IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද චම්පික හැප්පුණ හැටි

 

වික්‍රමසිංහ මහතා තිස්සට ප්‍රකාශ කළේ පළමුව චන්ද්‍රිකා මැතිනිය මුණගැසී එතුමිය සමග මෙම නව යෝජනාව සාකච්ඡා කරන ලෙසය. ඊට අනුව තිස්ස හා මලික් එතුමිය මුණ ගැසී මෙම කරුණ සාකච්ඡා කළ ද එතුමිය ප්‍රකාශ කළේ වෙනත් දෙයකි. එනම් තමා මින් ඉදිරියට දේශපාලන තනතුරු බාර නොගන්නා බවත් අවශ්‍ය නම් දූෂණ විරෝධී ව්‍යාපාරයක් ගොඩනගා එහි නායකත්වය තමාට ලබාදෙන ලෙසත් එතුමිය එහිදී ප්‍රකාශ කළාය. ඒ සමගම දැනට තමා සිදුකර ඇති සාකච්ඡා අනුව මෛත්‍රී ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට එකඟතාව පළ කර ඇති බවත් පැවසුවාය. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් මෛත්‍රී ඇමැතිතුමාට අගමැති ධුරය හිමිවිය යුතු බව ද එහිදී චන්ද්‍රිකා මැතිනිය කියා සිටියාය. ඒ සමගම තවත් ප්‍රශ්නයක් මතු විය. එනම් විධායක ජනාධිපති ධූරය අහෝසි කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ කල අගමැති ධුරය දරන මෛත්‍රී ඇමැතිතුමාට සිදුවන්නේ කුමක්ද? ඊට විසඳුම වූයේ එවිට නියෝජ්‍ය අගමැති ධුරය වැනි නව තනතුරක් නිර්මාණය කළ හැකි බවයි.


මෙවැනි වූ මනඃකල්පිත තත්ත්වයක් තුළද පොදු අපේක්ෂක සාකච්ඡාව දින ගණනක් ඉදිරියට ගිය අතර තමාට ඉතා වාසිදායක මෙම සන්දර්භය තුළ වික්‍රමසිංහ මහතා යෝජනා කළේ කරු, සෝභිත හාමුදුරුවන් අල්ලාගෙන පොදු අපේක්ෂකයා වෙන්න දඟලනවනෙ. ඒ නිසා තිස්ස ඔයා කියන්න කරුට විධායක ජනාධිපතිධුරය අහෝසි කළ පසු නාමික ජනාධිපති ධූරය භාරගන්න කියලා යනුවෙන් පැවසීය. කෙසේ වෙතත් දිනක් කරු ජයසූරිය මහතා ද සිටින රැස්වීමක මෙම ප්‍රශ්නය මතු කරන ලෙස වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායකට රහසින් මෙන් කීවේය. ඒ අනුව කරු ජයසූරිය මහතා ද සහභාගි වූ ජනාධිපතිවරණය පිළිබඳ සිදු කෙරුණු මෙම සාකච්ඡාව අතරතුර දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ වික්‍රමසිංහ මහතා කරුණු දක්වද් දී කථා කළ තිස්ස අත්තනායක මහතා සර් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසුව සෙරිමෝනියල් ප්‍රසිඩන්ට් කෙනෙක් ඕනනෙ. කවුද සර් ඒකට පත් කරන්න හිතල තියෙන්නෙ යනුවෙන් විමසීය. එවිට එක්වරම වික්‍රමසිංහ මහතා ඒක කරුට දෙන්න අපිට පුළුවන්නෙ. යනුවෙන් පැවසීය. සැබවින්ම සුපුරුදු පරිදි කරු ජයසූරිය මහතා ඒ පිළිබඳ තර්ක විතර්ක කිරීමට සූදානම් නොවු අතර ඒක මට ප්‍රශ්නයක් නෑ යනුවෙන් පමණක් පැවසීය.


2014 දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පසුව දිනක් ආණ්ඩුවේ කිහිපදෙනෙකු මුණ ගැසී කළ සාකච්ඡාවකදී තමා එම වසර අවසානයේදී ජනාධිපතිවරණයකට යාමට බලාපොරොත්තු වන බවට ජනාධිපතිතුමා ඉඟි කළේය. මෙම දේශපාලන ඉඟියත් සමග පසුදිනම චම්පික රණවක ඇමැතිතුමා මෛත්‍රී ඇමැතිතුමා මුණ ගැසී මම නම් මෙයාට ආයිත් ජනාධිපති වෙන්න උදව් කරන්නෙ නෑ. රනිල්ට උදව් කරන්නත් බෑ. එහෙම වුණොත් දේශපාලනයෙන් අයින් වෙනවා. පොදු වැඩපිළිවෙළක් ගොඩනැගුණොත් පමණක් ඒකට උදව් කරනවා. යනුවෙන් පැවසීය. මෙම සංවාදයේදී මෛත්‍රී ඇමැතිතුමාගේ අදහස ද ඊට සර්ව සම විය. ඉන්පසුව චම්පික ඇමැතිතුමා මුණ ගැසුණේ රාජිත සේනාරත්න ඇමැතිතුමාය. ඒ අනුව ඇමැති රාජිත ද කියා සිටියේ තමාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත ජනාධිපතිවීමට සහයෝගය ලබා නොදෙන බවයි. තවද රාජිත ඇමැතිතුමා එම සාකච්ඡාවේදීම කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්කර ගනිමු යැයි ඇමැති චම්පිකට යෝජනා කළේය. සැබවින්ම මෙම දෙදෙනා අතර ඉහත සංවාදය සිදුවූයේ කැබිනට් මණ්ඩල රැස්වීමක් අවසන් වීමෙන් පසුව අරලියගහ මැදුර තුළදීමය. එපමණක් ද නොව නිමල් සිරිපාල ඇමැතිතුමා ද චම්පික රණවක ඇමැතිතුමා මුණ ගැසුණු සෑමවිටම මෙන් ආණ්ඩුව වෙනස් කළ යුතු යැයි කියා සිටියේය.


විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසුව මහින්ද රාජපක්ෂ පන්නා දැමිය යුතුය යන මතවාදය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අහුමුළු දෙබස්වලදී ප්‍රසිද්ධියේම හඬ නගා කියා සිටියේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාය. තවද, ඉහත සඳහන් කළ ජල සම්පාදන මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකා අදාළ ඇමැතිවරයාටද නොදන්වා හොර රහසේ ජනාධිපතිවරයාගේ කැබිනට් සංදේශ ලෙස ඉදිරිපත් කළ සිදුවීමෙන් පසුව දිනේෂ් ඇමැතිතුමා මෙම මතය ඊටත් වඩා වේගවත් ස්වරයෙන් හඬ නැගීය. වරක් පාර්ලිමේන්තු ලොබියේදී මංගල සමරවීර මන්ත්‍රීතුමා මුණගැසුණු දිනේෂ් ඇමැතිතුමා ඉතා වේදනාවෙන් පරුෂ වචනයක් ද භාවිත කරමින් අසා සිටියේ මංගල ඕගොල්ලන්ට මෙයා එළවන්න මොකක්වත්ම වැඩපිළිවෙළක් නැද්ද? යනුවෙනි. එපමණක්ද නොව භාරත ඝාතන සිද්ධියේදී දිනේෂ් ගුණවර්ධන මහතා කරනු ලැබූ මෙවන් ප්‍රකාශ හා මාධ්‍යයට ලබාදුන් ප්‍රකාශ මත උරණ වූ රාජපක්ෂවරු ඔහුට දැඩි ලෙස පහර ගැසූහ.
මේ සියල්ලම අතර චම්පික ඇමැතිතුමා 2014 සැප්තැම්බරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණගැසුණේය. 2010 න් පසුව තමන්ට එල්ලවූ සියලු තාඩන පීඩන ඔහු එකින් එක ජනාධිපතිතුමාට විස්තර කරන්නට  විය. තම අමාත්‍යංශය තමන්ට ඇවැසි පරිදි කරගෙන යාමට ඉඩ නොදීම, බැසිල් රාජපක්ෂ මහතා තම කටයුතුවලට කළ අනවශ්‍ය බලපෑම.


එක්නැලිගොඩ ඝාතනය තමා වෙත පැටවීමට කළ උත්සාහය වැනි සිදුවීම් ඔහු එකින් එක විස්තර කළේය. ඉතා උද්වේගකර ස්වරයකින් තවදුරටත් කථා කළ ඇමැති චම්පික කියා සිටියේ ඔබතුමාගේ පවුලේ සියලු දෙනාම එක්ක එකතු වෙලා ආණ්ඩු කිරීම පිළිබඳව සියලු ඇමැතිවරු ඉතා වේදනාවට පත්වී සිටින්නේ. ඔවුන්ට ඒක ඉවසන්න බැරි තරම්. අපිත් මේවා තවදුරටත් ඉවසන්නේ නෑ. අපි තරුණ කාලේ ජේ.ආර්. එක්ක හැප්පුණා. ප්‍රේමදාස එක්කත් හැප්පුණා. මෙසේ කියන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම පුටුවෙන් නැගිට ක්ෂණිකව සරම වලාපට ගසා ගත්තේය. එවිට දොඩමළු වූ ජනාධිපතිතුමා “මල්ලි මට ඔයා ඔය ටික කියපු එක හොඳයි”


එසේ කියද්දී පවා නිමේෂයකට හෝ කලබල නොවු චම්පික තවදුරටත් එම ස්වරයෙන්ම කථා කරමින් ඔබතුමා නිවැරදි වෙන්න. මේකට ධනාත්මකව උත්තර හොයන්න. යනුවෙන් පවසද්දී ඊට පිළිතුරු සැපයූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇයි ඔයා මාව පරද්දන්නද?’ යන ප්‍රශ්නය නැගීය. ජනාධිපතිතුමාගේ ඊළඟ ප්‍රකාශය වූයේ ‘ඔයා හිතනවද මේ සල්ලියි බලයයි එක්ක මාව පරද්දන්න පුළුවන් කියලා’ එතුමා එසේ කියද්දී නැවත කථා කළ ඇමැති චම්පික මෙසේ ද කීය. ‘ඔබතුමා හිතනව ඇති 2005 දී ඔබතුමා දිනුවේ ටිරාන් අලස් හින් ද කියලා. සරත් එන්. සිල්වා, චමල් හා බැසිල් දන්නවා අපි 2005 දී වැඩ කළේ කොහොමද කියලා. හැබැයි අපි කරපුව ඔක්කොම බැසිල් එයා කරපු දේවල් හැටියට ඔබතුමාට පෙන්නල ඇති’ මෙලෙස කතා කළ චම්පික ඇමැතිතුමා ‘වැඬේට බැස්සොත් අපි දන්නව වැඬේ කරකව ගන්න හැටි’ යනුවෙන් ද පවසද්දී නැවත හුනස්සෙන් නැගී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තවදුරටත් සරම කැසපට ගසාගෙනම සිටී.


තවද, දැන් චම්පික ද තම අසුනෙන් නැගිට සිටී. මෙවර දොඩමළු වන්නේ ජනාධිපතිතුමාය. ‘මමත් දකුණෙ බෙලිඅත්තෙ. මටත් අවුරුදු 40ක විතර අත්දැකීම් තියෙනවා. ඔයත් ඒක දන්නවනෙ?’ ජනාධිපතිතුමා එසේ කියද්දී මෙම උද්වේගකර සතරකන් මන්ත්‍රණය අවසන් කරමින් කතා කළ චම්පික ඇමැතිතුමා ‘ජනාධිපතිතුමනි, මට නැතිවෙන්න දෙයක් නෑ. මට නැතිවෙන්න දේපලකුත් නෑ. මට නැතිවෙන්න පවුල් ජීවිතේකුත් නෑ. අපි හැප්පිලා බලමු’ යනුවෙන් පවසා අරලියගහ මැදුරෙන් පිටව ගියේය.


කෙසේ වෙතත් මෙම සතරකන් මන්ත්‍රණයේ ඇති විශේෂත්වය නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමා හා චම්පික අතර වූ සංවාදය කිසිවෙකුටවත් නොකියා සිටීමය. එහෙත් චම්පික ඇමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ මහත්වරුන් මුණගැසී සිදුවූ සියල්ල විස්තර කළේය. මෙම සිදුවීම ඇසීමෙන් එම දෙදෙනාම තරමක් කලබලයට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් ලිපියක් ද ලීවේය. ඒ සමගම චමල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීම තුළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද සම්බන්ධ කරගත් මැදිහත්කාර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කිරීමට චම්පිකගේ එකඟතාව පළ විය.


එම එකඟතාවට අනුව හෙළ උරුමය පාර්ශ්වයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ, පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවෝ මෙන්ම ඇමැති චම්පික, උදය ගම්මන්පිල, නිශාන්ත වර්ණසිංහ හා අනුරුද්ධ ප්‍රදීප් එහි ගියහ. විශේෂත්වය නම් ජනාධිපතිතුමා ඕමල්පේ සෝභිත හිමියන්ට වැඳ නමස්කාර කළ ද රතන හාමුදුරුවන්ට වැඳ නමස්කාර නොකිරීමය. මෙම සාකච්ඡාව ඉලක්ක කරගනිමින් හෙළ උරුමය විසින් පිවිතුරු හෙටක් යෝජනාවලියට සමාන එහෙත් ඊට වඩා පුළුල් යෝජනාවලියක් සකසා තිබුණ අතර හෙළ උරුමය මෙම සාකච්ඡාවට සහභාගි වූයේ එම යෝජනාවලිය ද අතැතිවය. සැබවින්ම එම යෝජනාවලිය තුළින් හෙළ උරුමය උත්සාහ කරනු ලැබූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යා හැකි දේශපාලන වැඩපිළිවෙළකට අවතීර්ණ වීම සඳහාය.
සාකච්ඡාව ආරම්භයේදී කථාව ආරම්භ කළ ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ‘2005 ජන වරම ඉතා හොඳින් ක්‍රියාත්මක කළ ඔබතුමා ත්‍රස්තවාදය ද අවසන් කිරීමට සමත් වුණා. එහෙත් 2010 සිට මේ දක්වා සිදුවන දේ පිළිබඳ අපි කිසිවකුත් තෘප්තිමත් නැහැ. එමනිසා අපිත් රටත් සතුටුවන දෙයක් සිදුකර ඡන්දෙකට යමු. ඒ සඳහා මේ දේශපාලන ප්‍රතිසංස්කරණයන් කළ යුතුමයි’ යනුවෙන් සෝභිත හිමියෝ පැවසූහ. නමුත් ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිළිතුර වූයේ ‘ඔය කියන ප්‍රතිසංස්කරණ කරන්න දැන් වෙලාවක් නෑ. ඕන නම් ඕක ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාල දාන්න’ යනුවෙන් පවසද්දී ඒ තුළ ගැබ්වූයේ හෙළ උරුමය පිළිබඳ ජනාධිපතිතුමාගේ මනසේ සිතිවිලි තුළ කිසිදු වටිනාකමක් නොමැති ස්වරූපයකි.


ජනාධිපතිතුමා එහිදී දැඩිලෙස රතන හාමුදුරුවන්ට බැණ වැදුණේය. ‘මගෙන්ම ඉඩම අරගෙන පන්සල් හදාගෙන මට කෙළින්න හදනවා. මගෙම ගමෙන් ඇවිල්ල ඉන්දියාවෙන් සල්ලි අරගෙන මාව පරද්දන්න හදනව. රනිල්ව බලයට ගේන්න හදනව.’ වැනි වදන් එතුමා තුළින් දිගින් දිගටම ප්‍රකාශ විය. ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශයට රතන හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය වූයේ මේක ගමේ ප්‍රශ්නයක් නොවෙයි. අපි ආවේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ගැන කතා කරන්න’ යනුවෙන් පැවසූහ. මෙලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උදහසට රතන හිමියන් ලක්ව තිබුණේ මේ වන විට මහින්ද රාජපක්ෂ පරදන බව රතන හිමියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීම නිසාවෙනි. මෙම අවස්ථාවේදී චම්පික ඇමැතිතුමා කතාකරමින් ‘අපි ආවෙ දේශපාලනය කතාකරන්න.’ යනුවෙන් පවසද්දී ඊට ජනාධිපතිතුමාගේ පිළිතුර වූයේ ‘මට කතා කරන්න ඕන දේශපාලනයක් නෑ’ යනුවෙනි.


තවද ඒ සමගම නැගිට සිටි ජනාධිපතිතුමා තමා අසුන්ගෙන සිටි පුටුවට වේගවත් පා පහරක් ගැසීය. එමගින් එතුමාගේ පාදය දරුණූ ලෙස පුටුවෙහි ගැටී ඒ තුළින් උපන් වේදනාවත් සමග ඉතා උච්ච ස්වරයකින් කෑ ගසමින් රැස්වීම් ශාලාවෙන් පිටව ගියේය. මෙම සාකච්ඡාව  සඳහා ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා ලලිත් වීරතුංග වැනි පිරිසක් සහභාගි වූ අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ කතා විලාශය තුළ ගැබ්ව තිබුණේ හෙළ උරුමය සිටියද නොසිටියද අපි ජනාධිපතිවරණය දිනනවා වැනි අර්ථයකි. මේ වන විට දෙපාර්ශ්වයම තමන් අසුන්ගෙන සිටි ආසනවලින් නැගිට සිටි අතර යළිත් දෙපිරිසම මොහොතකට අසුන්ගත්හ.


එහිදි චම්පික ඇමැතිතුමා දීර්ඝ දේශපාලන විස්තරයක් සිදුකළේය. එහිදී ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ කතා විලාශයට ප්‍රතිචාර දැක්වූ අතර ‘අපි නැතිව ඡන්දෙකට ගිහින් බලමු මොකද වෙන්නෙ කියලා’ යනුවෙන් වූ අභියෝගයක්ද කළේය.


මෙම උද්වේගකර සංවාදය සිදුවූයේ හෙළ උරුමය කණ්ඩායම නැගී සිටින අතරතුර. ඒ අනුව හෙළ උරුම කණ්ඩායම රැස්වීම් ශාලාවෙන් පිටවයාමට ප්‍රධාන දොරින් එළියට පැමිණෙද්දී ජනාධිපතිතුමාද එම දොරින්ම ඊට ඇතුළු වීමට පැමිණියේය. එහිදී ජනාධිපතිතුමා හා චම්පික මුහුණට මුහුණ හමුවූහ.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මහින්ද චම්පික හැප්පුණ හැටි

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4915 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site