(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

 

‘ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සහ එහි ඛනිජ තෙල් පිරිපහදු සංකීර්ණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග අත්වැල් බැදගැනීමට නියමිතය. කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක ආයෝජනය කිරීමට එරට ආයෝජකයන් උනන්දු කරවීමට ද ඉන්දියාව කටයුතු කරනු ඇත.‘ මෙය මෙම වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත ආර්ථික ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීම මැයෙන් වන අවබෝධතා ගිවිසුමක සංක්ෂිප්තයකි.

ශ්‍රී ලංකාව පාර්ශවයෙන් මෙම ගිවිසුමට අත්සන් තබනු ඇත්තේ සංවර්ධන ක්‍රමෝපායන් සහ අන්තර්ජාතික වෙළෙද අමාත්‍යාංශයයි. ගිවිසුමේ පරිදි වැඩකටයුතු ක්‍රියාත්මක වේදැයි සොයාබලනු ඇත්තේ ද එම අමාත්‍යංශයයි. ඉන්දියාව නියෝජනය කරමින් මෙම ගිවිසුමට අත්සන් තබන්නේ කවුරුන්දැයි තවමත් තීරණය කර නොමැත.

අවබෝධතා ගිවිසුමේ අවසන් කෙටුම්පතට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ අනුමැතිය දැනටමත් හිමිව අවසන්ය. ගිවිසුමේ සදහන් පරිදි එක් එක් කාර්යයන් කුමන කාලවලදී සිදුකළ යුතුදැයි තීරණය කිරීම සදහා සැලැස්මක් සකස් කරගැනීම මිීළගට ඇති කාර්යයයි. එය නිල වශයෙන් පත් කරනු ලබන කමිටුවකට පැවැරෙනු ඇත.‘ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින සාම්ප්‍රදායයික මිතුරු බැදීම, තවදුරටත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන්, ආයෝජන හා සංවර්ධන සහයෝගීතාව සම්බන්ධයෙන්, වන ද්විපාර්ශවීය ගිවිසුම් ඇති කරගැනීම මගින් තර කරගැනීමටත්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ඒ මගින් ප්‍රතිලාබ අත්කර දීමටත් දෙරටටම ඇති වුවමනාව‘ මෙම ගිවිසුම මගින් තහවුරු කැරෙන බව ද එහි සදහන්ය.

‘සමානත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධතාව යන පදනම්හි සිට දෙරටෙහිම ජනතාවගේ සුබසාධනය සහතික කැරෙන පරිදි ඒකාබද්ධ ගිවිසුම් සහ දෙරටේ සහයෝගය මත ක්‍රියාත්මක වෙන වෙනත් ක්‍රියාකාරකම් ආධාරයෙන්, ප්‍රගමනකාරී ඉහළ ආර්ථික සංවර්ධනයක් සහ ආයෝජන සංවර්ධන සහයෝගීතාවක් ඇති කරගැනීම‘ මෙම ගිවිසුමේ අරමුණ ලෙස දැක්වේ.

සහයෝගීතාවක් ඇති කරගැනීම සදහා කොළඹ හා නව දිල්ලිය අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුමේ දෙපාර්ශවයේ අවධානය යොමුව ඇති ව්‍යාපෘතීන් මෙසේය.


● ද්‍රවීකෘත ස්වභාවික වායු දහනයෙන් ක්‍රියාත්මක වන මෙගාවොට් 500 ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාරයක් සහ ද්‍රවීකෘත ස්වභාවික වායු පර්යන්තයක් පාවෙන ගබඩාවක්, ප්‍රතිවායුකරණ පද්ධතියක් කෙරවළපිටියේ ඉදිකිරීම.

● ස්වභාවික වායූන් කාර්යක්ෂමව භාවිතයට ගැනීම සදහා ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාු ඇත.කොළඹ හා තදාසන්න පෙදෙස් හි ගෑස් බෙදා හැරීම සදහා නළ පද්ධතියක් ඇති කිරීම, පීඩනයදෙන කරන ලද ස්වභාවික වායු මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත ලබා දීම සදහා පහසුකම් ඇති කිරීම, ඉන්ධන මත පදනම්ව ඇති විදුලි බලාගාර ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා එක්ව ස්වභාවික වායු විදුලි බලාගාර බවට හැරවීම, එම කටයුතු අතර ප්‍රධානය.

● සාම්පූර්හි මෙගාවොට් 50ක (මෙගාවොට් 100 දක්වා වැඩි කළ හැකි) සූර්යබල විදුලි බලාගාරයක් ඉදිකිරීම.

● ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධනය කිරීම සදහා එකගතාවක් ඇති කරගැනීම.ඉන්දියා ඔයිල් සංස්ථාව වෙනුවෙන් වසර 50කට බලපැවැත්වෙන පරිදි එම ඉඩම බද්දට ගැනීම සදහා වන එකගතාවකට අත්සන් තැබීම.

● ත්‍රිකුණාමල වරාය, තෙල් පිරිපහදුව සහ වෙනත් කර්මාන්ත සංවර්ධනය කිරීම සදහා ඒකාබද්ධ ආයෝජන සිදුකිරීම.

● ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියා ඔයිල් සංස්ථාව ඒකාබද්ධව ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම.

● ශ්‍රී ලංකාවේ හදුනාගත් ප්‍රදේශවල කර්මාන්ත කලාප, විශේෂ ආර්ථික කලාප ඇතිකිරීම.

● ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ආයෝජනයෙන් දඹුල්ල - ත්‍රිකුණාමලය මාර්ගය අධිවේගී මාර්ගයක් බවට සංවර්ධනය කිරීම.

● මන්නාරම - යාපනය සහ මන්නාරය ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගයන් ඇතුලුව, ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය කිරීම.

●  මාර්ග වල තත්ත්වය උසස් කිරීම ආදී ව්‍යාපෘති මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම.

●  කොළඹ වරායෙන් වඩාත් ප්‍රතිනැව් ගත කිරීම් සිදුවන්නේ ඉන්දියාවට බව යන කරුණ සැලකිල්ලට ගෙන කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක ආයෝජනය කිරීම සදහා ඉන්දියා සමාගම් උනන්දු කරවීම.

ගිවිසුමේ සදහන් කරුණු සංශෝධනය කිරීමට හා පවතින කරුණු වලට තවත් තොරතුරු එක් කිරීමට දෙපාර්ශවයටම අවස්ථාව සළසා දී තිබේ. ගැටලු පවතී නම් අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුවන උපදේශන ආධාරයෙන් එම ගැටලු විසදා ගැනීමට හැකි බව ගිවිසුමේ සදහන්ය. මාස තුනකට පෙර දැනුම්දීමක් සිදුකර ඕනෑම පාර්ශවයකට ගිවිසුමෙන් ඉවත්වීමට ද අවස්ථාව ඇත.

ගිවිසුම ප්‍රකාරව දෙරට අතර ඇති කරගැනීමට යන වැදගත් එකගතාවක් වන්නේ දෙවැනි ලෝක යුද සමයේ ඉදි කැරුණු තෙල් ගබඩා කිරීමේ ටැංකි සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියයි. ගණනින් 101 වන මෙම ටැංකි ඉදිකළෝ බි්‍රතාන්‍යයෝය. ඒ අතරින් එක් ටැංකියක් 1942 වසරේ තම ගුවන්යානය එහි ගැටීමට සැලැස්වූ ජපාන කමිකාසි ගුවන් නියමුවකු විනාශ කළ අතර, තවත් ටැංකියක් 1960 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් කඩා වැටීම නිසා විනාශ විය. ඉතිරිව ඇති ටැංකි 99 අදටත් ඉතාම හොද තත්ත්වයේ පවතී.එම එක් ටැංකියක ධාරිතාව ගැලුම් ලක්ෂ 10කි. මෙම ටැංකි වලින් මුහුදට මුහුණලා පිහිටා ඇති ටැංකි 15 ක් තෙල් ගබඩා කිරීම සදහා ලංකා - ඉන්දියා තෙල් සංස්ථාව භාවිතයට ගෙන ඇත. දිවයින පුරා විහිදුනු පිරවුම්හල් ජාලයක් ද එම සමාගමට හිමිය.

කොළඹ වරාය මෙන් දස ගුණයක විශාලත්වයකින් යුතු උතුරු නැගෙනහිර වරාය නගරය වන ත්‍රිකුණාමලය, ඉන්දියාවේ සහය මත සංවර්ධනය කිරීමට පිඹුරුපත් සකස් කැරෙමින් පවතින අතරේ, දකුණේ හම්බන්තොට වරාය චීන සහය මත සංවර්ධනය කිරීමට ද රජය උත්සාහ දරමින් සිටී. එහෙත් ගැටලුව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් එකගතාවකට පැමිණීමට නොහැකිව තිබීමයි. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගැනීමට නියමිත සහන ගිවිසුම යටතේ ව්‍යාපෘතිය දියත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතත්, තවමත් විසදාගත යුතුව තිබෙන ගැටලු කිහිපයක් ඇත. පසුගියදා එවැනි ගැටලුවක් මතු කරමින් ඒ සම්බන්ධයෙන් වූ සටහනක් තම අමාත්‍ය සගයන් අතර හුවමාරු කරගත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහන ගිවිසුමේ නෛතිකභාවය අභියෝගයට ලක් කළේය. ගිවිසුමෙහි ඇති කරගෙන තිබෙන එකගතා ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත සහ වෙනත් අදාළ පනත් සමග ගැලපේදැයි නීතිපති ජනරාල්වරයා ලවා පරික්ෂා කරවා ගැනීම ඔහුගේ වුවමනාව විය. අමාත්‍යවරයාගේ සටහනට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද අමාත්‍යවරුන් වෙත තවත් සටහනක් ලබා දී තිබිණ. ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත ප්‍රකාරව සම්පූර්ණ වරායක් තවත් පාර්ශවයකට පවරා දීමේ බලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොමැති බවට අමාත්‍යවරයා තම සටහනෙන් තර්ක කර තිබිණ. වරාය අධිකාරියට බලය ඇත්තේ පර්යන්තයක් හෝ වෙනත් අංශයක් පවරා දීමට පමණක් බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබිණ.

එහෙත් ගෙවුණ පෙබරවාරි මාසයේ අගමැති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා වෙත ලිපියක් යවමින් නීතිපති දෙපාර්තමෙන්තුව එහි සදහන් කළේ වරාය අධිකාරියට මෙම ගිවිසුමට අත්සන් තැබිය හැකි බවයි. නීතිපතිවරයා වෙනුවෙන් අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සන්ජේ රාජරත්නම් සදහන් කර තිබුණේ මෙවැන්නකි.

‘ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන තීරණ ගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාමය වශයෙන්ම බලයක් හිමිව තිබෙන බව මාගේ මතයයි.ඒ අනුව සැලකූ විට මෙම ක්‍රියාවලියේ දී වැදගත් වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි වෙනත් රජයේ ආයතනයන්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැනෙන ප්‍රතිපත්තිමය තීරණයන් අනුව ක්‍රියාත්මක කිරීම සදහා යොමු කිරීමට කැබිනට් මණ්ඩලයට හැකිය. එය සිදුවිය යුත්තේ අවස්ථාවට උචිත පරිදි යොදාගත හැකි නීති වලට යටත්වය.‘
අගමැති ලේකම්වරයා නගා ඇති ප්‍රශ්න වලට නීතිපතිවරයා පදනම් සතරක සිට පිළිතුරු සපයා ඇත. පහත දැක්වෙන්නේ එම පිළිතුරු වල සංක්ෂිප්තයන්ය.

අ.ශ්‍රී ලංකා ආණ්ඩුව පාලනය කිරීමටත්, මාර්ගෝපදේශනය සැපයීමටත්, ආණ්ඩුව වෙනුවෙන් තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාමය අයිතියක් හිමි බව සදහන් කර ඇති නීතිපතිවරයා, ආණ්ඩුව වෙනුවෙන් අත්සන් තබන ගිවිසුම් අරබයා ක්‍රියාත්මක විය යුතු ආකාරය තීරණය කිරීමේ බලය ද කැබිනට් මණ්ඩලය සතුවන බව පවසයි. ගිවිසුමකට අදාළ වෙනත් රාජ්‍ය ආයතන පවතී නම් එම රාජ්‍ය ආයතන ගිවිසුමේ කරුණු ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සදහා යොමු කිරීමේ බලය ද කැබිනට් මණ්ඩලය සතු වන බව ඔහු කියයි. එවන් ගිවිසුමක් හා බැදුනු ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය ව්‍යාපෘතිය හදුන්වාදෙන නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ද කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන බැවින් කැබිනට් මණ්ඩලය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගන්නා ඒකාබද්ධ තීරණයකට එකග වීමට ව්‍යවස්ථාවේ අංක 42 2 වගන්තිය ප්‍රකාරව ඔහුට සිදුවන බව පෙන්වා දෙයි.

ආ.ගිවිසුමක් ප්‍රකාරව කටයුතු කිරීම සදහා අදාළ රාජ්‍ය ආයතන යොමු කැරෙනවිට දී, එම කටයුතු පවත්නා නීති ප්‍රකාරව සිදුවිය යුතු බව නීතිපතිවරයා පෙන්වා දේ. කැබිනට් මණ්ඩලය ලබාදෙන උපදෙස් මත කිසියම් රාජ්‍ය ආයතනයකට ක්‍රියාත්මක විය නොහැකි නම් පමණක් අදාළ පරිදි නීති සංශෝධනයන් සිදුකළ හැකි බව ඔහු කියයි. එහෙත් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එවැනි සංශෝධනයක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි නීතිපතිවරයා පවසයි.

ඇ.ව්‍යවස්ථාවේ වගන්ති අංක 157 ක්‍රියාත්මක කළ යුතුවීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දෙන නීතිපතිවරයා, එසේ වුවත් ව්‍යවස්ථාවේ අංක 42 වගන්තිය යටතේ මෙම ගිවිසුම තොරතුරු දැනගැනීම සදහා සහ වගවීම සදහා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම කැබිනට් අමාත්‍යවරුන්ගේ වගකීම බව කියයි.

ඈ.වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමට නම් ව්‍යවස්ථාවේ සදහන් පරිදි එම කටයුතු සිදුකළ යුතු බව නීතිපතිවරයා පවසයි.

පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාවවූයේ ද හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ චයිනා හාර්බර් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි අතර ඇතිකරගැනීමට නියමිත සහන ගිවිසුමයි. ඒ අරබයා විපක්ෂව මෙන්ම පක්ෂව ද බොහෝ අදහස් පළවිය. අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා අදහස් දක්වමින් හම්බන්තොට වරායේ අලාභය වෙනත් රාජ්‍ය ආයතන ලබා ඇති අලාබ හා සැසදීමේ දී අවම අගයක පවතින බව පැවසුවේය. වරාය රුපියල් බිලියන හතරක ලබා තිබිය දී, ලංකා විදුලි බල මණ්ඩලය මසකට රුපියල් බිලියන අට බැගින් අලාබ ලබා තිබෙන බවත්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් රුපියල් බිලියන 22ක අලාභයක් ලබා තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවන් අලාභ ලැබීම් කපා හැරීම සදහා නිවැරැදි ක්‍රියාමාර්ග හදුන්වාදීම අතිශයින් වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අමාත්‍ය අර්ජුන රණතුංග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරමින්, සහන ගිවිසුමේ ගැටලුකාරී ස්ථාන රාශියක් ද පෙන්වා දුන්නේය. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද ඔහු හා එකග වෙමින් අදහස් පළකළේය.මෙහිදී පිළිතුරු දුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පත් කැරුණු කැබිනට් උප කමිටුව මේ පිළිබදව සොයා බලමින් සිටින බව පැවසුවේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී හඩ අවදි කරමින්, ගිවිසුම අත්සන් කිරීම තවත් ප්‍රමාද කිරීමෙන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි අනතුරු ඇගවූයේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේ එක් අවස්ථාවක දී අදහස් දක්වමින් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සියලු ගැටලු මේ වන විට නිරාකරණය කරගෙන ඇති බව පැවසුවේය. අනතුරුව ව්‍යාපෘතිය අරබයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළ ඔහු එම පැමිණිල්ල සදහා ඉදිරිපත් කර තිබෙන ලිපිගොනුවට ජනපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් ඇතුළත්ව තිබෙන්නේ කෙසේදැයි විමසා සිටියේය. පසුගිය සති කිහිපයේම සදහන් කැරුණු අන්දමට මෙම ගිවිසුමට එළැඹිීම ශ්‍රී ලංකා රජය කඩිනම් කරමින් සිටිනුයේ එයින් ලැබෙන ඩොලර් බිලියන 1.1 ක මුදල අපේක්ෂාවෙනි. ගිවිසුම අත්සන් තැබීම සති කිහිපයක් ඇතුළත සිදුකැරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.

“මේක වෙන්නේ අර්ජුන රණතුංග මතුකර තිබෙන ගැටලු වලට කැබිනට් උපකමිටුවෙන් විසදුම් ලැබුණාට පස්සේ.“ එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය. මේ සම්බන්ධයෙන් රණතුංගගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. අප ඔහුගේ දුරකතනයට ගත් ඇමතුම්වලට ද ඔහු පිළිතුරු දුන්නේ නැත.

ණය අර්බුදයට මුහුණදීමට නම් වහාම මුදල් සොයාගත යුතුව තිබෙන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉගි කළේය.

“අපට ඩොලර් බිලියන 11ක් වුවමනායි.හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් අපට ලැබෙන ඩොලර් බිලියනයෙන් අපේ ගැටලුව විසදෙනවයි කියන එක බොරුවක්. මේවා තමයි අපි රාජපක්ෂ රෙජීමයෙන් උරුම කරගෙන තියෙන්නේ.“ ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

රණතුංග සහ අගමැති වික්‍රමසිංහ අතර මුහුණට මුහුණ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණ. රණතුංග මතුකර තිබෙන ගැටලු සම්බන්ධයෙන් දෙදෙන දීර්ඝ සාකච්ඡාවක නියැළී තිබෙන බව දැනගන්නට හැකි විය.
ජනපති සිරිසේනගේ අවධානය යොමුව තිබෙන්නේ ණය අර්බුදයෙන් රට ගලවා ගැනීමට වහාම ගත යුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් පමණක් නොවන බව පසුගිය සතියේ පැහැදිලි විය. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකිරීමට තමා කටයුතු කරන බව ඔහු අමාත්‍යවරුන් හමුවේ පැවසුවේය.

“ සමහර අමාත්‍යංශ වල ගැටලු මතුවෙලා තිබෙන නිසා සමහර තනතුරුවල වෙනසක් සිදුකරන්නට වෙන බව ජනපතිවරයා කීවා. සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පස්සේ ඒ වෙනස්කම් සිදුකරන්න බලාපොරොත්තු වෙන බවත් ඔහු කීවා.“ දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා සන්ඬේ ටයිම්ස් හා කීවේය. එසේවුවත් ඇතැම් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ අදහස වන්නේ කැබිනට් තනතුරු වෙනස අලුත් අවුරුද්දට පෙර සිදුවනු ඇති බවය.

ද සිල්වාට අනුව උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ ඒවායේ ධූර කාලය අවසන් වූ වහාම පැවැත්වීම ජනපති සිරිසේනගේ සැලසුමයි. මෙම පළාත් සභා හි ධූර කාලය මෙම වසරේ නිමාවට පත්වේ. මෙසේ සැලසුම් සකස් කෙරෙමින් පවතින්නේ දැනටමත් දීර්ඝ ලෙස කල් ගතවී ඇති පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට උත්සාහ කෙරෙමින් තිබියදීය. රජයේ ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට රජයේ සැලසුම වන්නේ ඉහත සදහන් කළ පළාත් සභා තුනෙහි මැතිවරණ පවත්වා රජයේ ජනප්‍රියත්වය උරගා බැලීමටය. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට රජය උනන්දු වනු ඇත්තේ එයින් පසුව පමණක් බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවල මැතිවරණ සීමා නීර්ණය කිරීම සදහා පත් කෙරුණු කමිටුව සකස් කළ අවසන් වාර්තාව ගැසට් කළේ පසුගිය පෙබරවාරි මස 17 වැනිදාය. එහෙත් දැනට දැකගැනීමට හැකි ආකාරයට මැතිවරණය පැවැත්වීමට ප්‍රථමයෙන් ගතයුතුව තිබෙන තවත් පියවර රාශියක් ඇත. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ගෙන ඇති තීරණයකට අනුව එක් එක් පළාත් පාලන ආයතනයට පත්විය යුතු සාමාජික සංඛ්‍යාව සදහන් වන ගැසට් පත්‍රියක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් ඇත. තාක්ෂණික මට්ටමේ වන නව සංශෝධන ජාතික මැතිවරණ පනතට ද ඇතුළත් කළ යුතුව තිබේ.

යෝජිත සංශෝධනයන් මැතිවරණ කොමිසම දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ග්‍රාමසේවා කොට්ඨාස නම් වශයෙන් සදහන් කිරීම ද එවන් එක් යෝජිත සංශෝධනයකි. මෙම සංශෝධන පිළිබදව සොයා බැලීම සදහා අමාත්‍යංශයෙන් දෙපුද්ගල කමිටුවක් ද පත් කර ඇත. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම දිනෙක් දිනම කල් ගතවීම නිසා, ඇතැම් පළාත් පාලන ආයතනයන් වසර දෙකක කාලයක් පුරාවට පවතිනුයේ ප්‍රාදේශීය ජනතා නියෝජනයක් නොමැති තත්ත්වයකය.

පසුගිය සදුදා අගමැති වික්‍රමසිංහ හමුවූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය කණ්ඩායම ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් රජයේ සිටින ඇතැමෙක් කැබිනට් මණ්ඩලයේ ගනු ලැබූ තීරණ වලට පරස්පර අදහස් පිටත දී ප්‍රකාශ කරන බවට චෝදනා කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් රජයේ දුරස්ථ පාලකය ඇත්තේ තමන් අත බව යැයි පවසා ඇත්තේ මේ නිසා බව ඔහු පෙන්වා දුන්නේය. කැබිනට් මණ්ඩලය කිසියම් තීරණයක් ගත් පසු සියලුම අමාත්‍යවරුන් එම තීරණය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඔහු අවධාරණය කළේය. 1990 වසරේ ජනසන්නිවේදන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණයට එරෙහිව රජය ගත් තීරණය හමුවේ කඩාකපල්කාරී ක්‍රියාවන් සහ වර්ජන වල තර්ජන හමුවේ එදා කැබිනට් මණ්ඩලය කටයුතු කළ ආකාරය ඔහු සිහිපත් කළේය.කොහොම වුණත් අපි ඒකා වගේ හිටියා. අමාත්‍යවරයා කීවේය. ඒ හා සමාන තීරණයක් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ද ගෙන තිබෙන බව පෙන්වා දුන් ඔහු, ඒ අනුව සියලුම අමාත්‍යවරුන් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පෙන්වා දුන්නේය. අදාළ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන පවා කටයුතු කළ යුත්තේ ඒ අයුරින් බව ඔහු පැවසුවේය. මෙම හමුවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගීව නොසිටියේය. ජනපති සිරිසේන කර තිබූ ඉල්ලීමක් අනුව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතරින් මතුවූ අදහස් සටහන් කරගැනීමට අගමැතිවරයා කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සමුළුව පසුගිය ඊයේ (2 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබිණ. සංවිධායකයන් 10000ක පිරිසක් සමුළුවට එතැයි අපේක්ෂාවෙන් සිටි මුත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පහසුකම් 8000 ක පිරිසකට සීමා වීම නිසා ගැටලුවක් මතු විය. පසුව ක්‍රීඩාංගණයෙන් පිටත පුළුල් තිර රූපවාහිනී යෙදවීමට කටයුතු කැරිණි. දිවයින පුරා පක්ෂයේ සංවිධායකවරුන්ට තම තමන්ගේ මැතිවරණ කොට්ඨාස වලින් 100 දෙනෙකු බැගින් තරුණ තරුණියන් සමුළුවට සහභාගී කරවීමට නියමිත වූ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් එක් මැතිවරණ කොට්ඨාසයකින් තරුණ තරුණියන් 200 දෙනෙකුගේ සහභාගීත්වය අපේක්ෂා කැරිණි. සමුළුවේ දී වැදගත් යෝජනා රැසක් පිළිබද තීරණ ගැනීමට නියමිත වූ අතර, එය මැයි මස නුවර දී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියට පෙර මග සකසන්නක් ලෙස යොදා ගැනීම පක්ෂ නායකයන්ගේ අපේක්ෂාව විය.

චීනය හා ඉන්දියාව සමග සංවර්ධන කටයුතු අරබයා සහයෝගීතාව ඇති කරගැනීමේ නියැළී සිටින ශ්‍රී ලංකා රජය ඇමෙරිකාව හා අත්වැල් බැදගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීම සදහාය. මේ සම්බන්ධයෙන් වූ විශේෂ එකගතාවක් පසුගියදා කොළඹ සහ වොෂින්ටන් අතර ඇතිවිය. මෙම එකගතාව අනුව අභ්‍යාසවල දී, පුහුණුවීම්වල දී, මෙහෙයුම් සදහා අනුයුක්ත කිරීම්වල දී, සහයෝගය අවශ්‍ය වන වෙනත් අවස්ථාවල දී, සහ එක් පාර්ශවයකට අනෙක් පාර්ශවයේ සහය, සේවය සහ ද්‍රව්‍යමය සහය අවශ්‍ය වන හදිසි අවස්ථාවල දී, ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය එකිනෙකා අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය මත එකිනෙකාට උපකාර කරනු ඇත. එවන් ආධාර ලබාදුන් එක් අවස්ථාවක් වනුයේ 2004 සුනාමි ව්‍යසනයේ දී පැසිෆික් කලාපයට අනුයුක්තව සිටි ඇමෙරිකා සෙබළුන් ශ්‍රී ලංකාවට සහන සේවා සැපයීමට සහ භාණ්ඩ බෙදා හැරීමේ මෙහෙයුම් දියත් කිරීමට මැදිහත් වූ ආකාරයයි.
මෙම ගිවිසුම යටතේ අවි හෝ මිසයිල හෝ මුහුදු බෝම්බ හෝ ටොර්පිඩෝ හෝ කිසිදු අවියක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවසරයක් නැත. එහෙත් සාමාන්‍ය භාවිතයට ගත හැකි වාහන සහ අවි ආයුධ නොවන උපකරණ එක් පාර්ශවයකින් බද්දට ගැනීමට හැකිය. පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයයි.

‘ශ්‍රී ලංකාවේ නාවික සහ ගොඩබිම් ආරක්ෂක අංශ සමග විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් ගතකළ සතියක කාලයක් අවසානයේ යූඑස්එස් කොම්ස්ටොස් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් නික්ම ගියේය. මානවවාදී උපකාර ලබාදීම, හදිසි ආපදා අවස්ථාවක දී ක්‍රියාකළ යුතු සහ සහන සේවා සැලසිය යුතු ආකාරය, මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම, ආදිය සම්බන්ධයෙන් ගෙවුණු සතිය පුරා දෙපාර්ශවය අතර විවිධ අභ්‍යාස පැවැත්විණ. මෙය පසුගිය මාස 12ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සිදුවූ තෙවැනි ආරක්ෂක අංශ - ආරක්ෂක අංශ අතර හුවමාරුවයි.

“අතීතයේ සාර්ථකත්වය මත ගොඩගැනීමටත්, කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගත හැකි හොදම නාවික ආරක්ෂණ විධි අප එකිනෙකා අතර හුවමාරු කරගැනීම සදහා අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමටත්, ඉදිරියටත් මෙවැනි ද්විපාර්ශවීය කටයුතු වල නියැළීමට අවශ්‍ය වන යහපත් අනාගතයක් ඇති කිරීම සහතික කිරීමටත් අප අපේක්ෂා කරනවා“ යුඑස්එස් කොර්ම්ස්ටොක් හි අණදෙන නිලධාරීන් කොමාන්ඩර් බ්‍රැඞ්ලි කොලෙට්ටි පැවසීය.

“දිනෙන් දිනම වර්ධනය වන අපගේ ආරක්ෂක අංශ - ආරක්ෂක අංශ සහයෝගීතාවයෙන් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාව සංහිදියාව සහ නීතියේ ස්වාධිපත්‍ය ස්ථාපිත කිරීමෙහි ලා අත්කරගෙන තිබෙන ප්‍රගතියයි. ශ්‍රී ලංකාවට එහි ජනතාවට මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවට පොරොන්දුවී තිබෙන අයුරින් මෙසේ කටයුතු කරන විට, අපගේ ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තව තවත් වර්ධනය වනවා ඇති.“ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් කීය.

ගණනින් 325 ක් පමණ වූ එක්සත් ජනපද සේලරුවන් සහ මැරීන් භටයන්, ශ්‍රී ලංකාවේ නාවික සහ පාබල හමුදාවන්ගෙන් සැදුම් ලත් 175 ක කණ්ඩායමක් සමග මෙම හුවමාරුවට එක් විය. යූඑස්එස් කෝර්න්ස්ටොක් නෞකාවේ එක්සත් ජනපද මැරීන් භටයන්, නාවික ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණික විධි සහ උපකරණ තම ශ්‍රී ලංකා සගයන් වෙත හදුන්වාදීමටත්, ජීවිතාරක්ෂක කුසලතා, ප්‍රවාහන මෙහෙයුම් කුසලතා, මානවවාදී ආධාර සැපයීමේ අවස්ථා, හදිසි ආපදා වලට මුහුණදිය යුතු ආකාරය, සම්බන්ධයෙන් ඔවුනට දැනුම ලබාදීමටත්, උභය රථවාහන සම්බන්ධයෙන් ඔවුනට හදුන්වාදීමක් සිදුකිරීමටත් කටයුතු කළේය.

හුවමාරුව අතරතුර දී ශ්‍රී ලංකාවේ වැදගත් සංස්කෘතික ස්ථාන නැරඹිීමේ අවස්ථාව එක්සත් ජනපද මැරීන් භටයන්ට හිමිවිය. තවද ඔවුන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාල සාමාජිකයන් හා එක්ව රත්මලාන අද හා බිහිරි පාසලේ ළමයින් වෙනුවෙන් සෙල්ලම් බඩු පරිත්‍යාගයක් ද සිදුකළේය.

“පාසලේ දරුවන් සමග දින කිහිපයක් ගතකිරීම සම්බන්ධයෙන් අපි එක්සත් ජනපද සේලවරුන්ට සහ මැරීන් භටයන්ට අතිශයින් කෘතඥ වෙනවා.“ තානාපති කෙෂාප් පැවසීය.

එක්සත් ජනපද පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම් කදවුර පිහිටි හොනලුලුහි දී ශ්‍රී ලංකාවේ හවායි තානාපතිනී කුසුමා කුරේ මහත්මිය පසුගිය මස ගෞරවාන්විත මහජන සේවය අරබයා විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවාය.

 ඇයට මෙම සම්මාන හිමිවූයේ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව එකිනෙකා සමග වඩාත් සමිීප කරවීමට ඉටුකළ මෙහෙය අගයනු වස්ය. ඇය මෙම සම්මානය ලැබූයේ පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් හැරී හැරිස් අතිනි. ඇමෙරිකාව සිදුකළ මෙම අගය කිරීම ඉන්දියා සාගර කලාපයේ භූගෝලීය - දේශපාලනික සන්දර්භයේ නව ප්‍රවණතා හමුවේ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීමත් පිළිබදව අවධානය යොමුව තිබෙන බව පෙන්වන සංඥාවක් ලෙස සැලකිය හැකිය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ලැබෙන ඩොලර් බිලියනයක මුදල මුදල් අමාත්‍යවරයා පවසන ලෙසින්ම රටේ ණය බර පියැවීමට ප්‍රමාණවත් නැත. තවත් ඩොලර් බිලියන 10ක ණය අප මත ඇත. මේ හමුවේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල හා ඔහු සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ එම අරමුදලෙන් තෙවන වාරිකයත් ලබා ගැනීමටය.

අලුත් අවුරුද්දෙන් පසු කැබිනට් තනතුරු වෙනසක් සිදුකිරීම ජනපතිවරයාගේ අපේක්ෂාව නම් මැයි දිනය වන විට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ තනතුරු වෙනස්වී තිබෙනු ඇති බව සිතිය හැකිය.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ තනතුරු වෙනස් වන බව දැනගන්නට ඇත. එම තනතුරු වෙනස් කම් බොහෝ දෙනකු පුදුමයට හා කම්පාවට පත් කරනු ඇති බවට සැකයක් නැත. එයින් පසු මැයි රැලියේ දී ජනපති සිරිසේන, ජනපති ලෙස වගකීම් භාරගෙන ධූර කාලයෙන් හරි අඩක් ගෙවී ඇති තැන, තම ඉදිරි සැලසුම් ගැන ජනතාව හමුවේ කියනු ඇත.