(සටහන චමින්ද මුණසිංහ)

ප‍්‍රශ්නය: ආණ්ඩුව තවම වසර දෙකක් වුණාට ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා, දෝෂාරෝපණ වසර ගණනවාක් රට පාලනය කළ ආණ්ඩුවකට එල්ලවන තරමේ ඒවා. මොකක්ද මේකට හේතුව?

පිළිතුර: වසර ගණනාවක් ජනතාව සිටියේ දැඩි මර්දනයක් යටතේ. ඒ වාතාරවණය යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමග තුරන් වුණා. නිදහස් වාතාවරණයක් රටේ ස්ථාපිත වුණා. ඒ ලැබුණු නිදහස වැරැුදි ආකාරයෙන් භුක්ති විඳින්න සමහර කණ්ඩායම් පෙළඹිලා තිබෙනවා. ඒක තමයි ඔය හැමදාම වීදිගානේ දකින්නට තිබෙන්නේ. රාජපක්‍ෂ පාලන කාලයේ මෙහෙම උද්ඝෝෂණ, වීදි සටන් තිබුණා නම් ඒ අයට වෙන්නෙ මොකක්ද කියලාවත් හිතාගන්න බැරි වෙනවා. ඒ තරම් මර්දනයක් එදා තිබුණා. අද එහෙම නෑ කියලා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝසණවලින්ම පැහැදිලියි.

අතීත රෝමයේ වහලූන් සිටියා. ඔවුන් නිදහස් කළාට පස්සේ නිදහස් පුද්ගලයන් හැටියට මාස දෙක තුනක් ඉඳලා ආයෙම වහල් සේවයට ගියා. නිදහසට වඩා වහල් සේවය හොඳයි කියා ඒ අය සිතුවා. වසර ගණනාවක් මර්දනය යටතේ ජීවත්වූ අයට එක වරම නිදහස් ලැබුණාම ඔහොම තමා. අද සුදු වෑන් නෑ. පැහැර ගැනීම් අතුරුදන්වීම් නෑ. නීතිය ස්වාධීනව කි‍්‍රයාත්මක වෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදී තිබෙනවා. මේ නිදහසෙන් ඇතැම් අය අයුතු ප‍්‍රයෝජන ගන්නවා. ටික කාලයක් යනවිට ඔය තිබෙන තත්ත්වය අඩුවේවි.

ප‍්‍රශ්නය: හැබැයි ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු විපක්‍ෂ කණ්ඩායම් නම් කියන්නේ ආණ්ඩුවට එරෙහිව ජනමතය ඉස්මතු  වෙලා කියලයි?

පිළිතුර: ඇත්තටම එහෙම කියන්න බැහැනේ. ඔය අය ජාතික මැතිවරණ දෙකක් පැරදුනා. එහෙම නම් ජනමතය කියන්නේ මොකද්ද? පළාත් පාලන මැතිවරණය බොහෝ විට ඉක්මනට පවත්වාවි. එතකොට අපි බලමු ජනමතය කාටද  තියෙන්නෙ කියලා.

ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය අසවල් කාලයේ තියනවා කියා වෙලාවෙන් වෙලාවට එක එක දේ ආණ්ඩුව කියනවා. ආණ්ඩුවේම මේ ගැන එකඟතාවක් නැතිව මැතිවරණය තියන්නේ කොහොමද?

පිළිතුර: මේක මූලික වරද කළේ පසුගිය ආණ්ඩුව. කොට්ඨාස කැඩුවේ ඒ අය. කොට්ඨාස කඩද්දි සියලූ දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කර ඒ දේ කළානම් මේ ප‍්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නිවෙස්වල ඉඳගෙනයි කොට්ඨාස කැඩුවේ. ඒ අයට  ඕන  ඕන ආකාරයට ඒ වැඩ කළා. සමහර කොට්ඨාස නයා ගියා වගේ දිගයි. මේවාට පදනමක් නෑ. ඒ වරද තාම තිබෙනවා. එදා අපි විපක්‍ෂයේ සිටියේ. අපෙන් මේවා ගැන කිසි විමසීමක් කළේ නෑ. අපේ යෝජනා සහකාර මැතිවරණ කොමසාරිස්ලාට දුන්නාට ඒවා සැලකිල්ලට ගෙන තිබුණ් නෑ. එදා වැරැුදි ආකාරයට සීමා නීර්ණය කළ නිසා බොහෝ දේශපාලන පක්‍ෂ මෙයට විරුද්ධයි.

පරණ ක‍්‍රමයට ඡුන්දය තියන්න කියා පක්‍ෂ කීපයක් කියනවා. ආණ්ඩුවේ  ඉන්න ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ මෙහිදී විශේෂයි. එහෙම බැලූවාම තාම එකඟතාවක් නැහැ.

ප‍්‍රශ්නය: වසර දෙකක් තිස්සේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරාගෙන තිබෙනවා. තවත් එහෙම නොකර පවතින ක‍්‍රමයට ඡන්දය නොතියන්නේ ඇයි?

පිළිතුර: එ.ජා.පයේ අපිත් කැමැතියි පරණ ක‍්‍රමයට පළාත් පාලන ඡුන්දය  පවත්වනවානම්. අපිටත්  ඕන ඡන්දය ඉක්මනින් තියන්න.

ප‍්‍රශ්නය: එහෙම නම් කවුද ඡන්දය තියනවාට අකැමැති?

පිළිතුර: ආණ්ඩුව ඇතුලේ විවිධ කොටස් ඉන්නවා. ආණ්ඩුවේ  ඉන්න ශ්‍රී.ල.නි.ප කොටස කියන්නේ කොට්ඨාස ක‍්‍රමයට ඡන්දය තියන්න කියලයි. මෙතන පොඩි මතභේදයක් නැත්තෙත් නෑ. ඒවත් එක්ක තමා මැතිවරණය පමා වෙන්නේ.

ප‍්‍රශ්නය: ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්ව දෙකට එකඟතාවකින් කටයුතු කරන්න බැරි තත්ත්වයක්ද තිබෙන්නේ?

පිළිතුර: මේ මැතිවරණ ක‍්‍රමය ගැන පැහැදිලි එකඟතාවක් නෑ.

ප‍්‍රශ්නය: ආණ්ඩුව තබන බොහෝ පියවර කිසියම් අර්බුදයකට ලක්වන බවයි පේනේනේ. මෙහෙම වෙන්නේ ඇයි?

පිළිතුර: සයිටම් අපේ නිර්මාණයක් නෙමෙයි නේ. සයිටම් ඇති කළේ ගිය ආණ්ඩුවෙන්. හිටපු ජනාධිපතිතුමා මේකට මිලියන 600ක ණයකුත් දුන්නා. එතුමා සිසුන් දහදෙනකුට ශිෂ්‍යත්වයක් දී තිබුණා. මෙහි පළමු කණ්ඩායම අවසන් විභාගය කර අවුට් වුණේ අපේ ආණ්ඩුව කාලෙ. අවුරුදු පහක් හයක් ඉගෙනගෙන එළියට එන මේ ළමයින්ට සාධාරණයක් ඉටුකරන්න  ඕන. සයිටම් වහන්න කියා සමහර අන්තවාදී පිරිස් කියනවා. එහෙම කරන්න පුළුවන් ද? දැන් මේ ගැන නඩු තීන්දුවකුත් තියෙනවා. අපි මේක වහන්න ගියොත් අපට හිරෙත් යන්න වේවි.

71, 89 වගේ තත්ත්වයක් අති කරගන්නේ නැතුව හැමදෙනාම එකතුවෙලා මේ ප‍්‍රශ්නය විසඳගන්න  ඕන. වෛද්‍ය සභාවෙන් පවත්වන  ඕනෑම විභාගයකට මුහුණ දෙන්න මේ ළමයි සූදානම් බව කියනවා. මේ අයගේ ප‍්‍රමිතිය ගැන කතා කරන අය ඒකට විරුද්ධ වෙන්නේ ඇයි? මේ ළමයින්ට විභාගය ලියන්න දුන්න නම් ඒ අයගේ ප‍්‍රමිතිය හොඳින්ම බලාගන්න පුළුවන්. අධිකරණ තීණ්දුව අනුව මේ අය වෛද්‍යවරු හැටියට ලියාපදිංචි කරන්න  ඕන. එහෙම වුවත් මේ ළමයි අඩියක් පස්සට ගිහින් වෛද්‍ය  සභාව පවත්වන විභාගයට මුහුණදෙන්න කැමතියි කියා ඔවුන් කියනවා. තම මාස හයක් අවුරුද්දක් සායනික පුහුණුව ලබාගන්නත් ඔවුන් කැමැතියි. සමහරු මේකටත් විරුද්ධයි. එහෙමනම් මෙතන ප‍්‍රශ්නේ ප‍්‍රමිතිය නෙමෙයි. ආණ්ඩුව පෙරළන්න කරන දේශපාලනයක් මෙතන තිබෙන්නේ. අහිමි වූ බලය යළි ලබා ගැනීමේ කෑදරකමෙන් මේ අය නලියනවා.

ප‍්‍රශ්නය: සයිටම් ආරම්භයේ පටන්ම වරද්දාගෙන නේද තිබෙන්නේ. එය නිවැරැුදි නොකරන්නේ ඇයි?

පිළිතුර: අධිකරණ තීන්දුවක් ආවාම අපි ඒකට මැදිහත් වෙන්නේ කොහොමද? අපි මෙහි නීත්‍යානුකූල භාවය, ප‍්‍රමිතිය ගැන අධිකරණයේදී සාකච්ඡුා වූවා. අපි අධිකරණ තීන්දුව පිළිගන්න  ඕන.

ප‍්‍රශ්නය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව වෛද්‍ය උපාධි ලබාදෙන්න පුළුවන්ද?

පිළිතුර: සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නැති නම් ඒ කරුණු අධිකරණයට ඉදිරිපත් කරන්න තිබුණා. වෛද්‍ය සභාව මෙහි පළමු විත්තිකාරයායි. ඔය කියන සියලූ දේ අධිකරණය සලකා බලල තමයි අධිකරණය තීන්දුව දුන්නේ. ඉස්පිරිතාලයක් නැතිව කොතලාවල ආරක්‍ෂක පීඨයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. වෛද්‍ය සභාව කොතලාවල වෛද්‍ය පීඨයට එක් ආකාරයකටත් සයිටම්වලට තවත් ආකාරයකිනුත් කටයුතු කර ඇති බව නඩු තීන්දුවේ තිබෙනවා.

ප‍්‍රශ්නය: මෙහෙම අධ්‍යාපනය, වෛද්‍ය උපාධි මුදලට විකුණන එකයි ප‍්‍රශ්නෙ?

පිළිතුර: ගණකාධිකරණය, කළමනාකරණය, තොරතුරු  තාක්‍ෂණය, ඉංජිනේරු ආදී සෑම අංශයකටම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මේ රටේ තිබෙනවා. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් එවන් ආයතනයක් පටන් ගන්න බැරි ඇයි? විශ්වවිද්‍යාල රජයේ වෛද්‍ය විද්‍යාලවල පමණක් වෛද්‍ය ශිෂ්‍යයන් ඉගෙන ගන්න  ඕන කියන මතය ලෝකයේ කිසිම රටක නෑ. ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිය ගණනක් තිබෙනවා. නේපාලයෙත් එහෙමයි. අද වෛද්‍ය අංශයෙන් කොළඹින් ‘‘ඒ’’ දෙකයි ‘බී’ දෙකයි ගත්තත් වෛද්‍ය විද්‍යාලයට යන්න බෑ. හැබැයි දුෂ්කර පළාත්වලින් ඊට අඩු සාමාර්ථවලටත් වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන්. එහෙම යන්න බැරි අය කියන්නේ උසස් අධ්‍යාපනය ලබන්න පහසුකම් දෙන්න කියලයි. ලංකාවේ පහසුකම් නැති නිසා පිටරට යනවා. ඒ වෛද්‍ය විද්‍යාලයත් කිසි වැඩක් නෑ. මේ නිසා වසරකට මිලියන 8000ක් පිට රටට යනවා. මේවා මේ විරෝධතාකරුවන්ට පේන්නේ නැතිද?

ප‍්‍රශ්නය: සල්ලි තිබෙන එහෙත් උසස් පෙළ හරි හැටි සමත් නොවන අය මේවාට ඇතුළු වී වෛද්‍ය උපාධි ගත්තම ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවන බවට තර්ක කෙරෙනවා නේද?

පිළිතුර: ඒ තර්කය වැරැදියි. සයිටම් එකට ඇතුල්කරපු අයගේ ලිස්ට් අපි ළඟ තිබෙනවා. පළමු කණ්ඩායමේ පමණක් ‘‘එස්’’ තුන හතරක ළමයි කීප දෙනෙක් ඉඳල තියෙනවා. හැබැයි ‘‘එස්’’තුන ගන්න ළමයි ජාතික විශ්විද්‍යාලවලටත් ඇතුළු වෙනවා. ඒ කෝටා ක‍්‍රමය යටතෙයි. කොහොම වුවත් පළමු කණ්ඩායමෙන් පසුව ළමයි ඇතුළත් කර ගැනීමේ කමිටුවේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නියෝජිතයෙක් ඉන්නවා. ඒ අනුව ඉහල මට්ටමේ උසස් පෙළ ප‍්‍රතිඵල අනුවයි ළමයි අරන් තිබෙන්නේ. මේ ළමයින්ට සාධාරණය කරන්න බහුතරය කැමතියි. පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති පාර්ලිමේන්තුවට එන්න බැරි කොටස් විවිධ දේ කරන්න උත්සාහ කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ අය අල්ලාගෙන ඉන්නවා. මම ඒ අයට කියන්නේ රැවටෙන්න එපා කියලයි. මේ අයගෙන් මිදී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න කියා මම ඉල්ලා සිටිනවා.  විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රයට දිය හැකි සෑම දෙයක්ම අපි ලබාදී තිබෙනවා. ශිෂ්‍යාධාර වැඩි කළා. දීමනා වැඩිකළා. ලැප්ටොප් දුන්නා. 2018 වනවිට සියලූ නේවාසික පහසුකම් ලබා දෙනවා. මේ ළමයින්ගේ මවුපියන් කොතරම් මුදලක් මේ අය වෙනුවෙන් වැය කරනවාද? ඒ අය විශාල බලාපොරොත්තු තම දරුවන් කෙරේ තබා තිබෙනවා. ඒ නිසා  ඔවුන් විවිධ බලවේගවලට නොරැවටී අධ්‍යාපන කටයුතු කර ගෙනයන ලෙස ඉල්ලා සිටිනවා.

ප‍්‍රශ්නය: මෙතන වෙන්නේ නිදහස් අධ්‍යාපනය නැති කිරීමට එරෙහි සටනක් නේද?

පිළිතුර: කිසිසේත්ම නෑ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඇති කළේ අපි. එහි වටිනාකම අපි දන්නවා. එය විනාශ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. තවත් වෛද්‍යපීඨ දෙකක් වයඹ සහ රුවන්පුර ආරම්භ කරනවා. එනිසා ළමයින්ට කියන්නේ තම ජීවිත අනාත කරගන්නේ නැතිව අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න කියලයි. 71, 89 දී ජීවිත කීයක් විනාශ වුණාද?

ප‍්‍රශ්නය: ඔය කරුණමයි අනෙක් අයත් කියන්නේ. තවත් ලේ වැගිරීමක් ඇති නොකර මේ ප‍්‍රශ්නය විසඳන්න කියලයි.

පිළිතුර: ඒකට හැමෝම මැද තැනකට එන්න  ඕන. සයිටම් ශිෂ්‍යයෝ මැද තැනට ඇවිත් ඉන්නවා. අනෙක් අයගේ ප‍්‍රතිචාර තමයි නැත්තේ.

ප‍්‍රශ්නය: ලාබ ලැබීමේ අරමුණෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම නතර කරන්නැයි ඉල්ලනවා. ඒ ගැන කියන්නේ මොකක්ද?

පිළිතුර: ඒකත් ඒක තර්කයක්. පිටරට තිබෙන හොඳ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ ලාබ ලබන අරමුණෙන් නෙමෙයි. ඒ අය උපයන මුදල් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවා. එහෙම නොවන විශ්වවිද්‍යාලත් තිබෙනවා. ඇමෙරිකාවේ හැම විශ්ව විද්‍යාලයකම ඔය න්‍යාය නෑ.

ප‍්‍රශ්නය: රුපියල් ලක්‍ෂ 35 පමණ මුදලකට රජයේ වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍යවරයකු බිහිවද්දී සයිටම් හිදී එය කෝටිය පනිනවා. මේකත් ප‍්‍රශ්නයක්.

පිළිතුර: හැබැයි පිටරට ගියාම ඔය වගේ තුන් ගුණයක් වැය වෙනවා. සයිටම් එකට විරුද්ධ අය පිටරට ගිහින් ඉගෙන ගන්න එක ගැන කතා කරන්නේ නෑ. පිටරටට ළමයි යවන ජාවාරම් තිබෙනවා. ඒ අය කැමැති නෑ මේ රටේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කෙරෙනවට. මේක තමයි ඇත්ත. මේවගේ ජාවාරම් කරන අය ශිෂ්‍ය ව්‍යාපාරවලට උදව් කරනවා. නැතිනම් වාහන සිය ගණන් අරන් එන්න මේ අයට මුදල් කොයින්ද? සයිටම් රජයට ගන්න ගියොත් අපිට උසාවි යන්න වේවි. ඒ නිසා කරන්න පුළුවන් දෙයක් ගැන සාකච්ඡුා කරමු.

තව වෛද්‍ය විද්‍යාල දෙක තුනක් බිහිවෙන්න  ඕන. දැනටමත් පිටරට විශ්වවිද්‍යාල කීපයක් වෛද්‍ය පීඨ ඇරැුඹීමට ලංකාවට ඒමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා. තවම එකකටවත් අනුමැතිය දී නැහැ.

ප‍්‍රශ්නය: ආණඩුව ගොඩනැගීමට පෙරමුණ ගත් රතන හිමි දැන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත චෝදනා එල්ල කරනවා. මේවා නිකම්ම බැහැර කළ හැකියිද?

පිළිතුර: උන්වහන්සේ අලූත් දේශපාලන ගමනක් අරඹා තිබෙනවා. ඒක මොකක්ද කියා හරියට කියන්න බැහැ. ඉස්සරහට බලමු මොකක්ද වෙන්නේ කියා. ඔය ගමන සාර්ථක වෙන්නැති බව නම් පැහැදිලියි. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියා කතාවකුත් තිබෙනවා නේ.

ප‍්‍රශ්නය: අලූත් ව්‍යවස්ථාව නිර්මාණයත් ආණ්ඩුවේ අනෙක් වැඩ වගේම අර්බුදයකට ලක්වෙලාද?

පිළිතුර: මහින්ද යුද්ධය කාලයේ කිව්වේ 13ට වැඩියමක් දෙන්න  ඕන කිව්වා. යුද්ධයෙන් පස්සේ ඒ ගැන ඇසුවාම ඒක මට කරන්න බැහැ කිව්වා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ගන්න ඔහුට බැරිවුණා. බොහෝ දෙමළ දේශපාලන පක්‍ෂ එය වර්ජනය කළා. දැන් අපේ ආණ්ඩුව යටතේ සියලූ පක්‍ෂ මේ මෙහෙයුම් කමිටුවේ ඉන්නවා. ද්‍රවිඩ කණ්ඩායමුත් ඉන්නවා. ඒ ප‍්‍රථම වතාවට මේ අය  අන්තවාදී අදහස් අතහැර මැද තැනකට ඇවිත්. ඒ අය කියන්නේ 13 ශක්තිමත් කරන වැඩ පිළිවෙළකට යන්න කියලයි. මේක හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව පැහැර හැරියොත් යළි එවන් අවස්ථාවක් එන්නේ නැහැ. අලූත් ව්‍යවස්ථාවක් හදන්න ජනවරම අපට තිබෙනවා. අපි ජනමත විචාරණයකට යනවා. එවැන්නකට යන්න බය වෙන්නේ මොකටද? ජනතාවගෙන් අහලා කළාම ප‍්‍රශ්නය අවසන්. හොර රහසේ වැඩ නෑ.