තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අන්තේවාසිකාවක් වූ ශෂිකලා නටරාජන් සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ ජයලලිතාගේ ඇවෑමෙනි. අවසානයේ ඇය අන්නා ඩී. එම්. කේ. ප්‍රධාන ලේකම් බවට පත් වී තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට සූදානම් වන්නේ මේ අන්තේවාසික කම පමණක් සුදුසුකමක් කර ගනිමිනි. ජයලලිතාට මෙන්ම වසර 21 තිස්සේ හඹා ආ දූෂණ චෝදනා අවසානයේ මහ ඇමති සිහිනය බොඳ කරමින් ඇය සිරගත කිරීමට තරම් ප්‍රබලවිය. මෙය අපේ රටේ පමණක් නොව මුළු තුන්වැනි ලෝකයේ ම සංවර්ධනය වන්නා වූ රටවල දේශපාලනය කරන කාටත් ඉගෙන ගන්නවා නම් හොඳ පාඩමකි. එදා එන්. ඩී. ටී. වී. රූපවාහිනී තිරයේ දිස් වූ ආකාරයට ඇය දූෂණ චෝදනාවලට වැරදිකාරියක් වුවද සිරගෙදරට පියමනින්නේ වීරවරියක් ලෙසිනි.
ඉන්දියාවේ දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ පසුවද දේශපාලනඥයෝ සමහර ජනයාට වීරයෝවෙති. අපේ රටේද දැන් මේ ප්‍රවණතාව දක්නට ලැබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව බව පෙනේ. චෝදනාවකට ලක් වූ පමණින් කෙනෙක් වරද කරුවෙකු වන්නේ නැත. එහෙත් දුමක් නොමැතිව ගින්නක් පැන නඟින්නේද නැත. අපේ රටේ නම් මේ දිනවල සියලුම චෝදනා ලාභීහු රට බේරාගත් වීරයෝ වෙති. දේශ ප්‍රේමය උතුරා ගලායති. සමහරු නූතන කැප්පෙටිපොළලා ලෙසින්ද විරුදාවලි ලබති.


එහෙත් අද බැංගලෝර්හී පරප්පන් අග්රහාර්හී සිරකරු අංක 10711 යටතේ සිරමැදිරියකට වී දිනකට රු. 50/=ක වැටුපකට වැඩ කිරීමට සිදු වී තිබෙන්නේ ඊට ටික දිනකට පෙර මහ ඇමති ලෙසින් බෞතීස්ම ලැබීමට සූදානමින් සිටි තැනැත්තියකි. ඩීල් දේශපාලනයක් රහසින් ක්‍රියාත්මක නොවන්නේ නම් අපේ රටේ සමහර අයට ද මේ ඉරණම පොදුවිය හැකිය. මේ ආණ්ඩුවේ අයත් පරණ වැඬේ කිරීමට සූදානමින් සිටින්නේ නම් හෝ දැනටමත් කරගෙන යන්නේ නම් හොරකම ආයතන ගත වී යමක්කමක් හරි හම්බකර ගෙන සියල්ලන්ටම අවසානයේ සතුටින් විසිර යා හැකිය. ඉදිරියට සිදුවිය හැක්කේ එය දැයි කියන්න දන්නේ නැත. එවන් රටක ජනතාවට දෙවියන්ගේම පිහිටය. 


තමිල්නාඩුවේ තරම් අපේ දේශපාලනය දුප්පත් නැත. එහෙත් මහ ඇමැතිනිය වීමට සිහින මැවූ ශෂිකලාට හදිස්සියේම සිදු වූ මේ අකරතැබ්බ 2020ට ආණ්ඩු ගොඩනැඟීමට දැන් සිටම සූදානම් වෙමින් වත්මන් පාලනය අරාජික කිරීමට සූදානම් වන දේශපාලනඥයන්ට ද හොඳ පාඩමකි. දේශපාලන ලෝකයේ හෙට දවස අවිනිශ්චිතය. කුමකින් කුමක් වේදැයි කියන්න දන්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය වුවද ඔහු එසේ පරාජය වීමට සිටි නායකයකු නොවේ. එදා මැතිවරණ පරාජයක් ගැන කල්පනාවක් තිබුණා නම් අද දිගහැරෙමින් පවතින සමහර කාරණා මේ ආකාරයෙන් සිදුවන්නේ නැත. මේ නිසා 2020 ආණ්ඩු හදන්න දැන් සිටම පැට්රල් පුච්චන අයට ද කීමට තිබෙන්නේ ඒ ටිකය. මේ නිසා අපහසුවට පත්ව සිටින්නේ රටේ ජනතාවයි. ඊට හේතුව මතුවෙමින් පවතින ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රමාදවීමයි. 


ආණ්ඩුවේ සමහර නායකයනට දැන් රට හැදීම අමතක වෙලා වාගේය. එහි අවාසනාව බුක්ති විඳීමට සිදු වී තිබෙන්නේ ද ජනතාවටය. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සෙවීමට ජනාධිපති මෛත්‍රීට සිදු වී තිබේ නම් මෙවන් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ද නැත.


සමහර කාරණාවලදී ආණ්ඩුවක් තිබේද යන්නද ප්‍රශ්නයකි. වසර ගණනාවක් එක් මට්ටමක පැවැති සහල් මිලේ මේ දිනවල වෙනසක් දක්නට ලැබේ. එය රුපියලකින් දෙකකින් හෝ පහකින් නොවේ. ඊට වඩා හතර පස් ගුණයකින්ය. 2015ට සාපේක්‍ෂව ගත්කල මේ රටේ වී නිෂ්පාදනය මෙ. ටො. 4,819,395කි. 2016 - 17 වසරවල එහි යම් අඩුවක් දක්නට ලැබීම පිළිගත හැකිය. එහෙත් 2017 පටන් ගන්නාවිට සහල් මෙ. ටො. ලක්ෂ 16ක් ගබඩාවල ඇතිබව තහවුරු වී තිබේ. එය අසත්‍යයක් නම් ඒ පිළිබඳව විධිමත් විද්්‍යුත් පරීක්‍ෂණයක් මඟින් සත්‍ය තොග තත්ත්වය රටට හෙළි කළ යුතුය. එහෙත් රජයේම ආයතනවල වාර්තා මෙය සනාථ කරයි. මේ රටේ මසක සහල් අවශ්‍යතාව මෙ. ටො. ලක්ෂ 2කි. 2017 මාස් කන්නයේ අස්වැන්නද මේ තොගවලට එකතු වේ. එය මෙ. ටො. ලක්ෂ 16ක් ලෙසින් ගණන් බලා ඇත. නියඟය නිසා අඩුම ගානේ සහල් මෙ. ටො. ලක්ෂ 10ක් වත් නිපදවා ගත හැකි බව ගොවි සංවිධානවලින් පැවසේ.


එසේ නම් පිටරටින් සහල් ගෙන්වීමෙන් තොරව වුවද පවතින තොග ඇසුරින්ම මෙම තත්ත්වය කළමනාකරණය කරගත හැකිය. ඊට අනුබල දීමට රජය සතු සහල් තොගද ඇත. එසේ නම් සහල් හිඟය හා මිල වෙනස්වීම විකෘති තත්ත්වයකි. රුපියලේ අව ප්‍රමාණය යටතේ හෝ සියයට 5 ක බද්දක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළින් සහල්මිලට ගෙන රු. 70ට අලෙවි කළ හැකි බව මේ වන විටත් සනාථ වී තිබේ. දැන් තොග ගණනින් විදේශීය සහල් ද රටට ලැබෙමින් පවතී. එහෙත් සහල් හිඟයේ හා මිලේ වෙනසක් දක්නට නොලැබේ. මෙහි දී බළලා මල්ලෙන් එළියට පැන්නේ මහා පරිමාණයේ වී මෝල් හිමියන්ගේ තර්ජනය හමුවේය. හාල් සඳහා රජයේ සහතික මිලේ වැඩි නොකරන්නේ නම් තමන් සතු වි තොග වෙළෙඳ පොළට නිකුත් නොකරන බවට ඔවුහු තර්ජනය කරති.

ප්‍රශ්නය පැහැදිලිය. එසේ නම මේ තොග වෙළෙඳ පොළට මුදවා නොහැර සිටින්නේ කවුරුන්ද? මේ අතර කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් සඳහන් කරන්නේ ආණ්ඩුවේ මිලට තමන්ට වෙළෙඳ පොළට සහල් සැපයිය හැකි බවය. රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්න කළමනාකරණය කරගැනීමටය. නැතිනම් මේ සහල් මාෆියාවට බැටදී රටේ ආර්ථික අර්බුදයක් පවතින මොහොතේ අඩුම ගානේ සහල් ටිකවත් ජනතාවට පහසු මිලට ලබාගැනීමට පහසුකමක් සැලසීමටය. 2020 ආණ්ඩු හැදීමට පෙර මේවා ගැන කල්පනා කිරිම වැදගත්ය.


ආණ්ඩුව අවුට් නොවී විකට්ටුව බේරාගනිමින් තරගය නිකරුණේ ඇදගෙන යාමේ සටනක නිරත වෙමින් සිටිනවා වාගේය. පණ්ඩිතයන් නොවන සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ එහෙමය. ‘සයිටම්’ ප්‍රශ්නයට විසඳුම උසාවි තීන්දුව පිට දමා ඇඟබේරා ගැනීම ද? නොඑසේනම් ‘සයිටම්’ වසා දැමීම හෝ රජයට පවරා ගැනීමද? ඊට වඩා නිර්මාණශීලී යමක් සිදුවිය යුතුය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සොයා ගැනීම උදෙසා කාගේත් මත විමසුමක නිරතව සිටී. එස්. බී. දිසානායක, fදාස්තර රාජිත සේනාරත්න හා විජේයදාස රාජපක්‍ෂ යන ඇමැතිවරු ප්‍රතිපත්තිමය අරගලයක නිරතව සිටිති. මේ අතර ‘සයිටම්’හී ඉගෙනුම ලබන සමහර දරු දැරියන්ගේ මවුපියෝ අන්තර් විශ්වවිද්‍යාල බලමුළුවේ සිසු නායකයන් ඉදිරියේ දණින් වැටී වාගේ පින්සෙන්ඩුවෙති. 
“අනේ පුතාල අපේ දරුවෝ බේරා දෙන්න...” 


අඳෝනා නඟමින් මවුපියෝ අන්තරයේ නායකයන් ඉදිරියේ පින්සෙන්ඩුවන දර්ශන ජනතාව රූපවාහිනියෙන් රෑට නරඹති. අන්තරය මස් රාත්තලම ඉල්ලා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට සහාය දෙයි. මේවා ඇහෙන නරඹන විට ආණ්ඩුවක් මේ රටේ තිබේ දැයි කෙනකුට සිතේ නම් පුදුම විය යුතු නැත.


අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය මස් රාත්තලම ඉල්ලමින් කියා සිටින්නේ සයිටම් වසා දැමිය යුතුය කියලාය. 


“එතකොට පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන, ඒයත් වහන්න ඕන. එතකොට පෞද්ගලික රෝහල් - ඒවත් වහන්න ඕන. පෞද්ගලික සායන - ඒවත් වහන්න ඕන. ආණ්ඩුව විශ්වවිද්‍යාල සමතුන් සියල්ලටම 1440,00ටම විශ්ව විද්‍යාල පහසුකම් දෙන්න ඕන.” 
මේ අන්තරයේ ඉල්ලීම්ය.


දැනට විශ්වවිද්‍යාලවල පහසුකම් සැපයීමට හැකි වී තිබෙන්නේ උසස් පෙළ සමත් සිසුන් 27000කට පමණක් නොවේ ද? අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ඒවා අපට ප්‍රශ්න නොවේ. මේ සටන අපි සයිටම්වලින් අවසන් කරන්නේ නැහැ. මේ දිනවල අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කථිකයන්ගෙන් ඇසෙන්නේ මෙවන් කතාය. අපේ සමහර මවුපියන් වැඳවැටෙන්නේ කවුරුන් ඉදිරියේ ද? අධ්‍යාපනයේ නිරත නොවී. කාගේ හෝ ආණ්ඩු විරෝධී කොන්ත්‍රාත්තුවක් ඉටුකරනු ලබන අන්තවාදී පොල්පොට්වාදී න්‍යායක් කරපින්නාගත් පිරිසක් ඉදිරියේය. එහෙම නම් ආණ්ඩුවක් කුමටද? ඒකනම් කියන්න දන්නේ නැත.


සයිටම් රාජපක්‍ෂ පාලනයේ දරුවෙකි. එහි වරදක් නොපෙනේ. වරද ඇත්තේ මේ ආයතන නියාමනය කිරීමට බලධාරී ආයතන කටයුතු නොකිරීමය. බලධාරී ආයතන යනු කවරේද ? රජයේ වෛද්‍ය සභාවයි. ‘සයිටම්’ වැනි පෞද්ගලික උපාධි ආයතනයක් පවත්වාගෙන යෑමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය කවරේ දැයි පැවසීමට හැකියාවක් රජයේ වෛද්‍ය සභාවට තවමත් නැත. රජයේ වෛද්‍ය සභාව එවන් ක්‍රමවේදයක් තවමත් සකසා තිබේද ? පිළිතුර නැත යන්නය. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ රැස්වීම් භාෂාවෙන් ම පිළිතුරු දෙන්නේ නම් එවන් ක්‍රමවේදයක් සකස් කිරීමෙන් තොරව මෙතෙක් කලක් වෛද්‍ය සභාව “බම්බු ගැහුවාදැයි” ඇසීමට අපට සිදුවේ. ක්‍රමවේදයක් අනුන්ට නිකුත් කිරීමට නොහැකි ආයතනයකින් අනුනට ප්‍රමිතියක් නියම කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේ දැයි වෛද්‍ය සභාවෙන් ඇසිය යුතුව ඇත. 2010දී ‘සයිටම්’ ආයතනය රජයේ වෛද්‍ය සභාවෙන් නියාමනයන් ඉල්ලා ඇත. ඔවුන්ට එවැන්නක් නැතැයි ලිඛිතවම දන්වා ඇතැයි දැනගන්නට තිබේ. එසේ නම් තමන්ගේ කාර්ය ඉටුකිරීමෙන් තොරව අදාළ විෂය සම්බන්ධයෙන් අනිත් මිනිසාගේ ප්‍රමිතිය පමණක් සලකා බලන ජාතියේ අවරගණයේ වෛද්‍ය සභාවක් අපට තිබීම ගැන රටක් වශයෙන් කනගාටු විය යුතුය. දැන්වත් මේවා ගැන සොයාබලා මේ වනවිට ලොවේ යථාර්ථයක් බවට පත්ව ඇති පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සැකසීමට කඩිනමින් ක්‍රියාකිරීම රජයේ වගකීමකි.


මේ අතර යහපාලනය ඉදිරියට දමා කල දුටුකල වළ ඉහගන්නා ජාතියේ පිරිසක් මහමඟ හරස් කරමින් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. එම ඉල්ලීම් සියල්ලම වාගේ ජයග්‍රහණයෙන් කෙළවර වන බවක් පෙනේ. සමහර ඒවායේ බැලූබැල්මට වුවද සාධාරණයක් නොමැත. එහෙත් රණවිරු ලේබලය යටතේ ඔවුහු සටන් වදිති. හමුදා නීති රීති පසෙක දමා අඩු සේවා කාලයක් සම්පූර්ණ කරමින් සිය කැමැත්තෙන් ඉවත් වූ පිරිස් පවා අද විශ්‍රාම වැටුප්, ඒවායේ හිඟ දීමනා හිඟ වැටුප් ඉල්ලා සටන් වදිති. මින් සමහරු දැනටමත් රු. 60,000/= සහ 70,000/= ලබමින් සිටින අය බව හමුදා ආරංචි මාර්ගවලින් සනාථ වේ. මේ නිසා සමහර අණපනත් පවා වෙනස් කිරීමට රජයට සිදු වී තිබේ.


එහෙත් මේ සියල්ලටම වැය වන්නේ පොදු ජනතාව බදු ලෙසින් ගෙවන මහා භාණ්ඩාගාරයේ ජනතාව සතු මුදල්ය. දැනටමත් මේ රජයේ වැටුප් බිල රජයේ ආදායමින් සියයට 43 කි. විශ්‍රාම වැටුපක් සමඟ ගත්විට එය තවත් ඉහළ යනු ඇත. මේ සියල්ල සමඟින් සුබසාධන රාජ්‍යයක්ව පවතින ශ්‍රී ලංකාව වසරකට සමෘද්ධිය ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. ද.ල. 250,000ක් පමණ වැයකරයි. මේ සියලු දෑ සිදුවන්නේ රු. 100/= උපයන විට රු. 200/=ක් වැයකරන රටකය. මේ නිසා රටේ ණය බරේ අඩුවීමක්ද රුපියල අවප්‍රමාණය වීමේ අඩුවක් ද දක්නට නොලැබේ. පවුලක් වුවද මෙවන් පසුබිමකදී හිඟමනට හෝ පාරට වැටීම අනිවාර්ය නියමයකි.


මේවා සම්බන්ධයෙන් නිවැරැදි අවබෝධයක් ඇති සටකපට දේශපාලනඥයෝ 2020 අවසානයේ යමක් කමක් උපයාගෙන විපක්ෂයට හෝ ගෙදර යෑමට හිතහදාගෙන සිටිනවාදැයි කියන්න දන්නේ නැත. සාමාන්‍යයෙන් මසක් ඇතුළත විරෝධතා 66ක් පවත්වනු ලබන රටක් මේ පෘථිවියේ තවත් ඇද්දැයි සැකසහිතය.


අද ලොතරැයියක මිල ප්‍රශ්නයේ සිට සහල් හා සයිටම් දක්වා සියල්ල විසඳුම් සෙවීමට සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයාටය. නැතිනම් ඔහු ළඟට පැමිණිලාය. මේ ආණ්ඩුවේ සාමුහිකත්වය ඇත්තේ කොතැන දැයි ඇසීමට සිදු වී තිබේ. මෙවන් පසුබිමක දැඩි තීරණවලට යෑමට හෝ දෙකින් එකක් බේරා ගැනීමට රටේ නායකයා ලෙසින් ජනාධිපතිවරයාට ඉදිරියේදී සිදුවන්නේ නම් පුදුම විය යුතු නැත. එය කිසියම් කණ්ඩායමක් සමඟ තිබෙන අමනාප කමක් හෝ නොසැලකීම පිළිබඳ ප්‍රහ්නයක් නොවේ. මේ විධියට ඉදිරියට යන්නේ කෙසේද ? යන ප්‍රශ්නය සැලකිල්ලට ගෙන ගනු ලබන තීරණයක් විය හැකිය. එසේ නොවන්නේ නම් “මෛත්‍රී පාලනයක්” උදෙසා ලබාගත් ජනවරමින් පිහිටුවාගත් වත්මන් පාලනයට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිය.

වසන්තප්‍රිය රාමනායක