IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තැපැල් ඡන්ද උණුසුම

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භවීමත් සමඟ ජනාධිපතිවරණයේ උණුසුම ඉහළ යමින් තිබේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඊයේ ආරම්භ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙවර දින පහක් වෙන්කර තිබීම විශේෂත්වයකි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඊයේ අද යන දින දෙකේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ නොහැකි ඡන්ද දායකයන්ට මේ මස හත්වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලබාදෙන බවය. එහෙත් එදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පමණක් බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි. මේ අතර පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇත්තේ ලබන සඳුදා සහ අඟහරුවාදා දින දෙකය. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම්පත් 717871 ක් ඉදිරිපත් කර තිබූ නමුත් මැතිවරණ කොමිසම ඉල්ලුම්පත් 58841ක් ප්‍රතික්ෂේප කර තිබිණ. ඒ අනුව පිළිගත් තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 659871 ක් වූ අතර ඉන් සියයට පනහකට ආසන්න ප්‍රතිශතයක් ඊයේ දිනයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු පළකර තිබුණේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 75956ක් වන අතර දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 26න් වැඩිම තැපැල් ඡන්ද දායකයන් පිරිස නියෝජනය කරන්නේ කුරුණෑගලය. සන්නද්ධ හමුදාවල වැඩිම සමාජිකයන් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කිරීම එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව ඉහළ යාමට විශේෂ හේතුවක් බවද පැවසේ.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය ලබාගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඉකුත් දින කීපය පුරාම ඉහළ ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කර තිබෙනු දක්නට ලැබිණ.

නැගෙනහිර පළාතේ මුස්ලිම් සහ දෙමළ ඡන්ද දායකයන්ට තර්ජනයකර ඔවුන්ගේ ඡන්දය වෙනත් පාර්ශ්වයකට හරවා ගැනීමේ වැඩ පිළිවෙළක් ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය චෝදනා කරයි. ඒ සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක පිරිසක් වැඩපිළිවෙලක් සකස්කර ඇතැයිද ඊට හිටපු කොටිනායකයන් දෙදෙනෙකු සම්බන්ධ බව ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් සඳහන් කරයි. මුස්ලිම් කොංග්‍රස් නායකයා ඒ සම්බන්ධයෙන් ඉකුත් දා යුරෝපියානු සංවිධාන නිරීක්ෂණ කණ්ඩායමටද පැමිණිලි කළේය. ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ දේශපාලන නිරීක්ෂක මෙරි බෝලන්ඞ් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඉකුත්දා මුස්ලිම් කොංග්‍රස් නායකයා හමු වූ අවස්ථාවේ ඔහු එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ට අමතරව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරියප්පර්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඞ් සහ මුස්ලිම් කොංග්‍රසයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඒ.එම් ෆායිස්ද සහභාගීවී සිටියහ. නැගෙනහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොදුවේ සුළු ජාතීන් ජීවත්වන ප්‍රදේශවල මැතිවරණ දිනයේදී අපරාධ හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීම් ඇතිවීමට ඉඩ ඇතැයිද මුස්ලිම් කොංග්‍රසය යුරෝපා නිරීක්ෂකයන් හමුවේ පැවසුවේය.
මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා මැතිවරණ නිරීක්ෂක සංවිධානය සහ තවත් ජාත්‍යන්තර ආයතන කිහිපයකින් නිරීක්ෂකයන් පිරිසක් සහභාගී වන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව තවමත් කණස්සල්ලට පත්ව ඇත්තේ මැතිවරණ නීති රීති උල්ලංඝනය වීමේ සිද්ධීන් සැලකිය යුතු ලෙස සිදුවන හෙයින් ‘ඇතැම් අපේක්ෂකයන් ඔවුන්ගේ පෞද්ගලික වාහනවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ ස්ටිකර් අලවාගෙන ඉන්නවා. අනවසර කාර්යාල පවත්වාගෙන යනවා. මේවා නීතිවිරෝධියි ඇතැම් දේශපාලන පක්ෂ ඉතා සියුම් ලෙස මැතිවරණ නීති කඩකරන බව අපට නිරීක්ෂණය වෙනවා. අපි හැම පියවරක්ම ගෙන මේවා පුළුවන් තරම් නතර කරන්න තමයි බලන්නේ. අපට සියල්ලම තනිව කළ නොහැකියි. රටේ පොදු මහජනතාව මේවාට එරෙහිව නැගී සිටිය යුතුයි” යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.

මේ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ නිලවාහන “තමන්ගේ පෞද්ගලික පාවිච්චියටද හිමිකම් තිබේ” යන කරුණ උපයෝගී කර ගනිමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින බවට චෝදනා එල්ලවී ඇතැයි මැතිවරණ කොමිසම කියයි. ඇතැම් නිල වාහන දේශපාලන ප්‍රචාරක කටයුතුවල යොදාගෙන සිටින අතර ඒවායේ පෝස්ටර් හා අත්පත්‍රිකා ප්‍රවාහනයට යොදා ගනිමින් තිබෙන බවට ද පැමිණිලි ගලාඑමින් ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන ලෙස පොලිසියට දැඩිලෙස උපදෙස් නිකුත් කර තිබෙනවා. අනවසර පෝස්ටර්, කටවුට් ආදිය ගලවන්න දැනටමත් පියවරගෙන තිබෙනවා රාජගිරිය මැතිවරණ කාර්යාලයේ සිට බොරැල්ල දක්වා වන ප්‍රදේශයේ තිබූ සියලු අනවසර පෝස්ටර් කටවුට් අපි ගලවා දැම්මා. එම මෙහෙයුම තවදුරටත් රටපුරා ක්‍රියාත්මකයි. පොලිසියේ ආරක්ෂාව ඇතිව ඒ වෙනුවෙන් කම්කරුවන් පිරිසක් සේවයට යොදවා ගෙන තිබෙනවා. යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ අතර හෝමාගම නගරයේ ස්ථාපිත කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලයට ඉකුත් දා මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් කඩා වැදුණේය. එම කාර්යාලය නීති විරෝධීව පිහිටුවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබිණ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් පියවර ගත්තේ එම කාර්යාලය වසා දැමීමටය. මේ අතර මැතිවරණ නිලධාරීහු ඉකුත්දා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙන්ම සමෘද්ධි සංවර්ධන අධිකාරියට කිහිපවිටක්ම ගියහ. එහි ගොස් පරීක්ෂා කිරීමේදී සමෘද්ධි සංවර්ධන අධිකාරියේ තිබූ ලිපි ගොනු තොගයක්ද මැතිවරණ නිලධාරීහු සිය සන්තකයට ගත්හ.

මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කරනු ලබන්නේ 2018 ඡන්දහිමි නාම ලේඛණය යැයි මැතිවරණ කොමිසම කල්තියාම සඳහන් කළේය. මේ සැරේ භාවිතා කරන්නේ 2018 ඡන්දහිමි නාමලේඛණය ඒ නිසා අලුත් තරුණ ඡන්ද ලක්ෂ කීපයක් අහිමි වෙනවා. ඒ අයට මේ වන විට වයස අවුරුදු 19 සම්පූර්ණයි. ඒත් 2018 ඡන්ද ලේඛණය සකස් කරනකොට ඒ අයට අවුරුදු 18 සම්පූර්ණ නැහැ. ඒ නිසා ඡන්දය දෙන්න ඒ අලුත් තරුණයින්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. මේ පිළිබඳව තරුණ ඡන්දය සුරැකීමේ සංවිධානයක් ඉකුත්දා කනස්සල්ල පළ කළේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් යම් පරස්පරතා තිබෙන බවට ඉකුත් කාලයේ නිල නොවන මට්ටමින් ආරංචි පැතිර ගියේය. නාමයෝජනා පත්‍ර බාර ගැනීම, ප්‍රතික්‍ෂේප කිරීම මෙන්ම ඇතැම් ඡන්ද විමසීම් සම්බන්ධ කාරණාවලදී කොමිසමේ සභාපතිවරයා සහ අනෙක් සාමාජිකයින් දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය වී තිබූ බවද පැවසේ. කෙසේ වෙතත් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යම් ප්‍රශ්නයක් මතුව ආවේය. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මාධ්‍යවේදීන් හමුවේ අලුත් අදහසක් ප්‍රකාශ කිරීම පිළිබඳව සභාපති මහින්ද දේශප්‍රියගේ නොමනාපයට හේතු වූයේය. ‘අපගේ ඡන්දය ප්‍රකාශ කරන ක්‍රමය ඉතා පරණයි. දැන් අලුත් ක්‍රම තියෙනවා. ඉන්ටනෙට් හරහා ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ලංකාවේ තිබෙන ඡන්ද ක්‍රමය පැරණි යල් පැන ගිය එකක්’ යැයි මහාචාර්ය හූල් කීවේය. හූල්ගේ කතාවට මහින්ද දේශප්‍රිය පිළිතුරු දුන්නේ තරමක අවේගයකිනි.

‘ඒක කොමිසමේ අදහස නෙමෙයි. එතුමාගේ පෞද්ගලික අදහස. මැතිවරණ කොමිෂන් සභාව ඔහුගේ මතය පිළිගන්නේ නැහැ. එතුමාට පෞද්ගලික අදහසක් දරන්න පුළුවන්. කොමිසමේ අදහස නොවෙයි. මම අවුරුදු 34ක් තිස්සේ ඡන්දය කරපු නිලධාරියෙක්. අපට අත්දැකීම් තිබෙනවා. මහාචාර්යතුමා ඉතා ස්වාධීන කෙනෙක්. ඒත් එතුමාට ඡන්දය ගැන අත්දැකීම් නැහැ’ යැයි මහින්ද කීවේය. ඒ අවස්ථාවේ කොමිසමේ අනෙක් සාමාජික නලින් අබේසේකර කිසිවක් කීවේ නැත.

කෙසේ වෙතත් මහින්ද දේශප්‍රිය තවදුරටත් කණස්සල්ලට පත්ව ඇත්තේ ජනමාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙනි. ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු විදේශ තත්ත්වයන් ද ගෙනහැරපාමින් ඒ පිළිබඳව කරුණු කීවේය. ‘මේ අයත් අර දේශපාලන සාගරයේ අතරමංවූ කාක්කෝ රැළ වගෙයි. ඇත්කුණ කකා මුහුද මැදටම යනවා. ඇත්කුණ කාලා ඉවර වුණාම ආයෙත් ගොඩබිමට එන්න බැහැ. එතනම මැරිලා වැටෙනවා. ඒක තමයි අපටත් ඇතැම් අය ගැන කියන්න වෙන්නේ. සල්ලි තියෙන බලවත්තු තමන් කැමති අපේක්ෂකයන්ට උදව් කරනවා. මාධ්‍ය ආයතන මිලදී ගන්න වුණත් මේ අයට පුළුවන්. ඇතැම් අය අමු අමුවේ දේශපාලනය කරනවා. මේවට කියන්න ගොඩක් දේවල් තියෙනවා. කරන්න ගොඩක් දේවලුත් තියෙනවා’ යැයි මහින්ද දේශප්‍රිය කියන්නේය.

මහින්ද දේශප්‍රිය තවත් විශේෂ කරුණක් හෙළි කළේය. ඔහු මුලදී කියා තිබුණේ ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය 18 වැනිදා දවල් කෑමට පෙර ලබාදිය හැකි බවය. ඒත් ඡන්ද පත්‍රිකාව දිගුවීම යම් හෙයකින් දෙවන වටයේ ගණන් කිරීමක් කිරීමට සිදු වුවහොත් ආදී කරුණු නිසා ඡන්ද ප්‍රතිඵලය ලබාදීම රාත්‍රි කෑම දක්වා කල් යන බවය. රාත්‍රී කෑම ගන්නා වේලාව කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූවිට ඔහු කීවේ. ‘කෑමට පෙර තවත් දේවල් තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මම කෑම කනකොට රාත්‍රී දහය පමණ වේවි’ යැයි ද ඔහු කීවේය.

ගෝඨාභයගේ  ජනරැලි මාලාවක්   ඉරිදා මාතලේ දිස්ත්‍රික්කයේ දී පැවැත්විණි. ප්‍රථමයෙන් පැවැත්වුණේ මාතලේ නගරයේ ජනරැලියයි. රැළිය සංවිධානය කර තිබුණේ රෝහණ දිසානායක විසිනි. තරමක වැසි ඇද වැටුණත් විශාල ජනකායක් එම රැලියට එක්ව සිටියහ.

මාතලේ නගරයේ පැවැති රැලියෙන් පසුව ගෝඨාභය රත්තොට බලා ගියේය. අනතුරුව නැවතත් මාතලේ බලා ආවේ දිවා ආහාරය ගැනීමටය. රෝහණගේ බිරිය විසින් දේශීයත්වයට මුල්තැන දෙමින් රසවත් දිවා ආහාර වේලක් සූදානම් කර තිබුණි. කෑම ටික රසයි කියමින් ගෝඨාභය දිවා ආහාරය ගත්තේය.

අනතුරුව එතැන සිටි මාතලේ වැසියන් සමඟ සුහදව කතාබහ කළ ගෝඨාභය ඔවුන්ට වුවමනා තරම් සෙල්ෆි ගන්නට ද ඉඩ දී සිටියේය. පසුව ලග්ගල බලා ගිය ගෝඨාභය එදිනම සවස මැදිරිගිරිය නගරයේ පැවැති ජනහමුවකට ද සහභාගී විය.
 
පසුගිය සතියේ පොදුජන පෙරමුණේ ජනරැලි කිහිපයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණි.

යාපනය, පේසාලේ, වාලච්චේන, මඩකලපුව, අම්පාර, කන්තලේ වැනි නගර කිහිපයකම දැවැන්ත ජනරැලි පැවැත්වුණේ මහින්දගේ සහ ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. අන් කවරදාටත් වඩා දෙමළ ජනතාවගේ සුවිශාල පිළිගැනීමක් මෙම සංචාරයේ දී මහින්දට සහ ගෝඨාභයට හිමිව තිබුණේය.

සියලුරැස්වීම් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරයක් ද දැකගන්නට ලැබුණි. විශේෂයෙන් පේසාලේ දී සහ මඩකලපුවේ දී ලැබුණු පිළිගැනීම ඉන් ඉහළම ස්ථානයක් ගත්තේය. දෙමළ ජනතාව සිටින රැස්වීම්වල දී මහින්ද සුපුරුදු පරිදි දෙමළ භාෂාවෙන් අදහස් දැක්වීම බොහෝ දෙනා අගය කළ කරුණක් විය.

ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු නිසා ප්‍රසන්න මේ දිනවල ගත කරනුයේ අවිවේකී දිවි පෙවෙතකි. පසුගිය සතියේ එක් දිනක බියගම ආසනයේ රැස්වීම් 50ක් ඇමතූ ප්‍රසන්න ඊට පසුදින දොම්පේ ආසනයේ රැස්වීම් 50ක් ඇමතුවේය. දොම්පේ ආසනයේ අවසන් රැස්වීම්වලට එන විට ප්‍රසන්න සිටියේ වචනයක් කතා කර ගත නොහැකි මට්ටමකය.

ඉතා අසීරුවෙන් හස්ත සංඥා ද උපයෝගි කරගනිමින් අවසන් රැස්වීම් කිහිපයත් ඇමතූ ප්‍රසන්නට සිදුවූයේ රැස්වීම්වලින් අනතුරුව බෙහෙත් ගැනීමටය. වෛද්‍යවරයා ප්‍රසන්නට අනතුරු ඇඟවූයේ කතා කිරීමෙන් වළකින ලෙසය.

එහෙත් පසුදින නැවතත් ගම්පහ ආසනයේ රැස්වීම් තිබුණු නිසා ප්‍රසන්නට බිරියගේ හෝ වෛද්‍යවරයාගේ ඉල්ලීම ඉටු කරන්න ලැබුනේ නැත. “මෙච්චර වැඩ තියෙද්දි කොහොමද කතා නොකර ඉන්නේ? මිනිස්සු බලන් ඉන්නේ අපේ කතා අහන්න”_ යැයි කී ප්‍රසන්න රැස්වීම්වලට සහභාගී වූයේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. එතැනදී සාකච්ඡාවට ලක් කෙරුණේ ජනාධිපතිවරණයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීම ගැනත් එහිදී කතාබහට ලක්විය.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මහින්දගේ නිවසේ දී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටියහ. විමල්, කෙහෙළිය, ප්‍රසන්න, මහින්දානන්ද, උදය ඇතුළු කණ්ඩායමක් එහි සිටියහ. ඔවුන්ගේ සාකච්ඡාවට මුල්ව තිබුණේ පාස්කු ප්‍රහාරය ගෝඨාගේ පිට පැටවීමට දැරෙන තැතක් සම්බන්ධයෙනි.

“අයි.එස්.අයි.එස් කාරයෙක් විදියට පුද්ගලයෙක් අන්දලා ව්‍යාජ වීඩියෝවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝව තුළින් පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභයගේ පිට පටවන්නයි මේ  අය සාකච්ඡා කරලා තියෙන්නේ”_ කෙහෙළිය පැවසීය.

“ඔව් ඔව් අපිටත් ඒ ආරංචිය ලැබුණා. රුපියල් කෝටි අටක් ද කොහෙද ඒකට ගෙවලා තියෙනවා කියලත් දැනගන්න තියෙනවා. ගෝඨාභයගේ උපදෙස් පිට අයි.එස් එකෙන් පාස්කු ප්‍රහාරය කළා කියලා ඇඟවෙන විදියටයි ඒක කරලා තියෙන්නේ” විමල් කීවේය.

“ආණ්ඩුව දන්නවා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් තමන්ට මිදෙන්න බැහැ කියලා. මිනිස්සු පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවත් එක්ක කේන්තියෙන් ඉන්නේ. මේ රටේ බහුතරයක් මේ වතාවේ ඡන්දය දෙන්නේ ජාතික ආරක්ෂාව ගැන හිතලයි. ඒක වළක්වන්න තමයි ආණ්ඩුව මේ වගේ නිවට වැඩ කරන්නේ” ප්‍රසන්න පැවසීය.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ ආසනවල කතෝලික ඡන්ද සේරම එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවුණා. මිනිස්සුන්ට ගොඩක්ම කේන්ති ගියේ ප්‍රහාරය එල්ල වෙන එක දැන දැනත් ආණ්ඩුව නිසි පියවර අනුගමනය නොකිරීම නිසයි. ඒ විතරක් නෙමෙයි ප්‍රහාරයෙන් අපේ මිනිස්සු මැරිලා ඉන්නකොට අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය සිනහා වෙමින් මාධ්‍ය සාකච්ඡාවලට එක්වෙච්ච ආකාරය නිසා දැන් අපේ මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ පිළිකුලක්” ලන්සා පැවසීය.

“ආණ්ඩුව දන්නවා කතෝලික ඡන්ද මේ වතාවේ එයාලට ලැබෙන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මේ වගේ මඩ වීඩියෝ හද හද ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න යන්නේ. පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියන එක තරම් තවත් විහිලුවක් නැහැ” අරුන්දික කීවේය.

“මේ වීඩියෝව පස්සේ ඉන්නේ මංගල, තුෂාර වන්නිආරච්චි සහ තුසිත හල්ලොලුවගේ පිරිසක්. මට දැනගන්න ලැබුණා දයානුත් මේකේ පාට් එකක් කළා කියලා. එයාගේ ෆෙස්බුක් එකේ ඒ වගේ සටහනක් දාලා තිබුණා. මේක නිකම් විහිලුවට කරපු එකක් නෙමෙයි. ලොකු ප්ලෑන් එකක් තිබිලා තියෙනවා”සනත් පැවසීය.

“කතෝලික මන්ත්‍රීවරුන් විදියට අපිට යුතුකමක් තියෙනවා මේ වගේ කුමන්ත්‍රණ හෙළිකරන්න. නැත්නම් ඊළඟ අවුරුදු පහෙත් අපේ මිනිස්සුන්ට වෙන්නේ බෝම්බ කන්න”_ ලන්සා පෙන්වා දුන්නේය.

“ආණ්ඩුව අඩු ගාණේ ප්‍රහාරය ගැන පරීක්ෂණවත් හරියට කළේ නැහැ. වගකිවයුත්තන් ඇමැති මණ්ඩලයේ ඉන්නකොට ඒ අය ඉවත් කරලා තමන්ගේ පිරිසුදුකම පෙන්නුවේ නැහැ. දැන් මොන දේ කළත් ජනතාවගේ හිත්වල තියෙන සැකය අරින්න බැහැ” සුදර්ශනී කීවාය.

කස්තුරි



අදහස් (0)

තැපැල් ඡන්ද උණුසුම

ඔබේ අදහස් එවන්න

කොලම

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 123 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 246 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 287 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 862 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 197 1

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site