ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු තියුණුවී තිබේ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම දැන් දැන් සිය ප්‍රතිවාදී අපේක්ෂකයෝ මඩ ප්‍රහාර හා තම තමන්ගේ වැඩපිළිවෙළ ආදිය ඉදිරිපත් කරමින් රට වටේ යමින් සිටිති. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධ චෝදනා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
“රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ පැමිණිලි තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය පක්ෂපාතීව කටයුතු කරනවා. ඇතැම් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි වාහන ආදිය ඡන්ද වැඩවලට යොදා ගන්නවා. මේ සම්බන්ධයෙන් අපට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පැමිණිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මැතිවරණ නීතිය කඩ කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් වරදකරුවන් වුවහොත් ඔවුන්ට රැකියාව අහිමි වේවි. නැත්නම් සිරදඬුවම් විඳින්න වේවි. දඩ කන්න වේවි” ආදී වශයෙන් තත්ත්වය මැතිවරණ කොමිසම පැහැදිලි කරයි.
මේ අතර ඇල්පිටිය ඡන්දය පවත්වපු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම උද්දාමයට පත්ව ඇතැයි පැවසේ. “අපි සාර්ථකව ඇල්පිටිය ඡන්දය පැවැත්වූවා. ඇල්පිටිය කෙරෙහි මුළු රටම බලාගෙන සිටියා. එකම සීරීම් තුවාලයක්වත් නැහැ. සියයට හැත්තෑ පහත් හැත්තෑ නවයත් අතර ප්‍රමාණයක් ඡන්ද පොළට ආවා. ඡන්දය දාන්න උනන්දුවක් දැක්වූවා. මේ පූර්වාදර්ශය අරගෙන ජනාධිපතිවරණයේදීත් සියයට 85ක පමණ ප්‍රමාණයක් ඡන්දපොළට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. සියයට 85ක් කියන්නේ ඉතා හොඳ ප්‍රතිශතයක්. විදේශගතව සිටින පිරිස. රෝගීන් හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වූවන් බන්ධනාගාරවල සිටින්නන් හැරුණු කොට රටේ සියලු දෙනාටම මේ පාර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්” යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උපකල්පනය කරන්නේය. ඔහු කියන්නේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මැතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවය. ඒ සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට මැතිවරණ කොමිසමට තොරතුරු වාර්තාවී ඇතැයි ද දේශප්‍රිය කියයි.
ජනාධිපතිවරණය ළංවෙත්ම දේශපාලනඥයන් පක්ෂයෙන් පක්ෂයට පැනීම දැකිය හැකි වෙතැයි අපේක්ෂා කළ හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉකුත්දා අතාවුල්ලාගේ සහ රිෂාඞ් බදියුර්දීන්ගේ පක්ෂවල නියෝජ්‍ය නායකයින් දෙදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එකතු වූහ. ඒ.එල්.එම්. අතාවුල්ලාගේ පක්ෂය ජාතික කොංග්රසයයි. එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා එම්.එස්. උදුමාල් ලෙබ්බේය. ලෙබ්බේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකි. රිෂාඞ් බදියුර්දීන්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ඒ.එම්. ජෙමිල්ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකි. ඔහුද ඉකුත්දා ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහාය පළ කළේය. මෙම දෙදෙනාම මීට ඉහතදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්රියාකාරීන්වී සිටි අතර පසුව දේශපාලන හේතූන් මත එම පක්ෂය අතහැරියහ. නැවත ඔවුන් දෙදෙනාම මහ ගෙදර පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් ඉකුත්දා කාත්තන්කුඩි ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය. ඉකුත් ඉරිදා ඔහු සිය පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කාත්තන්කුඩිය හිස්බුල්ලාගේ බල ප්‍රදේශය. හකීම් කාත්තන්කුඩියට ගොස් හිස්බුල්ලා දැඩි ලෙස විවේචනය කළේය. ඔහුගේ ක්‍රියාකලාපයට දොස් කීවේය. හකීම් කීවේ හිස්බුල්ලා ජනාධිපතිවරණයට තරග කරන්නේ කිසියම් පක්ෂයක අවශ්‍යතාවය ඉටු කිරීමට බවය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භවී වසර ගණනාවක් ගෙවී ගියද මේ දක්වා එම පක්ෂය පවත්වා ඇත්තේ ජාතික මහ සමුළු තුනක් පමණි. එම පක්ෂය ආරම්භ කළද මේ දක්වා කිසිදු මැතිවරණයකට තරග කළේද නැත. එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මෙවර තරගයට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කිරීමේ මහමොළකරු ලෙස හඳුන්වන කලක් ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රසිද්ධ නායකයකුව සිටි කුමාර් ගුණරත්නම් මෙවර පක්ෂයේ නායකත්වයට පත්ව සිටියි.
ගුණරත්නම් මහතා ඉකුත්දා පැවැති පක්ෂයේ තුන්වන ජාතික මහ සමුළුවේදී ලේකම්වරයා ලෙස පත්කර ගනු ලැබීය. පක්ෂයේ ලේකම් තනතුර එහි ප්‍රධාන තනතුර වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් 29ක් පත්ව ඇත්තේ කෙසේදැයි ඇතැම් පිරිසකට ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු නියෝජිතයන් ගණන 28කි. එහෙත් මෙවර නියෝජිතයෝ 29ක් පත්ව සිටිති. ඇල්පිටිය ප්‍රතිඵලය නිසා අපට වැඩිපුර මන්ත්‍රීවරයකු එම ප්‍රාදේශීය සභාවට දෙන්න සිද්ධ වුණා. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව එම පක්ෂයට හිමිවන්නේ මන්ත්‍රීවරුන් 16යි. හැබැයි එම පක්ෂය කොට්ඨාස 17ම දිනුවා. එම නිසා පක්ෂයට හිමි මන්ත්‍රීවරු 16 දුන්නොත් අනිත් දිනපු කෙනාට මොකද වෙන්නේ. කොට්ඨාසයක් දිනපු කෙනෙක් අපට අස් කරන්න බැහැ. වෙනත් පක්ෂයකට හිමි මන්ත්‍රී ගණන අඩු කරන්නත් බැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 17ක් දීලා ප්‍රාදේශීය සභාවේ නිල නියෝජිත සංඛ්‍යාව 29 කළා. ඒක මේ පාරට පමණයි වලංගු. ලබන සැරේ ඡන්දෙදී මෙවැනි දෙයක් නොවුණහොත් පත්වන මුළු සභික සංඛ්‍යාව 28යි.” ගාල්ල තේරීම් භාර නිලධාරියා පැහැදිලි කරන්නේය. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී ද ඇතැම් ප්‍රාදේශීය සභාවලට මෙවැනි තත්ත්වයන් මතු වූ බවද ඔහු පවසන්නේය.
පළාත් සභා මැතිවරණය කෙසේ හෝ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම කෙරෙහි විපක්ෂයේත් මැතිවරණ කොමිසමේත් අවධානය යොමුව තිබිණි. මැතිවරණ කොමිසම ඒ වෙනුවෙන් හුදකලා සටනක නිරත වූයේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සටනේ අරක්ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එම පක්ෂයට සහාය පළ කරන අනෙක් දේශපාලන පක්ෂත් පසුව සටන අත්හැර දැමීය. පළාත් සභා මැතිවරණය අතහැර දැමූ දේශපාලනඥයෝ ජනාධිපතිවරණයක් ඉල්ලා සටන් කළහ. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවද තමා කොමිසමේ සාමාජිකයකු ලෙස තවදුරටත් කටයුතු කරන බවද පසුව ඔහු කීවේය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත. පළාත් සභා මැතිවරණය පැවැත්වූයේද නැත. මහින්ද දේශප්‍රිය පසුව කීවේ ජනාධිපතිවරණය නිමවූ විගස කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය.
ජනාධිපතිවරණය මේ වනවිට කට උඩටම ඇවිත් තිබේ. ඒ අතරතුරදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. සුමන්තිරන්ගේ යෝජනාව ඉකුත් බ්‍රහස්පතින්දා රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබිණ.
සුමන්තිරන් යෝජනා කරන පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත්තේ අලුත් ඡන්ද ක්‍රමය අහෝසි කිරීමටය. කොට්ඨාස ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිය අහෝසි කිරීමටය. ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත අහෝසි කිරීමටත් පෙර පැවැති 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත යළි බලාත්මක කිරීමටත් එම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. ඉදිරියේදී එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වූ පසුව දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එක්ව වැඩ කිරීම ආරම්භ කර තිබේ. එහෙත් යම් යම් ප්‍රදේශවල තත්ත්වය වෙනස් බවක් පෙනේ. හෝමාගම පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිප දේශපාලන රැස්වීම් දෙකක් එකම දවසේ එකම වේලාවේ ස්ථාන දෙකකදී පැවැත්විණි. එක් රැස්වීමක් බස්නාහිර පළාත් සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ නිවසෙහි පැවැති අතර අනෙක් රැස්වීම හිටපු පළාත් සභා ඇමැති ගාමිණි තිලකසිරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාක්ෂිකයන් පිරිසක් කීවේ පක්ෂ දෙක එකතු වුවද ඒ ඒ දේශපාලනඥයන් වෙන වෙනම කටයුතු කරන බවය. මේ අතර හෝමාගම ප්‍රාදේශීය සභාවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව් දෙනාට සහ ගාමිණි තිලකසිරිට ඉකුත්දා බන්දුල ගුණවර්ධනගෙන් විශේෂ ආරාධනාවක් ලැබී තිබිණි. බන්දුල ඔවුන්ට දැනුම්දී තිබුණේ සිය කාර්යාලයට පැමිණෙන ලෙසය. තමන්ගේ කාර්යාලයට පැමිණි ශ්‍රීලනිප දේශපාලනඥයන් පිළිගැනීම සඳහා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කටයුතු කළේය. ඔහු ශ්‍රීලනිප දේශපාලනඥයන් ගෞරවයෙන් පිළිගන්නා බව කීවේය. මේ අතර ශ්‍රීලනිප දේශපාලනඥයින් එන අවස්ථාවේ තවත් විශේෂ දෙයක් වූයේය. ජනක වැලිවත්ත බන්දුල ගුණවර්ධනගේ කාර්යාලයේ සිටියේය. ජනක වැලිවත්ත හිටපු පළාත් ඇමැතිවරයා සහ ගාමිණී තිලකසිරි අතර දේශපාලන නොහොඳ නෝක්කාඩුවක් තිබෙන්නේය. ගාමිණි තිලකසිරි පිළිගැනීමට ජනක වැලිවත්ත එතැන සිටියේ නැත. ගාමිණි තිලකසිරි දුටු විගස ඔහු මගහැර ගියේය. ඒ පිළිබඳව එතන සිටි පිරිස අතරේ කසු කුඩුවක් පැවතිණි. ඇතමෙක් කීවේ “ අපි හිතුවේ හූ කියයි කියලා. එහෙම නොකර ගිය එකත් හොඳයි” යනුවෙනි.
කස්තුරි
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ ස
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින් පසුවය. ඇතැම්විට අමාත්‍යවරයා වෙනස්වීමෙන් පසුව ද සමහර සභාපත
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක් සඳහා පිඹුරුපත් සකසන බව සඳහන් මාධ්‍ය ව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජන්ද නීතිය කැඩුවොත් වැඩ වරදී