IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කිරිඇල්ල ජවිපෙ සහය ඉල්ලයි

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම-14

 

රටම නොසන්සුන්ය. අගමැතිවරයකු සිටියදී එම අගමැතිවරයා ඉවත් කර වෙනත් අයකු අගමැති ධුරයට පත් කිරීමක් මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදිනෙක සිදුවී නොමැත.


එහෙත් එය සිදුවී තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර තිබේ. නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ. මෙම තත්ත්වය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ජවිපෙ අනුර කුමාර සමග දීර්ඝව සාකච්ඡා කළේය. “අපට මේ වෙලාවේ ඔබතුමාලගේ සහයෝගය අවශ්‍යයි.” ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිරිඇල්ල කීවේය.
රටේ තත්ත්වය අනුර කුමාර පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේ මෙසේය.


ගරු අනුර දිසානායක මහතා : ගරු කථානායකතුමනි, ගරු විජිත හේරත් සහෝදර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කරමින් මම ඒ පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමතියි.


ගරු කථානායකතුමනි, අද අපේ රටේ විශාල අරාජික තත්ත්වයක් මතුවී තිබෙනවා. ඔබතුමා පසුගිය 15 වැනිදා මෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා ආණ්ඩුවක් නොමැති බව. එම නිසා ඇතිවී තිබෙන තත්ත්වය අද අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් මර්මස්ථානවලට විශාල බලපෑමක් ඇතිකොට තිබෙනවා, සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇතිකොට තිබෙනවා. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම විශාල කඩාවැටීමකට ලක්වී තිබෙනවා. මේ ඇති වී තිබෙන අස්ථාවරභාවය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අස්ථාවරභාවය අවසන්කොට රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවටත්, මේ රටේ පොදු ජනතාවටත් අපි හැමදෙනාටම වගකීමක් තිබෙනවාය කියා විශ්වාස කරනවා.


ගරු කථානායකතුමනි, මෙම අස්ථාවරභාවය ඕපපාතිකව නිර්මාණය වූවක් කියා අපි පිළිගන්නේ නැහැ. එක්කෝ එය මහා දැවැන්ත සුනාමියක්. එසේ නැත්නම් දැවැන්ත ගංවතුරක් වැනි තත්ත්වයක් විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි. අද අපේ රටේ ඇතිවී තිබෙන අස්ථාවරභාවය හා අරාජිකත්වය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්, ගරු කථානායකතුමනි.


පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වැනිදා ඉතාමත් පැහැදිලි ලෙස අපේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ගරු කථානායකතුමනි, ලංකා ඉතිහාසයේ ආණ්ඩු පෙරළුණු ඉතිහාසයන් අපි දැක තිබෙනවා. අග්‍රාමාත්‍යවරුන් මාරු වුණු ඉතිහාසයන් අපි දැක තිබෙනවා. ගරු කථානායකතුමනි, එක පැත්තකින් මැතිවරණයක්  ප්‍රකාශයට පත්කර මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් මැතිවරණයට අවශ්‍ය වන කටයුතු සූදානම් කර, දේශපාලන පක්ෂ මැතිවරණයට තරඟ වැදිලා ඡන්ද දිනයේදී ජනතාව ඡන්දපොළට ගිහින් ඡන්දය දීලා ඡන්ද ප්‍රතිඵල අනුව පසුගියදා ආණ්ඩුවක් පිහිටුවූවා. ඒ ආණ්ඩු පිහිටුවීම මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද, නැද්ද කියන එක කෙසේ වුවත්, ඒ ආණ්ඩු පිහිටුවීම මේ රටේ ජනතාව අනුමතකොට තිබෙනවා. ඒ වාගේම ගරු කථානායකතුමනි, තවත් අවශ්‍ය නම් අවස්ථාවක් තිබෙනවා. එක මහ මැතිවරණයක සිට තව මහ මැතිවරණයක් දක්වා කාල පරිච්ඡේදයක් ඇතුළත තිබෙන ආණ්ඩුව පරදවා තව ආණ්ඩුවක් පිහිටුවා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා මේ පාර්ලිමේන්තුවට අවස්ථාවක් තිබෙනවා. එක් මහ මැතිවරණයකදී පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත්තාට පසුව ඊළඟ මහ මැතිවරණය දක්වා මේ පාර්ලිමේන්තුවට අවස්ථාවක් තිබෙනවා, බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පත්කර ගන්න. එය මිලදී ගැනීම්, පැනීම් හරහා සිදුවුවත් එයත් මේ රටේ සම්ප්‍රදායක් හැටියට අප පිළිගත යුතුව තිබෙනවා.


ගරු කථානායකතුමනි, මහජනයා පාරට බැහැලා උද්ඝෝෂණය කරලා, ඉතාම දුර්දාන්ත පාලකයන් පළවා දැමූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. එවැනි පළවා හැරීම් ද දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප පිළිගන්නවා, ගරු කථානායාකතුමනි. ඒ නිසා අපේ රටේ ආණ්ඩු පෙරළීම් සඳහා අවශ්‍ය ආකාර, පිළිගත යුතු ආකාර තුනක් තිබෙන බව අපි විශ්වාස කරනවා. එකක්, ඡන්දයක්. අනෙක ඡන්දයක් සහ තව ඡන්දයක් අතර පාර්ලිමේන්තුව හරහා. තව අවස්ථාවක් තමයි ගරු කථානායකතුමනි, තිබෙන දුර්දාන්ත පාලනය පෙරළා හැරීම සඳහා මහජන බලවේගයන් හරහා. හැබැයි, ගරු කථානායකතුමනි පසුගිය 26 වැනිදා රාත්‍රියේ සිදුවූයේ මේ පිළිගත් කිසිදු සිද්ධාන්තයකට අදාළ වන ආණ්ඩු පෙරළියක් නොවෙයි. රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහත්මා කැඳවා මේසයේ එක පසෙක මහින්ද රාජපක්ෂ මහත්මයා සිටගෙන, මෛත්‍රීපාල මහත්මයා තව පසෙක සිටගෙන මෛත්‍රීපාල මහත්මයා කියනවා, නුඹ අගමැති මම ජනපති කියලා. එහෙම කියලා ආණ්ඩුවක් හදනවා. ගරු කථානායකතුමනි, එවැනි කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළීම් අපි පිළිගත යුතුද? ගරු කථානායකතුමනි, එක් ආණ්ඩුවක් පෙරළා දැමිය හැකිව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ල උල්ලංඝනය කරමින් තනි පුද්ගලයෙකුගේ, දෙදෙනෙකුගේ හිතුවක්කාරී, තක්කඩි වුවමනාවන් සඳහා ආණ්ඩු පෙරළීම දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස අපි තේරුම්ගත යුතුව තිබෙනවා.
ගරු කථානායකතුමනි, අපි මේ රටේ පොදු ජනයාට ස්තුතිවන්ත වනවා. ලෝකයේ වෙනත් රටක මෙවැනි වර්ගයේ ආණ්ඩු පෙරළීම් සිද්ධ වුණා නම් ඒක ලේ ගංගාවකින් කෙළවර වන එක වළක්වන්න බැහැ. අපේ රටේ සිය මතය අනුව දේශපාලන පක්ෂවලට බෙදිච්ච ජනතාවක් ඉන්න පුළුවන්, දේශපාලන පක්ෂ පිළිබඳව වෙනස් කෝණයෙන් බලන මාධ්‍යවේදීන් ඉන්න පුළුවන්. හැබැයි, අපි හැමදෙනාම පොදු එකඟතාවකට ආ යුතුව තිබෙනවා. මොකද, මෙවැනි පන්නයේ කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළි ලෝක ඉතිහාසයේ කවර ඉරණමක් එම රාජ්‍යයන්ට අත්පත්කොට දී තිබේද? ඒ නිසා ගරු කථානායකතුමනි, මෙවැනි පන්නයේ ආණ්ඩු පෙරළි, දේශපාලන කුමන්ත්‍රණ හරහා ආණ්ඩු පෙරළි, පොදු ජනයාගේ මහා ලේ ගංගාවක් බවට පත්වීම වළක්වන්න බැහැ. දැනටමත් ජීවිත දෙකක් ඝාතනය වී තිබෙනවා. රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙනවා. තවමත් ගරු කථානායකතුමනි, අරාජිකත්වය කෙළවර වෙන්නේ කවර දිශාවෙන්ද කියන එක පිළිබඳව කිසිදු මැන බැලීමකට හැකියාවක් ලැබෙන්නේ නැහැ.


මේ අවස්ථාවේදී මේ රටේ ජනතාවත්, අපිත් මේ දේශපාලන කුමන්ත්‍රණය පිළිගන්නවා නම්,  නැවත මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවීමේ ඉඩකඩ තිබෙනවා, ගරු කථානායකතුමනි. එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් මේ නිශ්චිත මොහොතේදී ලේ ගංගාවක් බවට පත්වුණේ නැත්නම්, ඊළඟ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ලේ ගංගාවක් බවට පත්වෙනවා, ගරු කථානායකතුමනි එම නිසා මේ දේශපාලන කුමන්ත්‍රණය සිදුවූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත්කළ යුතුයි කියන දැඩි ස්ථාවරයක ඉඳගෙන කටයුතු කරමින් සිටියා. මේ දේශපාලන කුමන්ත්‍රණය හරහා ආණ්ඩුව එහෙට මෙහෙට කුමන්ත්‍රණකාරීව අටවා නතර වුණේ නැහැ. එම නිසා ගරු කථානායකතුමනි, බලයෙන් බලය අරගෙන ඒ බලය හරහා තමුන්ගේ බහුතරය නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාවක් නිර්මාණය වුණා. මේ රටේ ජනතාවට, මේ රටේ දේශපාලකයෝ කවුද, මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද, මන්ත්‍රීවරු තෝරා එවද්දී ඒවා තිබෙන මන්ත්‍රීවරු කවුද කියන එක පිළිබඳව ඉතාමත් හොඳ වෙන්දේසි පොළක් ඉදිරිපත් කරනු ලැබුවා. ගරු කථානායකතුමනි, එම නිසා තමන් පාර්ලිමේන්තුවේ කොපමණ කාලයක් හිටියාද, තමන්ට කොපමණ ප්‍රමාණයක් මනාප තිබෙනවාද කියන සංඛ්‍යා දත්ත මත බුරුත කඳන් විකිණෙනවා වාගේ වට අඩි ගණනකට මන්ත්‍රීවරුන්ගේ අළෙවිය තීරණය වන්න පටන්ගත්තා. එම නිසා මන්ත්‍රීවරු වෙන්දේසි පොළට ආවා. මේ රටේ අශිෂ්ටත්වයේ දේශපාලනයේ ඔටුණු පළන් යුගයක් බවට මේ යුගය පත්වෙමින් තිබුණා.


ගරු කථානායකතුමනි, මේ කරුණ මම ඉතාමත් අවධාරණයෙන් කියන්න ඕනෑ. දැන් බොහෝ අය කියනවා එහෙට පනින්න, මෙහෙට පනින්න සල්ලි ගත්තා කියා. ගරු කථානායකතුමනි, මම අවධාරණය කරන්නේ මෙයයි. පනින්න විතරක් නොවෙයි, ඉන්නත් සල්ලි අරගෙන තිබෙනවා. මෙහි තිබෙන්නේ අශිෂ්ට දේශපාලනයක්. එදායින් පස්සේ අපේ රටේ අශිෂ්ට දේශපාලනයක් දියත් වන්න පටන් ගත්තා. අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. මෙවැනි අශිෂ්ටත්වයකට පත්වී තිබෙන දේශපාලන ශිෂ්ටත්වය කරා ගෙන ඒමේ වගකීමක් අපට නැද්ද? වට අඩි ගණනට මන්ත්‍රීවරු තීන්දු වන, ඔවුන්ගේ මිල වෙන්දේසි පොළේ තීරණය වන සංස්කෘතියක් මේ රටේ ගොඩනැගීම මොන තරම් යුක්තිසහගතද? එම නිසා අපේ රටේ මේ අශිෂ්ටත්වයට පත්වී තිබෙන දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා දිගු අරගලයක් තිබෙනවා. ඒ අරගලය සඳහා දිගු කාලීන ලෙස මැදිහත් වන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ය කියන පණිවුඩයත් මේ වෙලාවේ මම දෙනවා.


ගරු කථානායකතුමනි, කුමන්ත්‍රණකාරී වුවමනාවක් වෙනුවෙන්ම තමයි පාර්ලිමේන්තුව කල්දමනු ලැබුවේ. බලහත්කාරයෙන් බලය හදාගෙන ඒ බලය හරහා අමාත්‍ය ධුර ලබාදෙමින්, නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙමින්, රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙමින්, සමහර විට බිය ගැන්වීම් හරහා, නඩු පෙන්වමින්, සෙකැි පෙන්වමින්, මුදල් විසි කරමින් මේ අශුද්ධ ක්‍රියාවලිය දියත් වන්න පටන්ගත්තා. හැබැයි ගරු කථානායකතුමනි, මේ අශුද්ධ ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා ජනාධිපතිවරයා මොකක්ද කළේ? පාර්ලිමේන්තුව කල් තබා, වෙන්දේසිය විවෘත කිරීමේ කාල පරිච්ඡේදය ආරම්භ කළත්, වෙන්දේසිය හරහා තමන්ගේ වුවමනාව ඉටුකරගන්න බැරිවුණා.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

කිරිඇල්ල ජවිපෙ සහය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site