IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොදු අපේක්‍ෂකයා සොයා මෙහෙයුම්

 

ආචාර්ය රංජිත් කබ්රාල් මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ද ළඟ හිතවතකු විය. මේ අනුව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සමාජයේ මුල් බැස ගනිද්දී ඔහුද උපක්‍රමිකව මෙම සංවිධානය ඉහත ආරම්භක පිරිසගේ සමස්ත ජයග්‍රහණයෙන් මුදවාගැනීමේ අරමුණින් එම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට ක්‍රියා කළේය. 


ඒ අනුව මූලික වශයෙන් ඉහත පිරිසට අමතරව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා ජේ. සී. වැලිඅමුණ ද ඊට එක්වූහ. ඒ සමගම මෙතැන් සිට සෝභිත හිමියන් හා චන්ද්‍රිකා මැතිනිය අතර මතවාදී සබඳතාව ගොඩනැගීමට ආචාර්ය රංජිත් කබ්රාල්ද මූලික විය. මේ අතර සෝභිත හිමියන්ගේ පෞද්ගලික හා දේශපාලන තීරණවලදී ඊට යම් බලපෑමක් එල්ල කළ හැකි මට්ටමේ පුද්ගලයකු වූ ආචාර්ය රංජිත් කබ්රාල් ද පෞද්ගලිකවම දැරූ අදහස වූයේ පොදු අපේක්‍ෂකත්වයට සෝභිත හිමියන් නුසුදුසු බවය. ඔහු වරක් සෝභිත හිමියන් අමතා ඒ බව ඍජුවම ප්‍රකාශ කළේ “හාමුදුරුවනේ චීවරයක් දරන ඔබවහන්සේ මේ තනතුරට සුදුසු නෑ. අනෙක ඔබවහන්සේ දිනුවත් ඔබ වහන්සේට මේක කරන්නත් බෑ” යනුවෙනි. 


මේ අතර ආචාර්ය කබ්රාල්ගේ හා ජයම්පතිගේ සම්බන්ධීකරණයෙන් සෝභිත හිමියන් හා චන්ද්‍රිකා මැතිනිය අතර සාකච්ඡා වට ගණනාවක්ම 2013 අග සහ 2014 වසර පුරාත් සිදුවිය. ඒ සමගම තවත් වරක් ආචාර්ය කබ්රාල් හා ආචාර්ය ජයම්පති දෙදෙනාම එක්ව ගොස් රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු අතර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වුවහොත් නිසැක වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා ජයගන්නා බව පැවසූ අතර වෙනත් පොදු අපේක්‍ෂකයකු මගින් ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඉන්පසුව රට පාලනය කිරීමේ වරම වික්‍රමසිංහ මහතාට හිමිවන බව ද පැවසීය. 


මේ අතර චතුර සේනාරත්න 2014 සැප්තැම්බර් මාසයේදී සෝභිත හිමියන් මුණගැසී පවසා තිබුණේ “හාමුදුරුවනේ කවුරු ආවත් නාවත් අපේ තාත්තා ආණ්ඩුවෙන් එළියට එන්න තීරණයකර හමාර” බවයි. තවද, එය ස්ථිර වශයෙන්ම සිදුවන බවත් තාත්තා සමග තවත් ඇමතිවරු පිරිසක් සාකච්ඡා කරමින් එකඟතාවකට පැමිණ ඇති බවද පැවසූ චතුර “අපේ තාත්තව යම් තීරණයකට ගන්නඑක හරි අමාරුයි. නමුත් තාත්තා තීරණයක් ගත්තොත් එය කිසිදු අයුරකින් වෙනස් නොකරන” බවද සෝභිත හිමියන්ට පවසා තිබුණි. 
වරක් රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට අවශ්‍ය බව දන්වා සිටි සෝභිත හිමියන්, 2014 ඔක්තෝබර් මාසයේ අවසන් සෙනසුරාදා රාත්‍රියේ නාග විහාරයට පැමිණි වික්‍රමසිංහ මහතාට දන්වා සිටියේ “අපේ ව්‍යාපාරයේ පළමුවැනි ඡන්ද ප්‍රතිඵලය ලැබිල තිබෙනව. රාජිත ඇමතිතුමාගේ පුතා මට සහතික වුණා රාජිත ඇමතිතුමා කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුවෙන් එළියට එන බව” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එම සාකච්ඡාවේදී පැවසීය. එහෙත් වික්‍රමසිංහ මහතා එය එකවරම පිළිගැනීමට යම් මැලිකමක් දැක්වූවා වැනිය. 


පොදු අපේක්‍ෂකයකු සොයා යාමේ කථාවේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නද අමතක නොකළ හැකි චරිතයකි. ඔහු චන්ද්‍රිකා මැතිනිය, කෝට්ටේ නාග විහාරය හා මෛත්‍රී ඇමතිතුමා යන සියලු පාර්ශවයන් සමග එක ලෙස සබඳතා පැවැත්වූ අයෙකි. ලංකා සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස මත දේශපාලන කටයුතු සිදුකළ ද චන්ද්‍රිකා මැතිනියගේ දේශපාලන සගයකු ලෙස අඛණ්ඩව එතුමිය සමග 2005 වසරෙන් පසුවද කටයුතු කළ කිහිපදෙනා අතර ආචාර්්‍ය ජයම්පතිද සිටියි. ඒ නිසාම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ලෝකයේ ජයම්පති සදාකාලික පසමිතුරකු වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. 


ආචාර්ය ජයම්පති 2012 වසරේ අගභාගයේදී ඔහුගේ මාක්ස්වාදී මිතුරකු වූ කුමාර් ඬේවිඞ් හා මාධ්‍යවේදී මහින්ද රත්නායක සමග නිතර මුණගැසී දේශපාලන වර්ධනයන් පිළිබඳ කථාකිරීම පුරුද්දක් වශයෙන්ම සිදු කළේය. එවැනි එක් අවස්ථාවක කුමාර් ඬේවිඞ්, ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකුගේ වලංගුභාවය පිළිබඳ තර්කය එම තිදෙනාගේ සංවාදය තුළට ගෙන ආවේය. මේ වනවිට 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා අසාර්ථක වී තිබුණ බවද අමතක නොකළ යුතුයි. ඒ අනුව කුමාර් තමා විසින් ලියනු ලබන ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ තීරු ලිපියෙහි මෙම පොදු අපේක්‍ෂක තර්කය ලියා දැක්වීය. ඊට ඉතා යහපත් ප්‍රතිචාරයන්ද පාඨකයන් දෙසින් යොමුව තිබුණි. මේ අතර චන්ද්‍රිකා මැතිනිය ශ්‍රී ලංකාවේ සිටින අවස්ථාවකදී එතුමිය සමග ජයම්පති මේ පිළිබඳ කථා කළේය. පොදු අපේක්‍ෂක කථිකාවේදී චන්ද්‍රිකා මැතිනිය, තමන් යළිත් ජනාධිපතිවරණයක් තරග නොකරන බව පැවසූ හිතවතුන් කිහිපදෙනා අතර ජයම්පති ද සිටියේය. එහෙත් මුල් යුගයේ සිටම විටින් විට සමහරු, පොදු අපේක්‍ෂකයා විය යුත්තේ ඔබතුමිය යැයි පැවසූ කළ ඇයගේ පිළිතුර වූයේ “ඒකට මගේ ළමයි කැමති නෑ” වැනි ප්‍රතිචාරයකි. මේ අතර ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එල්ලවූ දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නයේදී ආචාර්ය ජයම්පතිට එල්ලවූ තර්ජන ඉදිරියෙහි ඔහුට මාස 6ක් පමණ රටින් බැහැරව සිටීමටද සිදුවිය.


නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ජයම්පති කෝට්ටේ නාග විහාරය ආශ්‍රිතව ගොඩනැගෙමින් තිබූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටද තම සහයෝගය ලබාදුන්නේය. මේ අතර 2014 ජූලි මාසයේ දිනක් චන්ද්‍රිකා මැතිනිය ජයම්පතිට කියා සිටියේ මෛත්‍රී ඇමතිතුමා සමග සාකච්ඡාවකට එළැඹෙන ලෙසයි. ඒ අනුව එම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබුවේ ශෂිමාල් විසිනි. ශෂිමාල් යනු චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිධුරය දැරූ සමයේ එතුමියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ පී. දිසානායක මහතාගේ පුතණුවන්ය. ජයම්පති ආරම්භයේදීම ශෂිමාල්ට කියා සිටියේ “මට කෙළින්ම ඇමතිතුමා මුණගැහෙන්න ඕන. මට වේටින් රූම්වල නැවති නැවති ඉන්න බෑ.” සැබවින්ම ආරක්‍ෂක 

පියවරක් ලෙසයි ජයම්පති එලෙස පැවසුවේ. එහෙත් ජයම්පතිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ “වේටින් රූම්” වල රැඳීසිටීමට සිදුවිය. ඔහු ශෂිමාල්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. “ජයම්පති මෛත්‍රී ඇමතිතුමා මුණගැහෙන්න පැමිණියා” යන පණිවුඩය අරලියගහ මැදුර දැනගතහොත් එය අතිශය සැක සහිත කටයුත්තක් වනු ඇත.


කෙසේ වෙතත් මෛත්‍රී ඇමතිතුමා මුණගැසුනු ජයම්පති චන්ද්‍රිකා මැතිනියගේ අදහස් පිළිබඳ දක්වමින් තවදුරටත් කියා සිටියේ “ඔබතුමාට තිත්ත කසාය බොන්න වෙලාව ඇවිල්ල” යනුවෙනි. ඊට පිළිතුරු වශයෙන් මෛත්‍රී ඇමතිතුමා “ඔව් ඩොක්ටර් මටත් හිතෙනවා තිත්ත කසාය බොන්න වෙයි වගේ කියල” යනුවෙන් පැවසීය. මේ අනුව චන්ද්‍රිකා මැතිනිය මෛත්‍රී ඇමතිතුමා සමග සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමේ කාර්යභාරය මූලික වශයෙන් පී. දිසානායක මහතාට පවරද්දී අවශ්‍ය අවස්ථාවලදී ආචාර්ය ජයම්පති ද ඒ සඳහා මැදහත්කරුවකු ලෙස යොදා ගත්තේය.


එපමණක් නොව ද්‍රවිඩ ජාතික සන්ධානය සමග චන්ද්‍රිකා මැතිනිය ගෙනගිය සාකච්ඡාවලදීද චන්ද්‍රිකා මැතිනිය ඒ සඳහාද ආචාර්ය ජයම්පතිට යම් කාර්යභාරයක් පැවරීය. ඒ අනුව 2014 සැප්තැම්බර් මාසයේදී චන්ද්‍රිකා මැතිනියගේ ඉල්ලීමකට අනුව ජයම්පති පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මුණගැසුනි. ඒ වන විට සම්බන්ධන් මහතා සිටියේ විදේශගතවය. එහිදී චන්ද්‍රිකා මැතිනියගේ පොදු අපේක්‍ෂක යෝජනාවට සුමන්දිරන් මහතා තම සන්ධානයේ නිල නොවන සහයෝගය ප්‍රකාශ කළේය. 


මෙම සාකච්ඡාවේදී ආචාර්ය ජයම්පති සුමන්දිරන්ට ප්‍රකාශ කළේ පොදු අපේක්‍ෂකයා ලෙස ශ්‍රී.ල.නි.ප. යේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට චන්ද්‍රිකා මැතිනිය සූදානම් බවයි. මේ අනුව පසුදිනම මෛත්‍රී ඇමතිතුමාගේ විජේරාම නිල නිවසට පැමිණි ජයම්පති ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගත හැකි බව මෛත්‍රී ඇමතිතුමාට දැන්වීය. සැමවිටම ඉතා හදිසි බවකින් හා වේගවත් ගමනකින් යුත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙම ව්‍යාපාරය තුළ ස්වයං අභිප්‍රේරණයට ලක්ව සිටි තවත් එක් චරිතයකි. ඒ අනුව මේ සියලු සාකච්ඡා අතරතුර හදිසියේම ඔහු නාග විහාරයට ගොස් සෝභිත හිමියන් හා එම කණ්ඩායමද මුණගැසෙයි.


ජූලි මාසයේදී ආචාර්ය ජයම්පතිට රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම මුණගැසීමට අවස්ථාව ලැබී තිබිණි. ඒ මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. එහෙත් එහිදී ඔවුන් ගැඹුරු දේශපාලන කතාබහක නිරත නොවූහ. නැවත ජයම්පති සැප්තැම්බරයේදී මංගල සමරවීර මහතා මුණගැසුණි. රටපුරා පොදු අපේක්‍ෂක කථීකාව දිනෙන් දින මෝදුවෙමින් පැවතියද එ.ජා.ප. ය තුළ එවැනි ප්‍රසිද්ධ කථාබහකට ඉඩක් නොවීය. එවැන්නක් කථා කළ අයද එවැනි සාකච්ඡා සිදුකළේ පක්‍ෂයෙන් පිටත පෞද්ගලික මට්ටමිනි.

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

පොදු අපේක්‍ෂකයා සොයා මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5779 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site