර්යාලය තුළ ඔවුන් සියලු දෙනාම විනාඩි 10 ක් පමණ රහසිගත සාකච්ඡාවක නිරත වූහ. විනාඩි 10 කට පමණ පසුව පිටතට පැමිණි ජනාධිපතිතුමා ‘මට රනිල්ට කෝල් එකක් ගන්න ඕන’ යැයි පැවසීය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සිහින බිඳ දැමූ රැයේ අරලියගහ මැඳුරේ විත්ති

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site