IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අපි නම් ඕනෑම ඡන්දෙකට ලෑස්තියි

දේශපාලනික නිෂ්ක්‍රීයවීම, ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය, 19 ගැන විවාදය, ශ්‍රී.ල.නි.ප පොහොට්ටු සාකච්ඡාව, සුළු ජන ඡන්ද පදනම, පළාත් සභා මැතිවරණය හා රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.

ප්‍රශ්නය:- මහින්ද හිතෛෂියකු මෙන්ම ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයකු හැටියට සැලකෙන ජනක බණ්ඩාර තෙන්නකෝන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් දරලා ඉන් ඉවත් වෙනවා. ඊට පස්සෙ සද්දයක් නෑ. ඔබට මොකද වුණේ? 

පිළිතුර:- මගේ අප්පච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරුවෙක්. ශ්‍රීලනිප කැඳවුම්කරුවන්ගේ දරුවන්ගෙන් දැනට පාර්ලිමේන්තුවේ සිටින්නේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරු හා මම විතරයි. අපි ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයන්ගේ දරුවෝ හැටියට පණටත් වඩා පක්ෂයට ආදරය කළා. මගේ අප්පච්චි කවි කොළ විකුණපු අහිංසක දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සයා තමන්ගේ දේශපාලන ළැදියාව අනුව ශ්‍රීලනිපයේ පංචමහා බලවේගය එක්ක එකතු වෙලා ගමේ දියුණුව උදෙසා කටයුතු කළා. අපි ශ්‍රීලනිපයෙන් කොයි වෙලාවකවත් ගියේ නෑ. මෛත්‍රීපාල සිරිසේනත් පක්ෂයේ සභාපති වුණා. ඒ වෙලාවේ අපි ඔහු එක්ක සිටියා. හැබැයි මැතිවරණය යනකොට ඔහු පක්ෂයට ගහන්න ගත්තාම අපට ඔහු එක්ක අවංකව ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම ප්‍රසිද්ධියේ ඔහුට විරුද්ධව කතා කළා. මැතිවරණ වේදිකාවේ ඔහු පක්ෂයට කරන විනාශය කිව්වා. ඒ අනුව ශ්‍රීලනිපය හා එජාපය එකතු වෙලා ආණ්ඩුව පිහිටුවද්දි අපි ඒකට එකතු වුණේ නෑ. අපි උත්පත්තියෙන්ම එජාපයට විරුද්ධ මත දරපු අය. ඒ වෙලාවේ ඉඳලා මම ටිකක් නිශ්ශබ්ද වෙන්න හේතුව දැන් මේ යන දේශපාලන තත්ත්වය කිසි ලෙසකින් අනුමත නොකිරීමයි. මම අවුරුදු විසිපහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ තරම් ජරාජීර්ණ පාර්ලිමේන්තුවක ඉන්න වේ යැයි මම හිතුවේත් නෑ. ඒ තරම් පිරිසිදු දේශපාලනයක් අපි කළේ. දැන් පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිම දෙයක් මේ යක්කු එක්ක කතා කරන්නේ නෑ යැයි මම තීරණය කළා. කතා කළාට ඇති වැඩකුත් නෑ. මම පාර්ලිමේන්තුවේදිත් කතා නොකර ඉන්නේ ඒකයි. අපේ වචන අපි නිකරුණේ වැය කරන්නේ ඇයි. 

ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ල කරන දේශපාලන ප්‍රහාරවලදිත් ඔබ දකින්නේ නැත්තේ ඇයි?

පිළිතුර:- මගේ හඬ තිබෙන්නේ දඹුල්ලේ. මාතලේ දිස්ත්‍රික්කයේ. මම මාතලේ දිස්ත්‍රික් නායකයා. මම තමයි මුළු දිස්ත්‍රික්කයේම බර කරට අරගෙන කරන එකම මන්ත්‍රීවරයා. ඉදිරි මැතිවරණ ප්‍රතිඵලවලින් දඹුල්ල ආසනය ජයගන්නකොට කොච්චර ක්‍රියාකාරී දේශපාලනයක් කරලා තියෙනවාද කියලා බලන්න. මුළු රටේම නායකයෝ වෙන්න අපිට අවශ්‍ය නෑ. මට බාර දිස්ත්‍රික්කයේ මම වැඩ කරනවා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගත හැකි සියලු පියවර අපි ගෙන තිබෙනවා. ජනතාව අදහස්වලින් සන්නද්ධ කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රතිඵල ලැබේවි. 

ප්‍රශ්නය:- ඔබ තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද? පොදුජන පෙරමුණේද? 

පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාව එළෙව්වනෙ. ශ්‍රී.ල.නි.ප සංවිධායකකමින් ශ්‍රීලනිප කැඳවුම්කරුවාගෙ පුතාව එළවලා පක්ෂයට කිසිම අයිතියක් නැති ජනතා ප්‍රසාදයක් නැති දෙන්නෙක් පත් කළා. තනි මට දෙන්නෙක්ම. මගේ පුතා ප්‍රමිත. එයා දරපු පළාත් සභා ඇමැතිකමින් අස්වුණා. මම නරක වෙලාවෙ නරක තීන්දුවක් ගත්තේ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පස්සෙ කියලා තිබුණා. එතුමාට හුඟක් දේවල් මතක් වෙන්නේ කළාට පස්සේ නිසා. මේකත් එහෙම වෙන්න ඇති. 

ප්‍රශ්නය:- සභාපතිකම අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ජනාධිපතිවරයාත් උත්සාහ කළා. ඔබට අනුව වැරැදුණේ කොතැනද? 

පිළිතුර:- අඩු මන්ත්‍රීවරුන් සහිතව අඩු බලයක් සහිතව හිටපු රනිල් වික්‍රමසිංහව අගමැති කිරීමෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයට මුල්ම පහර එල්ල වුණේ. ඒක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්. ලැජ්ජ නැතිකම ඒකෙන් ඉවර වෙයි කියලා අපි හිතුවට පැරදිච්ච මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දීලා ලැයිස්තුවෙන් ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදයට ආ අනතුර කණකොකා හැඬීමෙනුත් එහාට ගියා. මේ රට විනාශ වෙන්න මූලික අඩිතාලම දැම්මේ එතැනින්. රජය කෙරෙහිත් ජනාධිපති කෙරෙහිත් ජනතා විශ්වාසය නැතිවෙන්න පටන්ගත්තේ එතැනින්. 

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය ආපසු හරවන්නට කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසුවා. ජනාධිපතිවරයාගේ දේශපාලන යෝජනාව පිළිගන්න සූදානම් ද? 

පිළිතුර:- 19 වැනි සංශෝධනය ගෙනෙද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වටේ හත් අට සැරයක් ඇවිද්දා. එක වෙලාවක ලොබියෙදි මගෙත් කරට අත දාගෙන හිටියා. ඇවිල්ලා ඡන්දෙ ගන්න කතා කරද්දි අපිත් ශ්‍රී ලංකානෙ කියලා හිතලා ඡන්දෙ දුන්නා. දැන් ඒ ජනාධිපතිවරයාම ඒක අවලංගු කරන්න ඕන කියනවා. එක්කො ඒක ලියපු භාෂාව තේරුණේ නෑ. නැත්නම් දාපු උප්පරවැට්ටිය තේරුණේ නෑ. දැන් කෙළවිලා තියෙන්නෙ එයාට නෙවෙයිනෙ. රටට. 19 ගේන්න එ.ජා.පය පෙන්නුවේ එකම දෙයයි. මේක කළොත් මහින්ද මහත්තයට ආයේ ඉල්ලන්න බෑ. ඒ නිසා 19 ආපසු හැරවීමෙන් මහින්ද මහත්තයට තැනක් එනවා නම් ඒකට මම කැමැතියි. එහෙම නම් මහින්ද මහත්තයා පරණ අත්දැකීම්වලින් වැරැදි නැති කරගෙන රටට වැඩ කරාවි. රැකියා දස ලක්ෂයක් දෙනවා කියපු තුට්ටු දෙකේ ආණ්ඩුව නිසා අන්තිමට වුණේ යන රැකියාවෙනුත් නිවාඩු දාලා අම්මලා තාත්තලාට ඉස්කෝල මුර කරන්නයි. තනි පිටුවෙ ඇඞ් දාලා ගම් හදනවා. ඒවයෙ නම් කියෙව්වාම මවිල් කෙළින් වෙනවා.  දේශපාලනයම ජෝක් එකක් වෙලා. 

ප්‍රශ්නය:- ඒත් එ.ජා.පය කියන්නේ 19 වැනි සංශෝධනය සම්පූර්ණ වන සේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හැකි නම් මේ දේශපාලන වියවුල අවසන් කියලයි. තමන්ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් බවට එය පත් කරගත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ඒකට සහාය දෙන්න බැරි ඇයි?  

පිළිතුර:- විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියපු කිසි කෙනෙක් ඒක කළේ නෑ. මොකද විධායක ජනාධිපති ක්‍රමයේ රහ ඒගොල්ලො දන්නවා. ඒක අපේ අයටත් පොදුයි. නෑ කියන්නේ නෑ. විධායක ජනාධිපති ක්‍රමය නැතිකරනවා කියලා සියයට සියයක් කියපු වත්මන් ජනාධිපතිවරයා දැන් කියන්නේ මොකද්ද? දැන් විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියන එකම විහිළු කතාවක් වෙලා. අපේක්ෂකයෝ ගැනත් හැම පක්ෂයේම ප්‍රශ්න. ඇත්ත. මේක කළොත් ඇත්තටම ඔය ප්‍රශ්න ඔක්කොම නැති කරගන්න පුළුවන්. 

ප්‍රශ්නය:- ගෝඨාභය කියන නමට කලින් ආකර්ෂණීය නායකයා වුණේ මහින්ද රාජපක්ෂයි. මහින්ද නැතිව බෑ, මහින්ද සුළඟ වගේ දේශපාලන වැකි තමයි ඇහුණේ. දැනුත් අවශ්‍ය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහාය දීලා ඒ මහින්ද රාජපක්ෂම පාර්ලිමේන්තු ආණ්ඩුවක අගමැති කරන්න බැරිද? 

පිළිතුර:- ඇත්තවශයෙන්ම මේ දේශපාලන ලෝකයේ මහින්ද රාජපක්ෂ මහත්තයා තරම් ජනප්‍රිය දේශපාලනඥයෙක් හිටියේ නෑ. එතුමා නොහිතපු දුර්වලකම් කීපයක් වුණා. ඒකෙන් තරුණ පරම්පරාව අපෙන් ඈත් වුණා. නවීන තාක්ෂණික විප්ලවයෙන් එතුමාට ලොකු හානියක් වුණා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියටත් වඩා ජනප්‍රියයි. මොකද මේ යක්කු ඒ තරමටම මිනිස්සුන්ට අප්‍රියයි. ඔබ කිව්වා වගේ මේ වෙලාවෙ ක්ෂණික තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හරි හදාගෙන මේ ක්‍රමය වෙනස් කළොත් රටේ ලොකු වෙනසක් වේවි.  

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධාන හදන්න සාකච්ඡා තියනවා. මාධ්‍ය හමු පවත්වා එකිනෙකා විවේචන කරනවා. මේ නොකෙරෙන වෙදකමක් නෙවෙයිද? 

පිළිතුර:- කාලය ගෙවාගන්න කරපු බොරු විජ්ජාවක් කියලයි මාත් හිතන්නේ. මොකද මේ සාකච්ඡාව පටන්ගන්නකොටත් පළාත් පාලන මැතිවරණයෙන් ජනතා ප්‍රසාදය තියෙන්නේ කොතැනටද කියලා තේරුම් අරන් ඉවරයි. ඇත්තවශයෙන්ම අපි පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ හැටියට පක්ෂෙට කරපු දේ ගැන කඳුළු හලනවා. පක්ෂෙට කරපු වැඬේ මොකද්ද කියලා හිතෙද්දී එන්නෙ ලොකු හිතේ වේදනාවක්. දැන් ශ්‍රීලනිප තනතුරු දරන්නේ යූ.එන්.පී. එකේ ඉඳලා ආපු අය. මේ සාකච්ඡාව ගැන මම හෙව්වෙම නෑ. ඕකට යන අපේ ඩලස් සහෝදරයට කිව්වේ මචං බොරු වැඩ කරන්නෙපා උඹේ කාලය අපරාදෙ කියලයි. 

ප්‍රශ්නය:-ශ්‍රීලනිප මහලේකම්වරයා නම් කියන්නේ අනාගත ආණ්ඩුවක ලොකු ඇමැතිකම් ගැන සිහින දකින ළදරු දේශපාලකයන් නිසා සාකච්ඡා දුර්වල වෙලා කියලයි. ඒ කතාව වැරදිද? 

පිළිතුර:- ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ වයස නෙවෙයි. අත්දැකීම්. වයසට ගිහිල්ලා ඇවිදගන්න බැරිව ඉන්න අය දේශපාලනයෙන් ඉවත්වීම හොඳයි. ඒ වගේම තරුණයෝ කියලා තරුණ මදය ඔළුවට ගහපු පිරිසක් විතරක් ඉඳලා දේශපාලනයෙන් ලෝකය හදන්න බෑ. තරුණ වැඩිහිටි කියලා බලනවට වඩා දක්ෂතාවයයි බලන්න ඕනෑ.  

ප්‍රශ්නය:- ශ්‍රීලනිපය නැතිව ඊළඟ මැතිවරණ දිනන්න පොදුජන පෙරමුණට පුළුවන් ද? 

පිළිතුර:- අනිවාර්යයෙන්ම පුළුවන්. අපි සංවිධානය කරද්දී අපේ ගමේ සංවිධායකයන්ට මම කිව්වේ ශ්‍රී ලංකාකාරයෝ කියන්නේ පිට මිනිස්සු නෙවෙයි කියලයි. ඒ අයට කතා කරන්න. ඒ අය අපේ සහෝදර සහෝදරියෝ. ශ්‍රීලනිපයේ අය දැන් නෑ. ඊළඟ ඡන්දෙ තියලා බලන්න. 

ප්‍රශ්නය:- ඊළඟ මැතිවරණය හැටියට පළාත් සභා මැතිවරණය පෙරට ගැනීමේ සූදානමක් තිබෙනවා. පොදුජන පෙරමුණ පළාත් සභාවලට ලෑස්තිද? 

පිළිතුර:- අපි නම් ඕනෑ ඡන්දෙකට ලෑස්තියි. හැබැයි මම හිතන්නේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියලයි. මොකද මේ ක්‍රමේට මේ ජනාධිපතිවරයයි මේ ආණ්ඩුවයි තිබුණොත් මේ රට ඉවර වෙනවා. 2020 වෙනකොට රටක් ඉතිරිවේද කියලත් සැකයි. 

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයට යෝජනා වන නම් අතර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂගෙයි. ඔබේ තේරීම කවුද? 

පිළිතුර:- දැනට ජනතාව අතරට ගිය නම ගෝඨාභය රාජපක්ෂයි. ඉතින් චමල් රාජපක්ෂත් කියන්නේ ඉතාම හොඳ මනුස්සයෙක්. මට නම් සහෝදරයෙක් වගෙයි. ඒත් ජනතාව අතරට නම ගිහින් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගෙයි. 

ප්‍රශ්නය:- ඒත් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවයෙන් නිදහස් වුණාද යන්න තාම පැහැදිලි නෑ. ගම්මන්පිල මන්ත්‍රීවරයා පමණක් අදාළ ලියකියැවිලි දුටු බව කියනවා? 

පිළිතුර:- නැහැ. දැන් අපි හැමෝම කියනවා. හැබැයි ඉතින් එහෙම හදිස්සියක් වුණොත් හොඳ පුද්ගලයෙක් දානවා. ඒකෙ තර්කයක් නෑ.  

ප්‍රශ්නය:- මෙහෙම යෝජනා කළාට ඔය තීන්දු තීරණ ගන්න වැඩි බලයක් ලැබිලා තියෙන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ හවුල්කාර කුඩා පක්ෂවලට නේද? 

පිළිතුර:- ඇත්තවශයෙන්ම එහෙම එකක් නෑ. ඒ දෙන්නා ක්‍රියාශීලී නිසා එහෙම කැපිලා පේනවා ඇති. හැබැයි එහෙම ඒ දෙන්නාගෙ වුවමනාවට පොදුජන පෙරමුණ දුවනවා කියලා අපි පිළිගන්නෙත් නෑ. එහෙම වෙන්නෙත් නෑ. 

ප්‍රශ්නය:- එ.ජා.පය කියන්නේ රනිල්, කරු, සජිත් ආදී වශයෙන් ඕනෑ තරම් තමන්ට හිඟයක් නැතිව ජනපති අපේක්ෂකයන් ඉන්න බවයි. එ.ජා.පයෙන් අභියෝගයක් නෑ කියලා හිතනවද?

පිළිතුර:- නෑ ඉතින් කවුරු දැම්මත් අභියෝගයක් තියෙනවා. ඡන්දයක් කියන්නේ ඒකනෙ. ඡන්දයක් නිකන් දාපු හැටියෙ ඩෝං ගාලා දිනන්න බෑනෙ. අනිත් එක සිංහල බෞද්ධ ඡන්දවලින් විතරක් දිනන්නත් බෑනෙ. සියලු දෙනා එකතු කරගන්න ඕනෑ. කවුරු දැම්මත් සටන් කරන්න ඕනෑ.

ප්‍රශ්නය:- ඒත් විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය හිටියේ ආණ්ඩුව පැත්තෙයි. පොදුජන පෙරමුණට සුළු ජාතික ඡන්ද පහසුවෙන් දිනාගන්න හැකි වේවිද? 

පිළිතුර:- දෙමළ ජාතික සන්ධානයට ආණ්ඩුවෙන් බොරු පොරොන්දු ටිකක් දීලා තියෙනවා. ඒක නිසා ඒ අය ඒවා ටික ටික ඉෂ්ට කරගන්න බලාගෙන ඉන්නවා. අපි මුස්ලිම් මිනිස්සු තරහ කරගන්න ඕනෑ නෑ. මොකද මුස්ලිම් මිනිස්සු ඔක්කොම වැරැදි නෑනෙ. සිංහල මිනිස්සු කියලා ඔක්කොම හොඳයිද? නෑනෙ. වැරැදි කරන මිනිහට ආගමක් ධර්මයක් නෑ. 

ප්‍රශ්නය:- රටට දැන් අවශ්‍ය සිංහල ආණ්ඩුවක් බව බොදු බල සේනාවේ ලේකම් ඥානසාර හිමි පවසනවා. පොදුජන පෙරමුණට මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන්ද?

පිළිතුර:- මම හිතන්නේ උන්වහන්සේට ජනාධිපති සමාව දුන්නේ ඕවා කියවාගන්න තමයි. ඕවා කියවලා තවත් මේ රටේ අවුල් ඇතිකරන්න තමයි. සමාව දීමේ පරමාර්ථය අවුල් ඇතිකිරීම නම් ඒක උන්වහන්සේ හරියටම කරනවා. ඒක තමයි අපට පේන්නේ. 

ප්‍රශ්නය:- ඒත් මුස්ලිම් ඇමැතිවරුන්ට එරෙහිව අවි අමෝරා ගත් අතුරලියේ රතන හිමි දැන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව දේශපාලනය කරනවා. මහින්ද ගෙදර යවනවාමයි කී රතන හිමි නැවත මහින්ද පාර්ශ්වය සමග එක්වීම ගැන ඔබ හිතන්නේ මොකද්ද? 

පිළිතුර:- රතන හාමුදුරුවෝ 2014 කළ දේ සහ ඒ පිළිගැනීම ඒ විධියටම තියෙනවාද කියලා බලන්න ඕනෑ. ඒ ආමන්ත්‍රණයයි මේ ආමන්ත්‍රණයයි අතරේ වෙනස බලන්න ඕනෑ. ඒ ආමන්ත්‍රණයට සවන් දීපු පිරිසයි මේ සවන් දෙන පිරිසයි අතරේ වෙනස බලන්න ඕනෑ. උන්වහන්සේව මම අවතක්සේරු හෝ අඩුතක්සේරු කරන්නේ නෑ. උන්වහන්සේටත් බලයක් ඇති. හැබැයි උන්වහන්සේ එකම සාධකය වෙන්නේ නෑ. ඔන්න මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක් නම් එකම සාධකය කියලා හිතුවට කමක් නෑ. 

ප්‍රශ්නය:- පොදුජන පෙරමුණ එක්ක කතා කළත් ඒ හැම තැනදිම කතා වෙන්නේ මහින්ද, චමල්, ගෝඨාභය, බැසිල්, නාමල් කියලයි. නව දේශපාලන ව්‍යාපාරයේත් එකම සාධකය රාජපක්ෂ ද? නැවතත් මේ තිබෙන්නේ පවුල් දේශපාලනයම නේද කියන එක සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයිද? 

පිළිතුර:- එහෙම හිතෙනවා නම් එතැන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. නම් කියපු හැටියේ එහෙම හිතෙන්නේ නැත්නම් ඒක වරදක්. හැබැයි මහින්ද මහත්තයත් චමල් මහත්තයත් ජනතා ඡන්දෙන් ආවේ. ඔබතුමා දැන් මේ රඟපාන චරිතය අපේ ආණ්ඩු කාලේ රඟපෑවා නම් තාම තියෙන්නේ අපේ ආණ්ඩුවක් යැයි මම පහුගියදා බැසිල් රාජපක්ෂ මහත්තයට කිව්වා. ඔහු ඒ තරම් දක්ෂයෙක්. දැන් පොදුජන පෙරමුණේ සියලු ක්‍රියාකාරකම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයයි. ඊළඟට ගෝඨාභය මහත්තයා කොළඹ හැදුවා. රටේ මිනිස්සුන්ගෙ පිළිගැනීමක් ආවා. ඉතින් රාජපක්ෂ වීම නිසා ඒ පිළිගැනීම නැති කරන්න බෑනේ. මේ වගේ සහෝදරයෝ ටිකක් එකට බිහිවීමත් අරුමයක්. අපිටත් එහෙම හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

අපි නම් ඕනෑම ඡන්දෙකට ලෑස්තියි

ඔබේ අදහස් එවන්න

කොලම

වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 230 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 277 0

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?
2024 අප්‍රේල් මස 10 172 0

විෂය කටයුතුවලට අදක්ෂ දරුවන් හැඳින්වීම සඳහා පොදුවේ සමාජය තුළ ව්‍යවහාර වන විශේෂණ පදයක් වන්නේ ‘‘මැටි ගුලියක්’’ යන්නය. එහෙත් එය නිවැරැදි නොවේ. දක්ෂ, අදක්


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය
2024 අප්‍රේල් මස 08 359 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ම


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අසරණ කරන්න එපා
2024 අප්‍රේල් මස 08 1022 6

ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය කාටත් නොදන්වා අක්‍රියකර දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අසීරුතාවකට පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site