ඒ 1959 වසරේ අග වැසිබර මැදියම් රැයකි. මිල්ලවිටිය රටේ මහත්මයාගේ වලව්වේ ගේට්ටුව ළඟ ළතැවෙමින් සිටි තරුණයෙකි. මහවැස්සේ තෙමෙමින් අකුණුසර හා සිතල නොතකා ඔහු බලා සිටියේ පුංචි බණ්ඩාර හාමුදුරුවන්ගේ රිය එනතුරුය.


ගේට්ටුව දෙසට ආලෝකයක් වැටිණ. රිය හඳුනාගත් තරුණයා වහා දිව ආවේය.


සරත් වාහනය එහෙන්මම නවතා මහවැස්සේම රියෙන් බැස්සේය.


‘තමුන් කවුද මොකද මෙතන?’


‘අනේ අප්පො මං අලුතයි ආවෙ. ලොකු අප්පො කිව්වා කීය හරි වෙනකල් ඉඳලා ගේට්ටුව අරින්න කියලා’
සරත්ට කරුණු වැටහිණ


‘මේ මොන විකාරයක් ද? මේ මහ රෑ වැස්සෙ තෙමි තෙමී ගේට්ටු අරින්නේ මොන එකකටද? ඇරත් අපිට මොකටද ගේට්ටු. ඒව තියෙන්නේ ධනපති ගෙවල්වල තමුසෙ ගිහින් නිදා ගන්නවා. ආයෙත් රෑ ගේට්ටුව අරින්න එපා’
තරුණයාට අවවාද කළ සරත් යළි රථය පණගන්වා වසා තිබූ ගේට්ටුව කඩාගෙන වත්තට රිය ඇතුළු කළේය.
සිද්ධිය ඇසු රටේ මහත්තයා මවිත විය.


‘එහෙනම් පුතාට ඕන විදිහක් කරන්න දීපල්ලා. කැඩුණු ගේට්ටුව හදන්න එපා’ මිල්ලවිටිය වලව්වේ ගේට්ටුව ජනතාවටම විවර වුණේ එලෙසිනි.


සරත් අප්පොගේ විවේකය ගතවූයේ ගැමියන් සමග කතා බහටය. නැත්නම් රුක් සෙවණට වී පොත් පත් බැලීමටය. හොඳ සිංහල චිත්‍රපටයක් හෝ නාට්‍ය්‍යක් නැරඹීමටය. පොදු ජනතාව වෙනුවෙන් ගැයෙන ගීයක් ඇසීමටය. පුවත්පත් කලාවට ඔහු පෙම් කළේය.


පාසල් සමයේ ලේක්හවුස් හි ඉංග්‍රීසි පත්‍රයකට ලිව්වේය. කොමියුනිස්ට් පක්ෂයේ රුවන්තරුව සඟරාවේ කතුවරයා වූයේ ඔහුය. මිණිපුර පහන මැතිවරණ පුවත්පතේ ඔහු අලුත් කලාවක් හඳුන්වා දුන්නේය.


කොමියුනිස්ට් නිල පුවත්පත් වූ මවුබිම හා ෆෝවර්ඞ් පුවත්පත් ගෙන්වාගත් නමුත් රටේ මහත්මයාට බියෙන් වලව්වත්තට ගෙන ඒමට මිතුරෝ බිය වුහ. සරත් ඊට විකල්පයක් පැවසීය.


‘නාන ළිඳ ළඟ කුඹුක්ගහ යට පඳුරු අස්සේ පත්තර දෙක හංගපල්ලා මං පස්සෙ ඇවිත් ගන්නම්’


පුස්සැල්ල ගම්සභා කොට්ඨාසයේ මන්ත්‍රී ලෙස කටයුතු කළ සරත්ට රත්නපුර පළාත් ආණ්ඩු සභාවේ පුළුගුපිටිය අසුනේ අතුරු මැතිවරණයෙන් ජය ගැනීමට වාසනාව ලැබිණ. එය එසේ මෙසේ ජයග්‍රහණයක් නොවේ. සම සමාජ බළකොටුවක් කොමියුනිස්ට් පක්ෂයට අයත් වීමකි.


‘දැන් ඉතින් මිනිසුන්ට හොඳට සේවය කරන්න පුළුවන් වේවි’ ධෛර්යමත් වු සරත් පළාත් ආණ්ඩු සභාවට යෝජනා තුනක් ගෙනාවේය.


‘සිංහල භාෂාවෙන් පාලන කටයුතු කළ යුතුයි. මස් කඩ ටෙන්ඩර් බදු දිය යුතුයි. දිළිඳු සිසුන්ට පොත් ප්‍රදානය කළ යුතුයි. සද්භාවයෙන් කළත් මෙම යෝජනා සියල්ල ප්‍රතිගාමීහු පරාජය කළහ. පාලනයට එරෙහිව සරත් වාග් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ 1959 මාර්තු 30 වැනිදාය.


එකල පළාත් ආණ්ඩු සභාවේ සභාපති වූයේ නීතිඥ වී.එච්. අබේරත්න මහතාය.


මුලසුනේ අණ නොතකා සරත් දිගින් දිගටම අදහස් දැක්වීය. අවසානයේදී සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රීවරයාගේ සහභාගිත්වය තහනම් කළ යුතු යැයි සභාපති යෝජනා කළේය. එම යෝජනාව වැඩි ඡන්ද 03 කින් සම්මත විය.
සරත් රත්නපුරේ දිළිඳු ළමුන්ට නොමිලයේ පොත් දිය යුතු යැයි ගෙනා යෝජනාව 1959 සිට 1962 දක්වා නොකඩවා සභාවට ගෙන ආවේය.


මෙම කාලය තුළ තම පෞද්ගලික ධනයෙන් තම කොට්ඨාසයේ දිළිඳු දරුවන්ට වාර්ෂිකව පාසල් පොත් ප්‍රදානය කිරීමට සරත් අප්පෝ නිර්ලෝභී විය. ජනතා ඕනෑ එපාකම් තේරුම් නොගත් පළාත් ආණ්ඩු සභා පාලනය ද වැඩිකල් නොගොස් බිඳ වැටුණි. අනතුරුව පත්වූ බලධාරීහු සරත්ට සහය දුන්හ.


1956 දී බණ්ඩාරනායක මහතාගේ ජනතාවාදී ආණ්ඩුව ලැබු ජයග්‍රහණයෙන් එතෙක් ධනවාදීන්ට අතදුන් එක්සත් ජාතික පක්ෂයේ බල බිඳිණ.


ශ්‍රී ලනිප විප්ලවකාරී සම සමාජය සිංහල භාෂා පෙරමුණ එක්වී තැනු මහජන එක්සත් පෙරමුණ සම සමාජය හා කොමියුනිස්ට් පක්ෂය සමග ඇතිකරගත් තරග වැළැක්වීමේ අවබෝධය නිසා එම ජයග්‍රහණය තිව්‍ර විය. චීනය සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල් සමග මිත්‍රත්වය වර්ධනය වීමෙන් රටේ දියුණුව උදාවිය. ජනසතු ව්‍යාපාර ඇරඹිණ.


කුඹුරු පනත බැංකු පනත කටුනායක හා ත්‍රිකුණාමලය බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස් කර ගැනීම 18 තරුණ තරුණියන්ට ඡන්ද බලය ලැබීම වැනි ප්‍රගතිශීලී පියවර මෙම එකමුතුවේ ප්‍රතිඵල වෙති.


බලය ගිලිහීමෙන් වියරු වැටුණු ප්‍රතිගාමී කුමන්ත්‍රණයෙන් අගමැති බණ්ඩාරනායකගේ ජීවිතය අහිමිවූ අතර ආණ්ඩුවේ සිටි සමාජවාදී ඇමැතිවරුන්ට කළ කෙනෙහිලි කම් නිසා ඔවුන් විපක්ෂයට එක් වීමත් සමගම ප්‍රගතිශීලී බල කඳවුර විනාශයට පත්විය.


1960 මාර්තු මහ මැතිවරණයට යළි වාමාංශික සමගියක් ගොඩනැගීමට සරත් ඇතුළු කොමියුනිස්ට් පක්ෂය ගත් උත්සාහය ව්‍යර්ථ විය. එනිසාම වෙන්ව තරග කළ අතර කොමියුනිස්ට් පක්ෂය විසින් සරත් රත්නපුර අසුනට නම් කෙරිණි. ඔහුට තිබුණේ ආත්ම ශක්තිය පමණි. යළි ධනවාදීන්ගේ මැරබලය ජය ගත්තේය.


පරාජිත සමයේ සරත් ජන සටනට පක්ෂයේ පන්නරය විය. ඔහු ලංකා මෝටර් රථ සේවක සමිතිය ලංකා වතු කම්කරු සේවා සමිතිය සහ ලංකා කම්කරු සමිති සම්මේලනයේ රත්නපුරේ නියමුවා ලෙස වෘත්තීයමය ගැටලුවල දී නොමිලයේ එකී උපදෙස් ලබා දුන්නේය.


යුඇන්පී ආණ්ඩුව දිනවන වාමාංශික කම්කරුවන්ගෙන් පළිගනිද්දී සරත් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් තනිව සටන් කරමින් සැබෑ සමාජවාදීයකුගේ යුතුකම් ඉටු කළේය.


1960 මාර්තුවේදී සුළුතර පක්ෂ සමග යූ.ඇන්පිය අටවාගත් දින 33 ආණ්ඩුව බිඳ වැටුණේය. 1960 ජුලි 20 දින යළි මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කෙරිණි.


යූඇන්පී විරෝධීන්ගේ අගය තේරුම්ගත් ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සම සමාජයට හා කොමියුනිස්ට් පක්ෂයට මිත්‍රත්වයේ අත දිගු කළාය. එම සමගිය නිසා බහුතර ඡන්දයෙන් නව ආණ්ඩුවක් බිහිවිය.
රත්නපුර ආසනයට පොදු ලකුණු වූ අත යටතේ තරග කිරීමට සරත් මුත්තෙට්ටුවේගමගේ නම යෝජනා වූ නමුත් රත්නපුරය ශ්‍රී ලනිපයට දී කෝට්ටේ ආසනය කොමියුනිස්ට් පක්ෂයට පිරිනැමුණු නිසා සරත්ට එම අවස්ථාව නොලැබිණ.


එබැවින් රත්නපුර නව මන්ත්‍රී ධනපාල වීරසේකරයන්ගේ ජයග්‍රහණයෙන් සෑහීමකට පත් වීමට ඔහුට සිදුවිය. මේ වන විට රත්නපුරේ කොමියුනිස්ට් තරුණ සමිතියේ ක්‍රියාකාරීත්වයේ හා කථිකත්වයෙන් හිණිපෙත්තේ සිටියේ සරත් සහ රාමචන්ද්‍ර යන දෙදෙනාය. මෙම දක්ෂකම් නිසා රත්නපුර දිසා සම්මේලනයේ අනුශාසක ධුරයෙන් සරත් පිදුම් ලැබීය.
මැතිනිය පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ පනත ගෙන ආවාය. අන්‍යාගමික ආක්‍රමණිකයෝ ඊට එරෙහිව රැස්වී පාසල් බලයෙන් අල්ලා ගත්හ. රජයේ තීරණයට එරෙහිව පවුල් පිටින් රොද බැඳ ගත් අන්‍යාගමික බලවේගවලට පහර දී පලවාහැර සමගි පෙරමුණ රජයේ අණසක පැතිර වූ සෙන්පතියා සරත් මුත්තෙට්ටුවේගම නමැති රැඩිකල් තරුණයාය.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි