අද මහජනයා අතර අධ්‍යාපනය පිළිබඳ අවධානය වැඩිය. ඇතැම් විට සයිටම් වෛද්‍ය උපාධිය පිළිබඳ පක්ෂ විපක්ෂ උද්ඝෝෂණ ඊට ආසන්න හේතුව විය හැකිය. නිසැකයෙන්ම එම උද්ඝෝෂණ නිසගයෙන්ම වඩා පුළුල් සහ බරපතළ ප‍්‍රශ්න සමග බැඳෙයි. හැරත් සිය දරුවනට හොඳ අධ්‍යාපනයක් ලබා දීම අන්ත දිළින්දාගේ සිට මහ ධනවතා දක්වා හැම ශ‍්‍රී ලාංකිකයකුගේම අරමුණයි. ඒ සමාජ හිණිමෙඟහි ඉහළට නැඟීමෙහි ඒකායන මාර්ගය බැවිනි.
මහජනතාව වඩාත්ම උස් හඬින් ඉල්ලන්නේ ”නිදහස් අධ්‍යාපනය”. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කිමෙක් ද? ඇත්තටම එම පදය භාවිතා වන්නේ වෙනත් අරුතකිනි. එනම් නොමිලයේ දෙන අධ්‍යාපනය වශයෙනි. එහෙත් නොමිලයේ අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය යනුවෙන් එකම අරුත ගෙන නොදේ. ඒවා පර්යාය නැත.
නිදහස් අධ්‍යාපනය රජයෙන් සපයන අධ්‍යාපනය යැයි ද අදහසක් ඇත. එහෙත් අද මුදල් ගෙවීමක් නැතිව සපයන නිදහස් අධ්‍යාපනයක් නැත. රජයේ පාසල් ”නිදහස් අධ්‍යාපනය” සපයන මුත් පාසල් වියදම් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් දරන්නෝ දෙමාපියෝය. පහසුකම් ගාස්තුවලට අමතරව නා නා හේතු මත අභිමතානුකූලව එකතු කරන සම්මාදම් රැුසකි. හැරත් පාසලෙන් බාහිර උපකාරක පන්ති ගාස්තු ද ඔවුන් විසින් ගෙවිය යුතුය. මෙයට අමතරව පාසල් යන වයසේ සිසු සිසුවියෝ අනල්ප සංඛ්‍යාවක් අද පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබති. පූර්ව පාසල් අධ්‍යාපනය සියයට සියයක්ම වාගේ පෞද්ගලික අංශයේය. එහි ප‍්‍රමිතියක් ගුණයක් ඇත්තේම නැති තරම්ය. අවාසනාවට එය අධ්‍යාපනවේදීන්ගේ හෝ ගුරු සංගම්වල හෝ සැලැකිය යුතු අවධානයකට මෙතෙක් ලක්ව නැත. තෘතීය අධ්‍යාපනය ගතහොත් සරසවි පිවිසුමට වරම් ඇතිව උසස් පෙළ සමත් වන දරුවන්ගෙන් සරසවියට පිවිසිය හැකි වන්නේ සියයට 16ක් පමණ සුළු ප‍්‍රමාණයකට පමණකි. ඒ අතර වෙදකම හැර හැම විෂයක්ම උගන්වන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කෙළවරක් නැත.
දරුවන්ට ඉගැන්වීමට යන සියලූ වියදම් රජය දැරුව ද එයත් නිදහස් අධ්‍යාපනයක් නොවනු ඇත. මන්ද යත් නිදහස සහ අධ්‍යාපනය යනු අවියෝජනීයව බැඳුනු සංකල්ප දෙකක් හෙයිනි. අධ්‍යාපනය සරුවට පවතින්නේ නිදහස් වාතාවරණයක් තුළ පමණකි. බලහත්කාරය හෝ කවර ආකාරයක හෝ පීඩනය අධ්‍යාපනයෙහි අරමුණක් වන නිර්මාණශීලිත්වයට බාධා පමුණුවයි. එසේම අධ්‍යාපනය සකලවිධ අවිද්‍යාත්මක මතිමතාන්තර සහ මිථ්‍යා බැහැර කළ යුත්තකි. එසේ නම් ස්වාභාවික සහ අධි මානව බලවේග පිළිබඳ අන්ධ විශ්වාසය සහ භක්තිය ජනිත කරවන ඉගැන්වීම් පාසල් විෂය මාලාවන්ට සහ කාර්ය පටිපාටිවලට ඇතුළත්ව ඇත්තේ කෙසේ ද? කිසියම් මානසික සුවයක් හැරෙන්නට ජප මාල හා සුර පැළැඳීමෙහි, බෝධි පූජාවන්හි සහ ශාන්ති කර්මයන්හි ශික්ෂණ වටිනාකම කුමක් ද? අද ඇතැම් පාසල් බලධාරීහු විෂය නිර්දේශ ඉගැන්වීම නොසලකා හැරිය ද ප‍්‍රසිද්ධ විභාග ආසන්නයේ ඉහත සඳහන් පරිදි බෝධි පූජා ආදිය මහත් ප‍්‍රසිද්ධියක් සහිතව පවත්වති.
අධ්‍යාපනය මානව අයිතියකි. හැම දරුවකුටම යහපත් පුරවැසියකු ලෙස ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාපනයක් සහතික කැරීම රජයෙහි වගකීමකි. අධ්‍යාපන බර පැන රජයෙන් දැරුව ද පෞද්ගලික අංශයෙන් දැරුව ද මෙම වගකීමෙන් රජයට අත පිස දා ගත නොහැකියි.
ඉතිහාසමය වශයෙන් සලකා බැලීමෙහි දී මානව සමාජයෙහි මුල් යුග තුළ අධ්‍යාපනය ධනවතුන්ට හෝ පාලකයන්ට සීමා වූ බව පෙනේ. එය ඉන්දියාවෙහි මෙන් බ‍්‍රාහ්මණයනට හෝ ග‍්‍රීසියෙහි මෙන් වහල් හිමියනට සීමාව පැවැතියේය. අධ්‍යාපනය වඩා පැතිරෙන්නට පටන් ගත්තේ සමාජයෙහි නිෂ්පාදන බලවේග සංවර්ධනයට සමාන්තරව. අද අප දකින මහජන අධ්‍යාපනය ධනපති සංවර්ධනයෙහි ඵලයකි. ධනපති ක‍්‍රමයට සිය කම්හල් නඩත්තුවට සහ පාලනයට මෙන්ම රාජ්‍ය පරිපාලනයට ද උගත් පිරිස් අවශ්‍ය වෙයි. බෙහෙවින් කතාබහට ලක්ව ඇති කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ දෙස ද බැලිය යුතු වන්නේ එම දැක්මෙනි. කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වූයේ නැත. එය අතරමඟ නතර වීය. එය ව්‍යාප්ත වූයේ වත් වඩා ගැඹුරු වූයේ වත් නැත. එය ද මෙරට ධනපති සංවර්ධනයෙහි ඌනතාවලම ප‍්‍රතිඵලයකි.
දැන් අපි අධ්‍යාපනයෙහි ගුණය සහ අන්තර්ගතය විමසා බලමු. අප නිදහස දිනා වසර 70කට ආසන්න වෙතත් මෙතෙක් අපට ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැත. ආණ්ඩු වෙනස් වීමත් සමඟ පමණක් නොව එකම ආණ්ඩුවෙහි විෂය භාර ඇමැතිවරයා වෙනස් වීමත් සමඟ පවා අධ්‍යාපනයෙහි පැලැස්තර වෙනස්කම් සිදු කැරෙයි. ඒවායෙහි විධිමත්භාවයක් හෝ විචාරයක් හෝ ඇතැයි සිතා ගත නොහැකිය. නිත්‍ය වශයෙන් සිදු වන්නේ අධ්‍යාපන බර පැන මවුපියන් කර මත වැඩි වැඩියෙන් පටවන්නට ලෝක බැංකුව සහ ජගත් මූල්‍ය සංවිධාන දෙන උපදෙස් ක‍්‍රියාවට නැඟීම පමණකි.
ඇමැතිවරුන් සහ නිලධාරීන් සුන්දර සිතුවම් පෙන්වුව ද අධ්‍යාපන ඉඩප‍්‍රස්ථාවන්හි පවත්නා  අසාධාරණය දැවැන්තය. සිසුන් 440,000ක් ඉගෙනුම ලබන 1,000ක් පමණ පාසල් සංඛ්‍යාවෙන් උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමෙහි පහසුකම් ඇත්තේ පාසල් 350ක පමණකි. මෙසේ රජය විසින්ම සිසුන් බහුතරය කලා විෂයන්ට කොටු කැරැු තිබියදී මැති ඇමැතිවරු සහ නිලධාරීහු ප‍්‍රසිද්ධියේ කලා විද්‍යාර්ථීන් හෙළා දකිමින් ඔවුනට ගරහති. මෙම ඝෝෂාකාරී විවේචකයෝ බොහොමයක්ම කලා හෝ මානව ශාස්ත‍්‍ර හෝ විෂය හදාරා සමාජයෙහි ඉහළ තැන්වලට පත්වූවෝ වෙත්. මෙයට වඩා සාහසික අසාධාරණයක් පැවැතිය හැකි ද?  
ජාතික අනන්‍යතාවක් හදා ගැනීමටත්, ජාතික සමගිය සහ සන්හිඳියාව ඇති කිරීමටත් අප අසමත් විනැයි ළත වන වාර එමටය. එහෙත් එම අරමුණු සඳහා අප කොතෙක් දුරට අධ්‍යාපනය උපයෝගී කැරැු ඇත් ද? අනෙක් අතට, අධ්‍යාපනයෙහි අන්තර්ගතයට අප විසින් ජාතික සමගියට හානිකර කරුණු ඇතුළත් කැරැු ඇතිවා පමණක් නොව ඉතිහාසය පවා වැරැුදිව අර්ථ නිරූපණය කැරැු ඇත. එසේම ජාතික සමගියට හිතකර කරුණු වසන් කිරීමක් හෝ බැහැර කිරීමක් ද සිදු නොවිනැයි කිව නොහැකිය.
අපේ අධ්‍යාපනය ගුණය අතින් ද බෙහෙවින් නොදියුණුය. හොඳම බුද්ධිමත්හු අධ්‍යාපන ක්ෂේත‍්‍රයට නොපිවිසෙත්. එයට බොහෝ දෙනා පිවිසෙන්නේ වෙනත් රැුකියාවක් ලැබෙන තෙක් කල් බැලීමටය. වඩා සරු රැුකියාවක් දුටු තැන ඔවුන් පළා යන්නේ පැදුරටත් නොකියාය. එපමණක් නොව බොහෝ ගුරු භවතුන් පසුවන්නේ අසන්තෝසෙනි. ඒ වැටුප් මදිකම නිසාය. අප කලාපයේ අඩුම වැටුප් ලබන්නෝ අපේ රටේ ගුරුවරුය. පෞද්ගලික අංශයෙහි උපකාරක පන්ති ව්‍යසනයටත් එක් හේතුවක් එයයි.
ගසක් වවන්නට එක් මිනිසකුට හැකි අතර වනාන්තරයක් හදන්නට ගමක් අවශ්‍ය කැරෙන මුත් එක් දරුවකුට අධ්‍යාපනය දීමට සමාජයක් අවශ්‍ය යැයි පැරැුණි චීන කියමනක් තිබේ. අධ්‍යාපනය පිළිබඳ සමාජයෙහි වගකීම එම කියමනෙන් විචිත‍්‍රාකාරයෙන් දැක්වෙයි.
අධ්‍යාපනයට සාර්වත‍්‍ර ප‍්‍රවිෂ්ටයක අවශ්‍යතා එයින් ගම්‍ය වන්නේය. අධ්‍යාපන සැලැසුම් සැකැසීමෙහි දී ආර්ථිකයෙහි අවශ්‍යතා විශේෂයෙන් සැලැකිය යුතුය. අනෙක් අතට, ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අවම මානව සම්පත් වත් අධ්‍යාපනයෙන් සැපැයිය යුතුය. එහි ලා අප අසමත් වීමෙන් ජනිතව ඇති විෂමතා බොහෝය. නිදසුනකට දැනුවත් කෘෂිකර්මාන්ත විශේෂඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ හිඟයක් පවත්නා මුත් කෘෂිවිද්‍යා අංශයේ ගෞරව උපාධිධාරීහු වාණිජ ව්‍යාපාරයන්හි කළමනාකාර තනතුරුවල නාකි වෙත්. ශ‍්‍රී ලංකාවෙහි වයස්ගත ජනගහනය වැඩි වුව ද ඔවුනට ප‍්‍රතිකාර කිරීමෙහි විශේෂ ප‍්‍රාගුණ්‍යය සහිත වෛද්‍යවරුන් හිඟය. මෙරට අපරාධ වැඩි වුව ද අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇත්තේ අතලොස්සකි. මේවා ද නිවැරදි කළ යුතු විෂමතාය.
කෙසේ වෙතත් අධ්‍යාපනය ගැන හිතා බලන්නට සහ හරිගස්සා ගන්නට දේ බොහෝය. ලෝකෙන් උතුම් රට බිහිවන්නේ එදිනය.