පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්

මේ දිනවල ඇහෙන එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමති මණ්ඩලයේ සංශෝධනයක් නුදුරේම සිදුවන බවය. මේ සඳහා එකඟතාවක් ජනපති සහ අගමැති අතර ඇතැයි ඇතැම්හු පවසති. මේ අතර තවත් අය මේ ගැන ඒ දෙදෙනා අතර කිසිම එකඟතාවක් නැතැයි පවසති. අනෙක් හැම ප‍්‍රශ්නයකදීම මෙන්ම මෙතැනදීත් එවැනි දෙපැත්තට ඇදීමක් තිබිය හැකි වුවත් රටට මෙහිදී වැදගත් වන්නේ ඒ දෙදෙනාගේ අදහස් එකිනෙකට නොගැළපෙන්නේ ඇයිදැයි විමසීම පමණක් නොවේ.

මේ කියන ආකාරයේ ඇමැති මාරුවක් මගින් මේ මොහොතේ විසඳන්නට බලාපොරොත්තු වන්නේ කුමන ගැටලූවදැයි දැනගැනීමත් රට පැත්තෙන් වැදගත්ය. කැබිනට් මණ්ඩලය යළි ‘අනන්නේ’  (Reshuffle)  කුමකටදැයි හරියටම දන්නේ ජනපති-අගමැති දෙදෙනා පමණක් වන වාතාවරණයක් මත ජනතාවට සිදුවන්නේ එයට හේතුව සිතා ගන්නටය. සාමාන්‍යයෙන් තේරුම් යන කාරණය වන්නේ මේ මොහොතේ ඇමති මාරුවක් කරන්නට උත්සාහ ගන්නේ රටේ විවිධ ක්ෂේත‍්‍ර තුළ ගොඩනැගෙමින් තිබෙන ප‍්‍රශ්න ගණනාවකටම ලබා දෙන පිළිතුරක් ලෙසින් විය හැකි බවය. ඒත් ‘හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීම’ පිළියමක් නොවන්නා සේම පදනමක් නොමැතිව සිදුකරන ඇමති මාරුවකින් ජනතාවට හොඳක් සිදුවන්නේ යැයි ද සිතීමටද නොහැකිය.

මා සිතන ආකාරයට මේ මතුවෙමින් තිබෙන ගැටලූකාරීත්වය හුදු ඇමැති මාරුවකින් සමහන් කළ හැක්කක්ද නොවන්නේ ඒ බොහෝ ප‍්‍රශ්නවලට පදනම්වූ දේශපාලන න්‍යායන් සමඟ ගැට ගැසී ඇති නිසාය. තවත් පැහැදිලිව කිවහොත් මේ මොහොතේ ඇතිවී තිබෙන බොහෝ ගැටලූවලට ප‍්‍රධානතම හේතුවක් ලෙසින් පෙනීයන්නේ එකිනෙකට නොගැළපෙන දේශපාලන පදනම් දෙකක් එකට එක් වී ආණ්ඩු කරන්නට යාමේ ප‍්‍රතිඵලයක් බවයි. මේ බොහෝ ප‍්‍රශ්නවල මූලය වන්නේ ම එජාපයේ සහ ශ‍්‍රීලනීපයේ ඒකමුතුවෙන් හැදී ඇති මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදනයේත් ඒවා ක‍්‍රියාත්මක කිරීමේදීත් එහි ඇති එකිනෙකට නොගැළපෙන දේශපාලනය හැමවිටම ඉදිරියට ඒමය. ආර්ථිකය පැත්තෙන් ගත්තත්, නිදහස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත්,  ව්‍යවස්ථාව හැදීම පැත්තෙන් ගත්තත් මේ තත්ත්වය එක වගේමය. එජාපය වැඩ කරන්නේ සියල්ල වෙළඳපොළට භාරදී ආණ්ඩුව ‘පැත්තකට’ වීමේ පදනමින් ය. ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිපය සිටින්නේ එවැනි උග‍්‍ර වෙළඳපොළවාදී පදනමක් සහිත එජාපයේ මතවාදී ආධිපත්‍යයට එකඟවෙන්නට වෙන්නත් බැරි, එයට එරෙහි වී එළියට එන්නත් බැරි තැනකය.  අනෙක් අතට ගමේ ශ‍්‍රීලනිප පාක්ෂිකයාගේ දේශපාලනයේ පදනම වන්නේ ම  එජාපයට විරුද්ධ වීම බව දන්නා ආණ්ඩුවේ සිටින සන්ධානයේ මැති ඇමැතිවරුන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ එජාපයට විරුද්ධව ‘අභ්‍යන්තරිකව හැප්පෙන්නේ’ ඒ කාරණයත් මුල් කරගෙනය.

දැන් ආණ්ඩුවේ අය කැබිනට් සංශෝධනයක් මගින් උත්සාහ ගන්නේ මේ නොගැළපීම සමහන් කර ගනිමින් වඩාත් ශක්තිමත් ‘හයිබි‍්‍රඞ් ආණ්ඩුවක්’ හැදීමට විය යුතුය. එහෙත් එවැනි උත්සාහයක් මගින් ගොඩනැගිය හැක්කේ මේ පවතින අපැහැදිලි තත්ත්වයේම තවත් දිගුවක් මිස අලූත් දෙයක් යැයි සිතිය නොහැකිය. මූලික වශයෙන්ම ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිපය තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ මොහොතේ පෙන්නුම් කරන එජාපයේ වෙළඳපොළවාදී දේශපාලන ස්ථාවරය රටට අහිතකර වුවත් ඒ අය එය මතු කරන්නේ අන් කවරදාටත් වඩා ‘නිශ්චිත බවකින්’ සහ ‘විශ්වාසයකින්’ බවයි. එය මතුවන්නේ එයටම ගැළපෙන පක්ෂ නායකත්වයක් හා මතවාදී නායකත්වයක් යටතේ බවයි. විරුද්ධකාරයන් කොහොම බැලූවත් තමන්ගේ ‘වෙළඳපොළ දේවවාදය’ ගැන යළි සිතන්නටවත්  එජාපය උත්සාහ නොගන්නේ ඒ අයට ඇති මේ විශ්වාසය හා නිශ්චිතභාවය නිසාම බවත් පැහැදිලිය. රටට හානිකර යැයි පිටින් සිටින අප කීවාට එජාපයට තමාගේ උත්තරය නිශ්චිතය. ස්ථිරය. එහෙත් ශ‍්‍රීලනීපයට අද දවසේ නැත්තේම තමන්ගේ දේශපාලන පදනම පිළිබඳව නිශ්චිත වග විභාගයක්ය. එජාපයේ දේශපාලනයේ ඇති මේ නිශ්චිත වෙළඳපොළ කේන්ද්‍රීය ගතිකය ගැන ශක්තිමත් විවේචනයක් හෝ තිරසාර විසඳුමක් ශ‍්‍රීලනිපය පැත්තෙන් ඉදිරිපත් නොවන්නේ ඒ නිසාය. කැබිනට් සංශෝධනයකින් මේ අර්බුදය විසඳිය නොහැක්කේ මේ පෙනෙන අර්බුදයට දේශපාලනමය ගැඹුරක් තිබෙන නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයද මේ තත්වය හමුවේ පෙන්නුම් කරන්නේ හුදු විරෝධාකල්පයක් පමණක් වීම ද මෙහිදී තේරුම් ගත යුතුම සත්‍යයකි. හුදු විරෝධය පළල් දේශපාලනයක් ලෙසින් එළියට ගත හැක්කේ තමන්ගේ පාක්ෂිකයන්ගේ හැඟීම්බර දේශපාලනය එහෙමම කොළඹ පුවත්පත් සාකච්ඡා මගින් කියාපෑමෙන් නොනැවතී එතනින් එහාට යාමෙන් පමණය.

මේ තත්ත්වයට ආමන්ත‍්‍රණය කළ හැකි දේශපාලන න්‍යායක් ශ‍්‍රීලනිපය පැත්තෙන් සහ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් නිර්මාණය කර ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණයකි. මෛත‍්‍රී ජනාධිපතිතුමන් ඇතුළු නිල ශී‍්‍රලනිපයත් මහින්ද ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් හුදු පුද්ගලයන්ගේ කෝණයෙන් නොබලා මේ ප‍්‍රශ්නය දෙස බැලූවහොත් පෙනී යා යුතු කාරණයක් වන්නේ අද රට ඉදිරියේ පවතින ගැටලූ හා ප‍්‍රශ්න හුදු තම තමන්ගේ පෞද්ගලික නායකත්ව ආරක්ෂා කර ගැනීමේ සීමාවෙන් එළියට පැමිණ ඇති බවයි. එජාපයට ආණ්ඩුවක් හදන්නට හැකි වීමේ එක් ප‍්‍රධාන සාධකයක් වූයේ එහි ප‍්‍රධානීන් තම තමන්ගේ පුද්ගලික නායකත්ව ගැන සිතීම නතර කළ නිසා බව (පසු සටහනක් ලෙසින්වත්) තේරුම් ගැනීම මෙහිදී වැදගත්ය. නායකයා කවුද යන්නට වඩා ඒ ඒ නායකයන් කරන්න යන්නේ කුමක්ද යන්න ගැන වැඩි අවධානයක් ගන්නා දේශපාලනයක් පෙරට එමින් තිබෙන බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යය.

 ශ‍්‍රීලනිපයේ පාර්ශ්ව දෙකම එක තැනකට ගත හැකි, අනෙකුත් වාමාංශික කොටස් එක් කළ හැකි සහ එජාපයේ වෙළඳපොළ වාදයට එරෙහිව යා හැකි න්‍යායික පදනමක් වෙතට මේ දේශපාලනය හැරවිය හැක්කේ කෙසේද? මේ ප‍්‍රශ්නයට පිළිතුර සෙවීමෙන් මෙහා දේශපාලනයක් ශ‍්‍රීලනිපයට අද දවසේ තිබිය නොහැකිය. මේ සඳහා මූලික කර ගත යුතු පදනම්වාදය  (Paradigm)  විය යුත්තේ  ජාතිකවාදයත් වාමවාදයත් එක් කරගත් දේශපාලන න්‍යායක් බව මගේ අදහසයි. මේ සංකල්ප දෙකටම ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලැබී ඇති තරමක් වාදභරිත (Problematic)  හා අන්තවාදී (Extremist) භාවිතාවන් නිසා මෙවැනි අදහසක් ගැන කියූ සැණින් බොහෝ අය මේ ගැන සැක කිරීමට විශාල ඉඩක් තිබේ. ජාතිකවාදයත් වාමවාදයත් දෙකම මේ රටේ ඉතිහාසයේ ගමන් කර ඇත්තේ ලේ, කඳුළු සහ ජීවිත හරහා වීම එවැනි සැකයකට තවත් හේතුවක් විය හැකිය. ඒත් මේ රටේ දේශපාලනය වෙළෙඳපොළ ඌනතිවාදයෙන් ගැලවීමට සිතන  ඕනෑම ව්‍යාපාරයක් මුල් වටයේදීම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මෙරට සිංහල හෝ දෙමළ ස්වදේශිකවාදී ජනයා පළල් ආකාරයෙන් ගොඩනැගිය හැකි දේශපාලනමය ගතිකය තවමත් ඇත්තේ ජාතිකවාදයේ බවය. මෙම ගතිකය එක් ජාතියකට එරෙහිව අනෙකා මෙහෙයවන තැනින් ගැලවිය හැක්කේත් ජාතිකවාදය සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කිරීමෙන් නොව එය තුළට අනාගතවාදී දේශපාලනයක් කැවීමෙන් බව මෙහිදී තේරුම් ගත යුතු තවත් වැදගත් කාරණයකි.

ප‍්‍රධාන ධාරාවේ සමහර දේශපාලන පක්ෂ ජාතිකවාදයන් ප‍්‍රතික්ෂේප කරන්නේ හුදු අලංකාරිකයක් ලෙසින් ය. එහෙත්  හරයාත්මකව ගත් කල ජාතිකවාදය සමග මිත‍්‍රශීලී ගනුදෙනුවක් ගොඩනැගීමෙන් තොරව ‘බලෙන්’ අනාගාමික වීම මගින් සිදුවන්නේ අන්තවාදයක් විසින් හෝ ජාතිවාදයක් විසින් ඒ ජාතිකවාදයේ ඉඩ අල්ලා ගැනීමය. දේශපාලකයන් හෝ විද්‍යාඥයන් කියන ආකාරයට සාමාන්‍ය මිනිසුන් තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව අතහරින්නේ නැත. දාර්ශනික අර්ථයෙන් ගත් විට මිනිසා යනු ‘සංස්කෘතික අවිඥානයක්’ විසින් මෙහෙයවන සත්වයෙක් බව පිළිගන්නා තත්ත්වයක්  තුළ මේ ජාතිකවාදය හා දේශපාලනය අතර ඇති මේ අනුලංඝනීය සම්බන්ධය ගැන බරපතළව සිතීම ඉතාමත් වැදගත්ය. වඩාත් සරලව කිවහොත් මා සිතන්නේ අන්තවාදයටත් ජාතිවාදයටත් නොයමින් ජාතිකවාදයේ දේශපාලනය සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් සංවිධානය කිරීමේ අභියෝගය ශී‍්‍රලනිපය අතට ගත යුතු බවයි. ශ‍්‍රීලනිප දේශපාලනයට එහි ආරම්භය සැලසුවේම ‘අත් හරින ලද සිංහල ජාතිකත්වය’ වන අතර එම දේශපාලන ව්‍යාපාරය  හුදු දෙමළ සමාජයේ අනෙකා බවට පත්වීමට අපේක්ෂාවක්  මුලදී පෙන්නුම් කළේ නැත. දෙමළ දේශපාලනයත් සිංහල දේශපාලනයත්  එකිනෙකා පරාජය කිරීමේ අන්ත දෙකක් තුළ පසු කාලයේ  හිරවීම හේතුවෙන් උරුම වූයේ ත‍්‍රස්තවාදයක් සහ එයට එරෙහි යුදවාදයක් බව තේරුම් කිරීමට අලූතින් නිදර්ශන අපේ සමාජයට වුවමනා කරන්නේ නැත.

ජාතිකවාදය සමග වාමවාදය එක්විය යුත්තේ ප‍්‍රධාන හේතු දෙකක් නිසාය. එයින් පළමුවැන්න වන්නේ ඉහතින් දැක්වූ ආකාරයේ අන්තවාදයක් හෝ ජාතිවාදයක් විසින් ජාතිකවාදය ගිල ගැනීමේ අභියෝගය ජය ගන්නට හැකියාව වාමවාදයක් තුළ ඇති නිසාය. අනෙක් හේතුව වන්නේ ධනවාදයේ ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළින් මතුවන සමාජ සාධාරණත්වය යටපත් කිරීමේ ‘වෙළෙඳපොළ දේවවාදය’ කළමනාකරණය කරන්නට සමත් රාජ්‍යයක් හැදීමට වාමවාදයේ ඇති හැකියාව නිසාය. මෙහිදී තේරුම් ගත යුතු ප‍්‍රධාන කාරණයක් වන්නේ ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය ආකාරයට වෙළෙඳපොළ කළමනාකරණය කිරීමය. අසමානයන් අතර තරගය සමහන් කරන්නා ලෙසින් සුබසාධන රාජ්‍යය පිළිගැනීමය. අධ්‍යාපනයේ රාජ්‍ය පංගුකාරත්වය ගැන අද මතුවී ඇති සයිටම් පන්නයේ ගැටලූ විසඳිය හැක්කේ එවැනි දේශපාලනයකටය. අනෙක් අතට සංස්කෘතීන්ගේ ආරක්ෂාව වෙළඳපොළට යටපත් කරන්නට ඉඩ නොදීමත් එවැනි රාජ්‍යයක් කේන්ද්‍රීය කාර්යයක් වශයෙන් පිළිගැනීම වැදගත්ය. පන්තිය පිළිබඳ සාම්ප‍්‍රදායික තේරුම් ගැනීමේ හිර නොවී ඉදිරියට ගිය වාමවාදයකට  සංස්කෘතියෙහි ඇති වැදගත්කම අගය කළ හැකිය.

අද දවසේ ශ‍්‍රීලනිපයේ (මෛතී‍්‍ර හා මහින්ද දෙපොළේම) දේශපාලනය කේන්ද්‍ර ගතවිය යුත්තේ ජාතිකවාදයත් වාමාංශිකවාදයත් එකවිට නැවත වතාවත් අලූතින් ගොඩනැංවීමේ දිසාවකටය. එවැනි උත්සාහයක් විසින් පක්ෂයේ වර්තමාන බෙදුම් රේඛා මැකිය හැකි දැයි බැලීම ඉතා සුදුසුය. පැරැණි දාර්ශනික කියමනක් මේ තත්ත්වයට ගළපා තේරුම් ගන්නේ නම් කිව හැක්කේ ‘වාමවාදයකින් තොර ජාතිකවාදයක් අන්ධ දෙයක් බවත් ජාතිකවාදයක් නොමැති වාමවාදයක් හිස් දෙයක් බවත් අප තේරුම් ගත යුතු බවය. එය ඉංග‍්‍රීසියෙන් කියන්නේ The leftism without nationalism is blind, where the nationalism without leftism is empty කියාය.

පැති මාරුවකින් හෝ ඇමැති මාරුවකින් නිමා කළ හැකි යැයි නොපෙනෙන  මේ යුගයේ සැබෑ දේශපාලන අරගලය වන්නේ මේ ජාතිකවාදයත් වාමවාදයත් අලූතින් වරන`ගන්නට නායකත්වය දෙන්නට ශ‍්‍රීලනිපය සමත් වන්නේද යන කාරණය මතය.