IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනකගේ නිවෙසේ කේන්දර මෙහෙයුම

 

ජනක බණ්ඩාර ඇමතිතුමාගේ නිවසේ මැද සාලයේ ප්‍රධාන මේසය වටේ ඉඳගත් මෙම පිරිස රාජපක්ෂවරු එක එක්කෙනාගේ හඳහන්වල ග්‍රහ පිහිටීම්, අපල තත්ත්වයන් හා සුබ ඵල පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් වාදවිවාද කළහ. පුදුමයකට මෙන් මේ සියලුදෙනාටම අනුව රාජපක්ෂවරු කිසිවකුට පෙනෙන තෙක් මානයක රාජයෝග හෝ සුබදායක තත්ත්වයක් නොවීය. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අපල තත්ත්වය ඉතාමත් පැහැදිලි වූ අතර එතුමාට සෙනසුරු දශාවේ අෂ්ඨම ඒරාෂ්ටකය එම වසරේ නොවැම්බර් 3 වැනිදා උදාවීමට නියමිතව තිබුණි.


ඊළඟට මොවුන් වාදවිවාද කළේ පවුලේ දරුවකුගේ, බිරිඳකගේ හෝ සහෝදර සහෝදරියකගේ නැතහොත් ඥාති දරුවකුගේ හඳහනෙහි ගුණ බලයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට යම් රැකවරණයක් ලැබේ ද යන්නය. එහෙත් ඒ කිසිවකුට එලෙස ද නොපෙනින. මේ අතර එම තර්කයට අනුව ශිරන්ති රාජපක්ෂ ආර්යාව සතුව හඳහනක් නොමැතිවීම මේ පිරිස යම් අසහනයකට පත්කළ කරුණක් විය. මන්දයත්. බිරිඳ ලෙස ඇයගේ හඳහන ප්‍රබල වුවහොත් එමඟින් ජනාධිපතිතුමාගේ අපලය සමතුලනය වියහැකි නිසාය. කෙසේ වෙතත් පී. ඩී. පෙරේරාගේ හා සෝම ස්වාමිගේ අදහස වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒරාෂ්ටක අපලයේ උදාව නොවැම්බර් 3 වැනිදා සිදුවන බවකි. විශේෂයෙන්ම මීට සහභාගි වූ පී. ඩී. පෙරේරා පිළිබඳ සඳහන් කිරීමේදී ඔහු බණ්ඩාරනායක මැතිනියට පවා නැකැත් සැදූ මෙන්ම බණ්ඩාරනායක පවුලේ හඳහන් බැලූ අයෙකි. 1977 පරාජය හා 2001 පොදු පෙරමුණු පරාජය පිළිබව ද ඔහු අනාවැකි පළකර පුවත්පත්වල ප්‍රකාශයට පත්කර තිබුණද එම මැතිවරණ දෙකෙහිදීම ඔහු ඡන්දය භාවිත කළේ ශ්‍රී.ල.නි.ප යටය.


මේ අතර ඉදිරි වර්ධනයන් සමඟ චන්ද්‍රිකා මැතිනියට මෛත්‍රී ඇමතිතුමා සමග අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය වුවද ඊට පහසු මඟක් නොවීය. හමුවී කථාකළ නොහැකිය. දුරකථනයෙන් කථාකළහොත් එයට සවන්දෙන බවට වන මතයකි. මෙවැනි වාතාවරණයක් යටතේ එකම විකල්පය වූයේ වෛබර් මගින් කථාකිරීමය. ඒ අනුව චන්ද්‍රිකා මැතිනියට කථා කිරීමට අවශ්‍ය වූ කල පී. දිසාගේ පුත් ශෂිමල් මෛත්‍රී ඇමතිතුමා සිටින ස්ථානයට යා යුතුය. එය මෛත්‍රී ඇමතිතුමාට පහසු වේලාවක්ද විය යුතුය. කෙසේ වෙතත් මෙලෙස අවස්ථා දෙක තුනකදී චන්ද්‍රිකා මැතිනිය හා මෛත්‍රී ඇමතිතුමා වයිබර් යොදාගනිමින් කථා කළහ.


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා නිතර චන්ද්‍රිකා මැතිනිය මුණගැසෙමින් “මැඩම් ඔයාට විතරයි ීඛෑඡ එකේ කීප දෙනෙක් එළියට ගන්න පුළුවන්” යයි කියමින් නිතර ඇවිටිලි කළේය. සැබවින්ම මෙම ඉල්ලීම හදිසියේ මතුවූවක් නොව 2007 වසරේ අයවැය අවස්ථාවේ සිටම ඇති වූ තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස නිතර කරදර කිරීමට චන්ද්‍රිකා මැතිනිය දැක් වූ ප්‍රතිචාරය වූයේ “රනිල් මට ඒක කරන්න බෑ. මම කිව්වට ඒ අය එන්නෙ නෑ. එකම විකල්පය අපි හදමු විපක්ෂයේ පක්ෂවල පෙරමුණක්. ඒකයි තිබෙන එකම විකල්පය’ යනුවෙන් පැවසුවාය. සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය වූ ශ්‍රී.ල.නි.ප.ය කඩා එ.ජා.ප.යට එක්කර ගැනීමේ ක්‍රියාවලියට හසු නොවූ චන්ද්‍රිකා මැතිනිය ආරම්භයේ සිටම උත්සාහ කළේ උපක්‍රමිකව පොදු අපේක්ෂකත්වය ශ්‍රී.ල.නි.පයෙන් එළියට එන අයකුහට ලබාදීමටය.


මෙවන් උපාය මාර්ගික ප්‍රවේශයක සිටි ඇය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා සිටියේ පොදු නමකින්, පොදු ලකුණකින් පොදු අපේක්ෂයකු ඉදිරිපත් කළහැකි නම් තමාට ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් එළියට ගතහැකි බවය. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනිය මේ වන විට සබඳතා ගොඩනඟාගෙන සිටි ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන්ගේ අදහස වූයේද තමන්ට එ.ජා.ප.යට යා නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන්නේ නම් තමන් එම කැපකිරීම සිදු කිරීමට ඉදිරිපත් නොවන බවත්ය. නමුත් චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව වන තත්ත්වයක් තුළ තමන් ආණ්ඩුවෙන් ඉවත්ව එළියට පැමිණ ඕනෑම තත්ත්වයකට මුහුණදෙන බවද පැවසූහ.


සැබවින්ම මෙම ගොඩනැඟෙන තත්ත්වය එක් අතකින් චන්ද්‍රිකා මැතිනියට අභියෝගයකි. මෙම සන්දර්භය තුළ තමා පොදු අපේක්ෂිකාව නොවන බව පැවසූ කල මෙම සියලු පිරිස්වල චිත්ත ධෛර්යය බිඳවැටේ. ඒ තුළ දැනට සෑම තැනකම වෙන් වෙන්ව හා සාමූහිකව ගොඩනැඟෙන පොදු අපේක්ෂක කතිකාව බිඳවැටි රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂකත්වය ස්ථාවර වියහැක. එය, ගොඩනැඟෙන මෙම නව දේශපාලන සන්දර්භයට ඉතා හානිකරය. එවන් පසුබිමක සිටි චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂකයා කවුද යන ප්‍රශ්නය ඉදිරිපත්වන සෑමවිටම කියා සිටියේ ‘හරි මම නියම වෙලාවට හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන්නම්, අහන්න එපා කවුද කියලා’ යනුවෙන් පැවසුවාය. චන්ද්‍රිකා මැතිනියගේ මෙම ප්‍රකාශය තුළ තවදුරටත් පොදු අපේක්ෂකයා එතුමියම බව බොහෝ දෙනකුගේ විශ්වාසය විය. ඒ අවසරයෙන් ගොඩනැඟෙන පොදු අපේක්ෂක කතිකාව ද සමාජය තුළ බාධාවකින් තොරව වර්ධනය විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර සාකච්ඡාවකදී වරක් වික්‍රමසිංහ මහතා හට එතුමිය මෙසේ කීවාය. ‘රනිල්, කරුණාකරල ඔයාගේ පක්ෂය සංවිධානය කර ගන්න. අපි ගොඩනඟන පොදු පෙරමුණේ පදනම වෙන්නේ ඔයාගෙ පක්ෂයයි. ඔයාගේ පක්ෂයේ පදනම ශක්තිමත් කරගත්තොත් විතරයි අපිට ශ්‍රී.ල.නි.ප.යේ කණ්ඩායමක් ගන්න පුළුවන් වන්නේ’ තවත් එවැනි අවස්ථාවක චන්ද්‍රිකා මැතිනිය රනිල් වික්‍රමසිංහ මහතා හට එ.ජා.ප.ය ගොඩනඟන ආකාරය පිළිබඳ ඇයගේ විග්‍රහය ඉදිරිපත් කළාය. ඇය ශ්‍රී.ල.නි.පයේ ශාඛා සමිති ගොඩනඟාගත් ආකාරය පිළිබඳ වික්‍රමසිංහ මහතාට විස්තර කළේය. එහිදී වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේ තමා පළමුව පක්ෂයේ අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීමට කටයුතු කරන බවකි.


එහෙත් චන්ද්‍රිකා මැතිනිය ඒ සම්බන්ධයෙන් දැරුවේ වෙනත් අදහසකි. එනම් ‘රනිල් ඔයා දැන් ඉන්නේ ‘චිකන් ඇන්ඞ් එග්’ සිටුවේසන් එක්ක. ඔයා මුලින්ම ග්‍රාස් රූට් එකට බහින්න. පක්ෂයේ ආරවුල් විසඳලා මේක කරන්න හිතන්න එපා. එතකොට දෙකෙන් එකක්වත් වෙන්නෙ නෑ. ඔයා පක්ෂයේ ශාඛා සමිති හරියට පිහිටුවනකොට ඉබේම ඔයාට එරෙහිව තිබෙන ප්‍රතිවිරෝධය අඩුවෙනවා.


මාස ගණනක් පුරා සිදු වූ මෙම සාකච්ඡාවල දී බොහෝවිට චන්ද්‍රිකා මැතිනිය එ.ජා.ප.ය සමඟ කළ සාකච්ඡා සඳහා සහභාගි වූයේ රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම හා මංගල සමරවීරය. ඊට අමතරව රවී කරුණානායක මහතා සමඟද ඇය වෙනත් ආකාරයක සංවාදයක් පවත්වාගෙන ගියාය. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකදිගට වැඩි වේලාවක් වාඩි වී සිටීමටත්, අසා සිටීමටත් එතරම් අභිරුචියක් නොදක්වන්නෙකි. මේ නිසාම චන්ද්‍රිකා මැතිනිය එවැනි අවස්ථාවල වාඩි වී ගැඹුරින් ප්‍රශ්න සාකච්ඡා කරන්නේ මලික් සමරවික්‍රම මහතා සමඟය. රනිල් - මලික් සමඟ පැවති තවත් සාකච්ඡාවකදී චන්ද්‍රිකා මැතිනිය මෙසේ කීවාය ‘අපේ ීඛත්‍ඡ එකේ මිනිස්සුන්ව මං පාවල දෙන්නෙ නෑ, මුලින්ම ඕගොල්ලො සංවිධානය වෙන්න පක්ෂය විදිහට. ඊළඟට අපි විපක්ෂයේ පොදු සන්ධානය හදමු” චන්ද්‍රිකා මැතිනිය එලෙස කීවත් ආරම්භයේ දී එවැනි පොදු විපක්ෂ සන්ධානයක් ගොඩනැඟීමට රනිල් වික්‍රමසිංහ මහතා තුළ එතරම් කැමැත්තක් නොතිබූ බව චන්ද්‍රිකා මැතිනියට පෙනී ගියාය.


කෙසේ වෙතත් ඇය දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සමඟද මේ වන විට සාකච්ඡා කිරීම ආරම්භකර තිබිණි. මෙම සාකච්ඡාවල දී ඒ සියලු දෙනාගේම පළමු හා වැදගත්ම ප්‍රශ්නය බවට පත්වූයේ ීඛත්‍ඡ එකෙන් කී දෙනෙක් එනවාද? යන ප්‍රශ්නයයි. තවද, මේ සියලුදෙනාම ඒ වනවිට අවිවාදයෙන් විශ්වාස කළේ යෝජිත පොදු අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියම බවයි. එම තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරී මැදිහත්වීමක් නොමැතිවම යෝජිත විපක්ෂයේ පොදු පෙරමුණ ගොඩනැඟෙමින් තිබිණි.


මේ අතර සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වන විට ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ හැර අන් සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමඟ චන්ද්‍රිකා මැතිනිය මෙලෙස සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ සමඟ අදහස් හුවමාරු කරගත්තේ මංගල සමරවීර මහතාය. විශේෂයෙන්ම 2003 වසරේ අගභාගයේ දී ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟිනි. ඊට ශ්‍රී.ල.නි.ප.යේ මූලික වූයේ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා හා මංගල සමරවීර මහතාය.


චන්ද්‍රිකා මැතිනිය තමාගේ ඉතා විශ්වාසවන්තම කිහිප දෙනෙකුගෙන් විමසා සිටියේ මෛත්‍රී වගේ කෙනකු පොදු අපේක්ෂකයා වුවහොත් තත්ත්වය කෙබඳු ද යනුවෙනි. එවිට බොහෝදෙනකු සිතුවේ චන්ද්‍රිකා මැතිනිය එතුමිය පිළිබඳ ඇති විශ්වාසය පෙරළා තමන්ගෙන් ප්‍රශ්න කරන බවය. ඒ නිසාම පළමු අවස්ථාවේදීම ඒ බොහෝ දෙනකු එතුමිය ඇසූ එම ප්‍රශ්නයට ඇය ඉදිරියේදීම ‘නෑ නෑ ඔබතුමියමයි එන්න ඕන’ යනුවෙන්     පැවසීම අතිශයින්ම සාධාරණය.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ජනකගේ නිවෙසේ කේන්දර මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site