මේ රටේ අලූත් දේශපාලන පරිසරය තුළ ජනතාව මහත් බලාපොරොත්තු සහ අපේක්ෂා තබාගෙන තිබුණි. රටේ සැබැවින්ම යහපාලනයක් ස්ථාපිත වන ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ඇතිකරන සහනදායී, පහසු, යහපත් ආර්ථික දේශපාලන පරිසරයක් නිර්මාණය වේ යන්න බහුතරයේ අපේක්ෂාව වුණි. අලූත් ආණ්ඩුවේ දේශපාලන රටාවට ‘‘යහපාලනය’’ නැමැති නම තබන්නේ ඒ නිසාය. යහපාලනයෙන් අප බලාපොරොත්තු වූ කරුණු කාරණා බොහොමයක් තිබුණත් එකී කරුණු කොතරම් දුරට ඉටුවී තිබේදැයි අද නැවත සිතා බැලිය යුතුය.
ජනාධිපතිවරයා බලයට පත්වී වසර දෙකක් ඉක්මවා ගොසිනි. ආණ්ඩුව පිහිටුවාද සෑහෙන කාලයක් ගෙවී ගොසිනි. ඒ අනුව මේ අයට මෙම දේශපාලන ක‍්‍රියාවලිය කිරීමට ඉඩ ඇත්තේ තවත් වසර තුනක් හෝ තුනහමාරක් වැනි කාලයකි. තිබූ පාලනය වෙනස් කිරීමට 2015 දී ජනතාව තීන්දු කළේ ඇයි? රාජපක්ෂ පාලනය යටතේ පැවති ඇමැති මණ්ඩලය සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැරැුදි සහගත සහ දූෂිත පාලනය එම ආණ්ඩුව පරාජයට හේතුවුණි. වත්මන් පාලනයට යහපාලනය යැයි කියන්නේ එදා පාලනය අව පාලනයක් වූ නිසාය.
රටේ පැවැති දූෂණය පිළිබඳ එදා ආණ්ඩුවට චෝදනා එල්ල වුණි. හොරෙන් එතනෝල් ගෙන්වීම, කුඩු විශාල වශයෙන් ගෙන්වන පරිසරයක් දක්නට තිබුණි. උසාවිවලට ගල් ගැසූ අය ගැන කතා කෙරිණ. උද්ඝෝෂණවලට වෙඩි තැබූ අය ගැන වේදිකාවල කියූ බව මතකය. සුදු වෑන් සංස්කෘතිය උළුප්පා දැක්වුණි. දළදා මාලිගාව වටා කාර් රේස් පැදීම ගැන කතා කළහ. එදා සිටි පාලකයන් ගෙදර යවන්නේ මෙකී කරුණු කාරණා සමගය.
මේ රටේ දේශපාලන පරිවර්තනයට සෘජුවම දායක වූ සිවිල් සංවිධාන හා වෘත්තීයවේදීන් සහ අනෙක් ජනතාව නම් කළ, චෝදනා කළ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවෙන් කීදෙනෙක් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු වශයෙන් කටයුතු කරනවාද? එය පවතින ප‍්‍රධාන ගැටලූවකි. 2015 දී රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යවන්නේ මේ කියන්නාවූ ඇමැතිවරුන්ගේ වැරැුදි නිසාය. එදා රාජපක්ෂ ජනාධිපතිවරයා වටා සිටි ගෝලබාලයන් බොහෝදෙනෙක් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුය. ඡුන්දය දුන් සහ ආණ්ඩු පරිවර්තනයට සෘජුවම දායක වූ පාර්ශව මතුකරන ප‍්‍රශ්නයක් තිබේ. එනම් ජනවාරි අට කළ වෙනස කුමක්ද කියාය. ඉන්පසු මහ මැතිවරණයෙන් එජාපයට බහුතරයක් දී රජයක් නිර්මාණය කිරීම හරහා කළේ කුමක්ද? දූෂිතයන්ට සුදු පිරුවට අන්දවා නැවත ඇමැතිවරු කිරීම යහපාලනය යනුවෙන් බලාපොරොත්තු වූවාද? ශ්‍රීලනිපය ඉවත් කර නිර්පාක්ෂික ජනාධිපතිවරයකු යටතේ එජාප ආණ්ඩුවකින් රට පාලනය කිරීමේ අපේක්ෂාවක් තිබුණි.
එහෙත් අද වනවිට ජනතාව නිර්මාණය කළ නිර්පාක්ෂික ජනාධිපතිවරයා නැත. ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ නායකයකු බවට පත්ව අවසන්ය. බලාපොරොත්තුවූ එජාප ආණ්ඩුවද නැත. එජාප ආණ්ඩුවට වඩා ප‍්‍රබලව ආණ්ඩුවේ ශ්‍රීලනිප අය ඉස්මතුව තිබේ. මේ පසුබිම යටතේ ජනතාව බලාපොරොත්තු වූ සාධක දෙකම නැත. මේ තත්ත්වය යටතේ අද රටේ තිබෙන්නේ සැබෑ යහපාලනයක්ද යන ප‍්‍රශ්නය මතුවනු ඇත. මේ ආණ්ඩුව නියෝජනය කරන යම් යම් ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශ ඉතා නරකය. ආණ්ඩුවේ සියලූ වරප‍්‍රසාද ලබමින් මේ අය එළියේ ප‍්‍රකාශ කරන්නේ මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවනවා කියාය. ඔවුන්ගේ ආණ්ඩුවක් හදනවා කියාය. එය ඉතා අසාධාරණ කරුණකි. ඒ වගේම මේ ආණ්ඩුවේ තිබෙන සාමූහිකත්වය දැඩිලෙස පළුදු වීමට ද මේ කාරණා බලපානු ඇත.
එක් පැත්තකින් ඇමැතිවරුන් ගන්නා තීරණ ජනාධිපතිවරයා එක පෑන් පහරකින් වෙනස් කරන අවස්ථා දක්නට තිබුණි. මේ නිසා එම ඇමැතිවරු ජනතාව ඉදිරියේ අපහසුතාවට පත්වනු ඇත. ඒවගේම සමහර ඇමැතිවරුන් ගන්නා තීරණවලට එරෙහිව ඇමැති මණ්ඩලයේම ඇතැම් ඇමැතිවරුන් දැඩි ප‍්‍රකාශ එළිපිට නිකුත් කරනු දක්නට පුළුවන. මේ ක‍්‍රියා නිසා ඇමැති මණ්ඩලයේ සාමූහිකත්වයට විශාල හානියක් සිදුව තිබේ. හිටපු ජනාධිපතිගේ පාර්ශවකරුවකුගේ මුදල් ප‍්‍රමාණයක් බැංකුවකින් නිදහස් කර ගැනීමට වත්මන් ජනපතිගේ සමීපතමයන් බලපෑම් කළ බවට පසුගියදා අසන්නට ලැබුණි. මේ කිසිවක් 2015 දී මෙරට ඡුන්දදායකයන් බලාපොරොත්තුවූ කරුණු නොවේ. එනිසා තමන් බලයට පැමිණියේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සහ සිවිල් සංවිධානවල වුවමනාවට බව පාලකයන් මතක තබාගත යුතුය. ජනතාව මේ අයට බලය දුන්නේ මේවා කිරීමට නොව රටේ සැබෑ යහපාලනයක් ස්ථාපිත කිරීමටය. ඒ බලාපොරොත්තුවූ යහපාලනය මේ රට තුළ දිනෙන් දින ක්ෂය වෙමින් පිරිහෙමින් යන බව කනගාටුවෙන් වුව කිව යුතුය.
මේ තත්ත්වය යටතේ වැඩියෙන්ම අසාධාරණයට සහ අපහසුතාවට පත්ව සිටින්නෝ එජාප මැති ඇමැතිවරු සහ එජාප පාක්ෂිකයෝය. මැති ඇමැතිවරුන්ට තම පාක්ෂිකයන් වෙනුවෙන් වැඩක් කළ නොහැකි තත්ත්වයක් තිබේ. ඒ නිසාම ඔවුන්ට ගමට යාමට නොහැකි පසුබිමක්ද නිර්මාණය වෙමින් තිබේ. විපක්ෂයේ සිටිමින් විඳපු දුක විඳින තැනට පාක්ෂිකයන් තල්ලූවී ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන. නම්, ගම් සංකල්ප කොතරම් ලස්සන වුවද ඒවා පිම්බීමට කොතරම් උත්සාහ කළත් ඒවායේ යථාර්ථය ඉතා අමිහිරි සහ කටුක බව තේරුම් ගත යුතුය. මෙරට දේශපාලන ඉතිහාසයේ වඩා කලකිරුණු ඡුන්දදායකයන් සිටින්නේ 2015 න් පසුව බව මාගේ පෞද්ගලික අදහසය.
එක් පැත්තකින් ඡන්දදායකයා මෙලෙස කලකිරෙද්දී දේශපාලනික වශයෙන් මේ අයට යම් යම් අසාධාරණකම් සිදුවුවත් රටට යහපතක් විය යුතුය. එජාප න්‍යාය පත‍්‍රය හැමවිටම ධනවාදීය. ආර්ථික කළමනාකරණයට සැබෑ දක්ෂයන් එජාපය හැටියට පිළිගැනුණි. ඒ පරිසරය යටතේ මේ රටේ සෝබන නැතිනම් භෞතික සංවර්ධනය වෙනුවට සැබෑ න්‍යායාත්මක සංවර්ධනයක් ඇතිවේය යන බලාපොරොත්තුව තිබුණි. ඒ සංවර්ධනය කිරීමට තිබූ එකම උපාය සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමය. රාජපක්ෂ පාලනය වත්මන් පාලනයට රට බාරදෙන්නේ දැඩිලෙස දුබලවූ බෙලහීන වූ ලෙඩෙක් හැටියටය. ණය වලින් හිරවූ සමාජ හා සංස්කෘතිකමය වශයෙන් පිරිහුණු සාරධර්ම කඩාවැටුණු පරිසරයක වත්මන් පාලනය බලයට පැමිණියේය. මේ අසහනකාරී පරිසරය වෙනස් කර සුන්දර පරිසරයක් යටතේ විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවට තිබූ අභියෝගයකි.
මේ රටේ සමාජ දේශපාලන පරිසරයේ ප‍්‍රවණතා ලෝකයට පෙන්වීමට තිබුණි. හැත්තෑ හතේ දේශපාලන පරිසරයත් සමඟ මේ රටේ මහා විශාල වෙනසක් වූවා සේ 2015 වෙනසත් සමඟ එවන් පරිවර්තනයක් සිදුවේ යැයි බහුතරයේ විශ්වාසය වුණි. 2015 පරිවර්තනයෙන් සතියක් ගතවීමට පෙර එම පරිවර්තනයේ වාසි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් වන ඒකාබද්ධ විපක්ෂය ඩැහැගන්නා ස්වරූපයක් දක්නට තිබුණි. ඔවුන් දිගින් දිගටම දේශපාලනික චරිත බවට පත්වුණි. දේශපාලනික ක‍්‍රියාකාරීන් හැටියට මොවුහු එළියට පැමිණ වත්මන් ආණ්ඩුවට විශාල බලපෑමක්, තර්ජනයක් සහ පීඩනයක් ඇති කළහ. එම පීඩනය දිනෙන් දින වැඩිවෙමින් පවතින ආකාරයක්ද දැකගත හැකිය. ජනවාරි පෙබරවාරි මාස දෙකේ දින 59 කදී කොළඹදී උද්ඝෝෂණ 49 ක් සිදුවීම මෙයට හොඳම උදාහරණයකි. ඒවගේම සෑම දිනකම ආණ්ඩුවෙන් එක් මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත්වනවිට මේ ඒකාබද්ධ විපක්ෂයෙන් අඩුම තරමින් මාධ්‍ය ප‍්‍රකාශ පහක් හයක් මාධ්‍යවල දැකගත හැකිය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ ගණනාවක් ඇති නිසා මේ අය වෙන් වෙන්ව මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම හරහා මොවුන් මාධ්‍ය ජයගෙන තිබේ. ජනතාව බලාපොරොත්තුවූ දේශපාලනික හා ආර්ථික පුනරුදය කිරීමට මේ ආණ්ඩුවට ශක්තියක් නැති බව මේ ක‍්‍රියාවලිය හරහා සමාජ ගතවී තිබේ. සෑම තැනකම කුමන හෝ අරගලයක් ඇති පරිසරයක් දක්නට තිබුණි.
ඒ වගේම මේ රටට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට තවම අපට හැකිවී නැත. සැබෑවටම මෙයට වගකිවයුතු වන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. ඔවුන් නිර්මාණය කරන මේ අසහනකාරී වාතාවරණය යටතේ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් නැත. වෘත්තීය සමිති බලවේගය ඉතා ශක්තිමත්ය. මේ ක‍්‍රියාවලි හරහා මෙරට ආර්ථික ප‍්‍රවණතාව අඩි දෙකක් ඉදිරියට තබන විට අඩියක් පසුපසට ගැනීමට සිදුව තිබේ. එනිසා බලාපොරොත්තු වූ තරමින් ආර්ථික කටයුතු ඉදිරියට ගොස් නැත. ඡුන්දදායකයන්ට ඇතිවී තිබෙන දෙවැනි කලකිරීම වන්නේ එයයි.
තත්ත්වය එසේ වෙද්දී සහ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට යම් යම් චෝදනා තිබෙද්දීත් ටික දෙනෙක් එක්වී හෝ කියූ දේවල් කරාවි යන අපේක්ෂාව තිබුණි. දෙවැනි වතාවටත් වත්මන් ජනපති දේශපාලනයට එන බවට කතා තිබේ. මෙවන් කතා ඇසෙන විට අතීතයේ අප අත්විඳි දේ යළිත් සිදුවෙමින් පවතිනවාද යන ප‍්‍රශ්නය මතුවනු ඇත. එදා ¥ෂණ වංචා ගැන කතා කළ ද මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට කෝටි ගණන් වෙන් කරන කතාද අද අසන්නට තිබේ. ටෙන්ඩර් මගඩි ගැන වේදිකාවේ අසන්නට තිබේ. මේ කරුණු දේශපාලනයේ කාවැදුනු ඒවාද? මේවා වෙනස් කළ නොහැකිද? උනුත් එකයි මුනුත් එකයි කියන දේශපාලන පරිසරය යළිත් ගොඩනැගෙමින් තිබෙනවාද? එසේ නම් අප ඡුන්දය දෙන්නේ ඇයි කියන ප‍්‍රශ්නය ඡුන්දදායකයන් මතුකරන තත්ත්වයක් නිර්මාණයවී හමාරය. ඒ හරහාද ඡුන්දදායකයන්ට ඇතිවී තිබෙන්නේ කලකිරීමකි. පොදුවේ ගත්විට මේ රටේ ඡුන්දදායකයන් බරපතළම කලකිරීමකට සහ මානසික කඩා වැටීමකට ලක්වූ අවධියක රට තිබෙන බව කිව යුතුය. එනිසා දැන්වත් ඉදිරි වසර කීපයේදී තමන්ගේ වගකීම ඉටුකිරීමට සහ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට දෙපාර්ශවයම කැපකිරීම් කළ යුතුය. මෙතෙක් කල් ජනතාව කැප කිරීම් කළ අතර මින් එහාට පාලකයන් කැප කිරීම් කළ යුතුය. මේ රටේ ජනතාව දේශපාලන පරිවර්තනයට එක්වුණේ කුමන හේතු මතද යන්න ඒකාලයේ තිබූ මාධ්‍ය නිවේදන, රැුස්වීම්, කියූ කරුණු දෙස බලා පාලකයන් මතක් කරගත යුතුය.
ඒ වගේම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් රට තුළ දේශපාලන ආර්ථික විනයක් තිබිය යුතුය. උද්ඝෝෂණ කිරීමේ අයිතිය තිබීම ඉතා හොඳය. සුදු වෑන් නැතිවීම හොඳය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සියල්ලගේම කැමැත්ත නොවේ. බහුතරයේ කැමැත්තයි. බහුතරයේ කැමැත්තට සුළුතරයක් හානි කරනවා නම් ඒ සුළුතරය පාලනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කිරීමක් නොවේ. එසේ පාලනයෙන් කරන්නේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුරැුකීමය. යහපාලනය යන කොන්දේසිය යටතේ සියල්ල සිදුවෙද්දී අහක බලාගෙන සිටීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නැත. ජනතාවගේ  ඕනෑ එපාකම් වෙනුවෙන් මීට වඩා මැදිහත්වීමක් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. යථාර්ථය පෙන්වන ප‍්‍රචාරණයකට යාමට ද ආණ්ඩුවට සිදුවන බව පැහැදිලිය. එසේ නොවුණොත් එකම බොරුව යළි යළිත් කීම හරහා ජන මනස තුළ බියකරු පරිසරයක් නිර්මාණය විය හැකිය. ආණ්ඩුවේ මාධ්‍ය පරිහරණය ඉතා දුර්වලය. ඒ ගැනද ආණ්ඩුව සිතිය යුතුය. ඉදිරි වසර තුනේ රටේ යහපතක් වීමට නම් ඉදිරි මාස හයකදී අවශ්‍ය කටයුතු කර ගැනීමට ආණ්ඩුවට නොහැකි නම් එතැනින් එහාට මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ අවශ්‍යතාවක් ඇති නොවන්නට පුළුවන. ජනතාව ඉතා සියුම්ව මේවා දෙස බලාසිටින බව ද අමතක නොකළ යුතුය. පැරැුණි ක‍්‍රියාවලියම ඊට වඩා නරක ලෙස කරන්නට මේ අය උත්සාහ ගතහොත් 2015 වුණාට වඩා ප‍්‍රබල ජනතා පිබිදීමක් සහ සිවිල් අරගලයක් මේ රට තුළ නිර්මාණය වන්නට පුළුවන. මෙහිදී ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබේ. දුන් පොරොන්දු ඉටු කිරීමට යොමුවීමේ අවශ්‍යතාව දැඩිව ඇති බවද කිව යුතුමය. මේ කාරණා වටහාගතහොත් මේ ආණ්ඩුවට නිවැරැුදි වීමට පොඩි කාලයක් තිබේ. එසේ නොවුණහොත් රටේ දේශපාලන, සමාජ, ආර්ථික, පිරිහීමකට ලක්විය හැකිය එය වැළැක්විය නොහැක. මේ ආණ්ඩුව නරක නම් ජනතාව තුන්වැනි බලවේගයකට යොමුවිය හැකිය. එය නැවැත්වීමට කිසිදු ජගතකුට ඉඩක් නැත. ආණ්ඩුව මේවා ගැන සිතනවා නම් ඉදිරි ගමනක් තිබේ.

සටහන
චමින්ද මුණසිංහ