සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම යනු නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සැබෑ සටන එම අරගලයේ සියලු පාර්ශවයන්ගේ පොදු අරමුණ බවට පත්විය. සියලු වෛද්‍ය පීඨ තුළට ශිෂ්‍ය අරගලය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර රට පුරා සෑම වෛද්‍ය පීඨයන්හිම සිසුහු පන්ති වර්ජනයට එක්වූහ.


අ.වි.ශි.බ.ම.ය සිය ශිෂ්‍ය අරගල ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම පත්කර ගන්නා ලදී.


 වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ප්‍රකාශනය ඉතා නිර්මාණශීලි අංකුර පුවත්පත් කලාවේදීන් වන අතුල සේනාරත්න, සිසිර කීර්ති ජයවර්ධන ඇතුළු  සිසුන් කණ්ඩායම වෙත බාරවිය.


 නව වෙද සිසු  හඬ අලුත් මුහුණවරකින් නව දැක්මක් සහිතව මුද්‍රණය වූ අතර එක් කලාපයකින් පිටපත් ලක්‍ෂයකට වඩා මුද්‍රණය කර බෙදාහැරීමට හැකිවිය.

 


 

වසාදමා තිබුණු කොළඹ වෛද්‍ය පීඨය සියලු සිසුන්ගේ මූල කඳවුර බවට පත්විය. අධ්‍යාපන කටයුතු සිදු නොවූවද වෛද්‍ය පීඨයේ බහුතරයක් සිසුහු වෛද්‍ය පීඨය තුළ පදිංචි වූහ. දිවා - රෑ උද්ඝෝෂණ කටයුතු හා සංවිධානය කටයුතු සිදුකරන ලදී. වෙනුර, කොල්ලුරේ ඇතුළු රැඩිකල් නායකයින් ලාංකීය විශ්විද්‍යාල ශිෂ්‍ය අරගල ඉතිහාසයට අලුත් අත්දැකීම් එකතු කරමින් වෛද්‍ය පීඨ තුළ මූල කඳවුරක් පවත්වා ගනිමින් දීර්ඝ කාලින අරගලයක් සංවිධානය කළේය.

 සංවිධාන කටයුතු ඉතා ක්‍රමවත් විය. සියලු අරගල විධින් හඳුනාගෙන ඒ සඳහා ශිෂ්‍ය කමිටු පත් කරන ලදී.


 ආධාර එකතු කිරීම, ආහාර එකතු කිරීම, පෝස්ටර්ඇඳීම, ඇලවීම, ප්‍රකාශන නිර්මාණය, මුද්‍රණය, බෙදා හැරීම, පිකට් කිරීම වැනි බාහිර උද්ඝෝෂණ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කලාකරුවන් සම්බන්ධීකරණය ලෙස විවිධ කමිටු පිහිටුවා දෛනිකව එම කටයුතු අධීක්‍ෂණය කරන ලදී.


 පෝස්ටර් ඇඳීමේ කණ්ඩායමක් වෛද්‍ය පිඨය තුළ දිනපතා පොස්ටර් ඇඳීමේ නියැළුණු අතර රාත්‍රි කාලයේ ඒවා ඇලවීමට කටයුතු  කරන ලදි. එසේම මෙම පෝස්ටර් පාඨ අනෙකුත් වෛද්‍ය පිඨවලටද ලබාදී රටපුරා ඇලවීමට කටයුතු කළේය.


 ආධාර එකතු කිරීමේ කණ්ඩායම්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැට, වෙද සිසු හඬ පුවත්පත් හා ප්‍රචාරක පත්‍රිකා රැගෙන දිනපතා පිටකොටුව, බොරැල්ල, නුගේගොඩ වැනි ප්‍රධාන බස් නැවතුම්පොළවලට ගොස් සෑම බස්රථයකටම නැගී බස්රථයේ මගීන් දැනුවත් කර ආධාර එකතු කළ අතර එමගින් විශාල ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට මෙන්ම ප්‍රබල ජනමතයක් ඇතිකිරීමටද හැකියාවක් ලැබුණි. 


වෛද්‍ය පීඨය තුළ පදිංචිවී සිටි සිය ගණන් වෛද්‍ය සිසුන් හට ආහාර සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබිණි. වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පන්සල්, පල්ලි වැනි ආගමික ස්ථානයන්හි පූජ්‍ය පක්‍ෂයද එළවළු, මාළු වෙළෙඳසැල්. හාල් වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන්ද හමුවී එකතු කරන ලද ආහාර වෛද්‍ය ශිෂ්‍යාවන් විසින් උයා දිනපතා ලබාදෙන ලදී. එක්වරක් වජිරාරාමාධිපති ශිමියන් විසින් සහල්, පොල් ඇතුළු විශාල වියළි ආහාර ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබීය.


 තවත් සිසුන් කණ්ඩායමක් සමාජ මතවාදය කෙරේ බලපෑම් කළ හැකි පිළිගත් කලාවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් හමුවී තම මතවාදය වෙත ඔවුන් රැගෙන ඒමටත් එම මතවාදය සමාජගත කිරීමට ඔවුන්ගේ සහාය ලබාගැනීමටත් ක්‍රියාකරන ලදී. මේ අනුව කේමදාස ශූරීන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී, සුනිල් ආරියරත්න, දයාසේන ගුණසිංහ, සුගතපාල ද සිල්වා වැනි ප්‍රබල සමාජ චරිත මෙම අරගලය සමඟ අනුගත  කිරීමට කටයුතු කරන ලදී.


 ආධාර ලබාගැනීමට මෙන්ම සමාජය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරලීමේ මතවාදය ප්‍රචාරණය කිරීම සඳහා නාට්‍ය  මාලාවක් ප්‍රදර්ශනය කරන ලදී. ඒකාධිපති, මරාසාද් වැනි පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න  කරන නාට්‍යයන් මෙන්ම එකල ජනප්‍රියව පැවැති පවන සංගීත ප්‍රසංගයද වෛද්‍ය සිසු අරගලයට ආධාර පිණිස ප්‍රදර්ශනය කරන ලදී. මෙමගින් ශිෂ්‍ය අරගලය ජනතාවට සමීප කරලීමේ හොඳ අවස්ථාවක් ලැබුණු අතරම සිසුන් තුළ සමාජ ආර්ථික ක්‍රමය පිළිබඳ අවබෝධයක් ගොඩනැංවීමටද හැකියාව ලැබුණි. 


රටපුරා පැතිරුණු මෙම පුළුල් ශිෂ්‍ය අරගලය මර්දනය කිරිමේ හැකියාවක් ජයවර්ධන ආණ්ඩුව සතු නොවූවද අරගලය නොවිසඳා නොසලකා හැරීම මඟින් සිසුන් වෙහෙසට පත්වන තුරු රජය බලා සිටියේය.


 මේ වනවිට දෙවන ජයවර්ධන යුගයේ පිරිහීම ආරම්භ වී තිබුණු අතර මෙතෙක් රාජ්‍ය මර්දනය ඉදිරියේ නිහඬව සිටි ජනතාව ශිෂ්‍ය අරගලවලට ආශිර්වාද කිරීමටත් එම අරගල සමඟ සමගාමීවීමටත් සුදානම් විය.


 රටපුරා විශ්වවිද්‍යාලවල සිසුන් අත්අඩංගුවට ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව රජයේ මර්දන අඛණ්ඩව ගෙන යන ලදි. මර්දනය හමුවේ සිසුහු විවිධ උපක්‍රම භාවිතා කරමින් අරගල කළහ.


 වෛද්‍ය සිසුන් කොළඹ අවට මෙන්ම රටේ ප්‍රධාන නගරවල පෞද්ගලික උපකාරක පන්තිවලට ගොස් උසස් පෙළ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. මෙහිදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් වෛද්‍ය සිසුන්හට උපරිම සහාය ලබාදෙමින් තම දේශන නවතා සිසුන් ඇමතීමට අවස්ථාව ලබාදුන්හ.


එවකට රජයේ ප්‍රකට  විවේචකයෙකු ලෙස පෙනී සිටි ආර්ථික විද්‍යා ගුරුවරයෙකු පමණක් එම අවස්ථාව ලබා නොදෙන ලදී.  වෙනත් විශ්වවිද්‍යාල සිසුන් හට එල්ල වී ඇති අත්අඩංගුවට ගැනිමේ තර්ජනය වෛද්‍ය සිසුන් හට එල්ල වී ඇති අත්අඩංගුවට ගැනීමේ තර්ජන වෛද්‍ය සිසුන් හටද එල්ල වන්නට  විය. එක් දිනක රාත්‍රී සියලු වෛද්‍ය ශිෂ්‍ය කමිටු නායකයින්ගේ නිවෙස් පොලීසියෙන් වට කරන ලද්දේ ශිෂ්‍ය නායකයින් සියලු  දෙනා එක විටම අත්අඩංගුවට ගැනීමටය. එහෙත් එම අවස්ථාවේ කිසිදු ශිෂ්‍යයෙකු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් අත්අඩංගුවට පත් නොවුණි. එක් වරෙක වෙනුර එදිරිසිංහ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට පත් වුවද බන්ධනාගාර ගත කිරීමට තරම් චෝදනා නොවුණු බැවින් නිදහස් විය. තවත් වරෙක වෙනුර ඇතුළු සිසුන් කණ්ඩායමක් රාගම පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තාප්පයේ විරෝධතා පාඨ ඇඳීමට ගොස් සිටියදි පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවේ සිටියදීම උපවාසයක් ආරම්භ කර මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් සිදුකරන ලද බැවින් හා වෛද්‍යවරුන් රැසක් ඉදිරිපත්වී කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් එක් දිනක් තුළ නිදහස් කරන ලදී.


 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බහුජන අරගලයක් ලෙස රටපුරා ව්‍යාප්ත කිරීමට රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරන ලදී. ගම්පහ,කළුතර,බදුල්ල,රත්නපුර ආදි නගර රැසක මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු කරන ලදි. 


මතු සම්බන්ධයි

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්