ගැටුමකදී හෝ යුදමය අවස්ථාවකදී මතුවන එක් තීරණාත්මක තත්ත්වයක් වන්නේ තමන් සිටින තැනින් ආපස්සට යා නොහැකි අර්බුදකාරි තැනකට  පැමිණීමය. මෙයින් අදහස් වන්නේ දැනට සිටින තැනින් ආපස්සට යාම යනු කිසිලෙසකින්වත් සිදු කළ නොහැකි අනතුරුදායක දෙයක් බවට පත්වීම ය.

යුද්ධයකදි මේ තත්ත්වයට කියන්නේ point of no return කියාය. අද අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් සිදු කළ හැකි වැදගත් නිරීක්ෂණයක් වන්නේ මේ කියන ‘ආපසු හැරෙන්න බෑ’ තත්ත්වයට මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය කණ්ඩායම් සියල්ලක්ම පාහේ මේ වන විට හසු වී ඇති බවය. එක් අතකින් ආණ්ඩුවේ සමස්ත  ක‍්‍රියාදාමය පැත්තෙන් බැලූවත් එය පැහැදිලිව පෙනී යයි. අනෙක් අතින් ඒ ඒ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර බල අරගලවල  ස්වභාවයන්ගේ පැත්තෙන් බැලූවත් පැහැදිලිව පෙනෙන්නේ මේ කාරණය මය. මගේ මිතුරකුට අනුව මේ සිදුවෙමින් පවතින්නේ පසුගිය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල මගින්  පෙනී ගිය ආකාරයේ කාටවත්  ‘ඇඩ‍්‍රස් නැති තත්ත්වය’ මේ වන විට ‘ආපසු හැරෙන්න බැරි’ තත්ත්වයකට වර්ධනය වීමය.

අද රට මුහුණ දෙන දේශපාලන අපැහැදිලිතාවයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ මේ ආකාරයේ ‘අඩියක් පස්සට ගන්නට’ නොහැකිවීමේ හේතුවෙන් නිර්මාණය වී ඇති දේශපාලන ගැටලූකාරීත්වය පැහැදිලි කර ගැනීම ය. මගේ මේ සටහනේ මූලික පරමාර්ථය වන්නේ මේ අලූත් තත්ත්වය නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවන බලපෑම පැහැදිලි කිරීම වුවත් සමස්තයක් ලෙසින් රට මුහුණදෙන ගැටලූකාරීත්වය පිළිබඳවත් යම් සඳහනක් කිරීම මෙහිදී වැදගත්ය.

වත්මන් ආණ්ඩුවේ එජා කණ්ඩායම මේ වන විට හඳුන්වා දෙමින් තිබෙන ලිබරල් පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් වෙළඳපොළට සියල්ල තීරණය කරන්නට දෙන ආකාරයේ ආර්ථික කළමනාකරණයත් අද වනවිට දේශපාලන හා ආර්ථික ක්ෂේත‍්‍රයෙන් රටට  ඉස්සරහට යන්නත් බැරි ආපසු හැරෙන්නත් බැරි තත්ත්වයක් ගොඩනඟා තිබීම තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. එජාපයේ දේශපාලන ආර්ථිකය පදනම් වන්නේම ධනේශ්වර වෙළඳපොළ යනු ආර්ථික ව්‍යවසායකයා බවට පිළිගනිමින් ය. සංවර්ධනයේ නියමුවා වන්නේ වෙළඳපොළ ධනවාදය බව පිළිගනිමින් ය. රාජ්‍යය යනු හුදු පහසුකම් සපයන්නකු බවට තටු කැපීමෙන් සහ වෙළඳපොළට තමන් කැමති අයුරින් කටයුතු කරන්නට ඉඩදීමෙන් රට සංවර්ධනය කළ හැකි බව ඔවුන්ගේ පිළිගැනීම බවට සැකයක් නැත. මේ පිළිගැනීමට ගැළපෙන ආකාරයේ උපදෙස් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මේ ආණ්ඩුවට ලබා දෙන බව ද නොරහසකි. ඒ  ආර්ථික උපදෙස් මගින් යෝජනා කරන්නේ රටේ  සම්පත්  හැකි පමණට විකිණිය යුතු හෝ  හෝ බදු දිය යුතු බවයි. හම්බන්තොට වරාය ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය සම්පත් වෙන්දේසි කරන්නට වෙන තැනට මේ තත්ත්වය මේ වන විටත් වර්ධනය වෙමින් තිබෙන අතර ඒවාට විරුද්ධව නැඟෙන ජනතා උද්ඝෝෂණවලින් කොළඹ නගරය අවුල් නොවෙන සතියක් සොයා ගත නොහැකි ගානට දේශපාලන ආතතියක් (political stress) ද මෝදුවෙමින් පවතී.

ආර්ථික කලාපයේ ආපසු හැරෙන්නට එජාප පාර්ශ්වය සූදානමක් නැතිවා පමණක් නොව මුදල් අමාත්‍යාංශයේ වෙනසක් කිරීමට වත් අකැමැති තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවද ආරංචිය. මේ තත්ත්වය තුළ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රීලනිප සහ එජාපය අතර ගොඩනැඟෙමින් පවතින එකිනෙකට පරස්පරතාව හා පසමිතුරුතාව ඒ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අඩිය පස්සට නොගැනීමේ ප‍්‍රමාණයට තව තවත් වර්ධනය වීමට ඉඩ ඇත. සයිටම් ප‍්‍රශ්නය මගින් පෙනී යන්නේ මේ තත්ත්වයම තවත් ඔඩු දිවීමක් මිස සමහන් වීමක් නොවේ. සයිටම් ප‍්‍රශ්නයේ පාර්ශවකරුවන් ලෙසින් අන්තරයට හා වෛද්‍ය සංගමයට ආපසු හැරෙන්න බැරුවාක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමාද ඇතුළු ආණ්ඩුවටද ආපසු හැරෙන්නට බැරි ගානට දේශීයව හෝ විදේශීයව තත්ත්වය එකිනෙකාට හප්පමින් තිබීම මෙහිදී පැහැදිලිවම පෙන්නුම් කරමින් තිබේ.

අනෙක් අතට ආණ්ඩු කිරීමේදී මේ ‘ආපසු හැරෙන්න බෑ’ න්‍යායට මේ රජය අසුවීමට තවත් එක් හේතුවක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොළඹින් නිර්මාණය වු සිවිල් සමාජයේ නායකයන්ගේ දේශපාලන බුද්ධියෙහි ඇති ඥාන විභාගාත්මක සීමාකම් ය. එසේ දේශපාලන සිතීමේ සීමාකම් කොතෙක් තිබුණද ඒ අය ආණ්ඩුවට ඇති බලපෑමෙහි බරපතළභාවයෙහි නම් අඩුවක් නැති ගානය. මෙතෙක් කාලයක් මෙරට දේශපාලන සමාජයට බලපෑම් කළ සිවිල් සමාජ බුද්ධිමතුන්ගෙන් මේ කියන අලූත් සිවිල් සමාජ නායකයන් තීරණාත්මකව වෙනස් වන හේතු ගණනාවක්ම තිබෙන නමුත් ඒ අතරින් ප‍්‍රධානතම හේතුවක් වන්නේ මේ අලූත් සිවිල් සමාජ කණ්ඩායම්වල අය පෙන්නුම් කරන තමන්ගේ සමාජමය සිතීමෙහි ඇති  අදේශපාලනිකත්වය ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී දේශපාලන අලංකාරිකයන් ලෙසින් දේශීය හා විදේශීය කණ්ඩායම් මේ අයට තනා දුන් සටන් පාඨ වූ දූෂණය හා හොරකම වැනි දේවල්  මේ සිවිල් සමාජ  කණ්ඩායම්වල අය විශ්වාස  කරන්නේ ‘ඇත්තම ඇත්ත’ දේවල් ලෙසින්  ය. දැන් මේ අය ආණ්ඩුවට බලපෑම් කරන්නේ දේශපාලන අලංකාරිකයන් ලෙසින් එදා කියු දේවල් අද ඇත්තටම සිදුකර පෙන්වන ලෙසින්ය. රත‍්‍රං අශ්වයන්ගෙන් පටන් ගෙන ලැම්බෝගිනි හරහා ගලා යන දේශපාලන අලංකාරිකයන් මහපොළවේ දී අල්ලා පෙන්වන  මෙන් ඉල්ලමින් ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්නට සිවිල් සමාජය උත්සාහ කරන්නේ ආපහු හැරෙන්න බැරි ගානට බලපෑම් කරමින්ය.

කොළඹ සිවිල් සමාජයේ මේ දේශපාලනයට කිසිදු ප‍්‍රතිචාරයක් ආණ්ඩුවේ පැත්තෙන් නොලැබීමෙන් පෙනී යන්නේ අලංකාරිකයන් සහ දේශපාලන යථාර්ථයන් අතර ඇති වෙනස තේරුම් ගන්නට ඇති නොහැකියාවේ බරපතළකමය. සිවිල් සමාජ නායකයන් මේ  ආණ්ඩුවේ තනි අයිතිකාරයන් බවට පත්වී ඇති තත්ත්වයක අලංකාරිකමය වූ ‘වැරැදි ඇල්ලීමේ’ පැත්තෙන් ආපසු හැරෙන්න ආණ්ඩුවට කිසිම ඉඩක් ලැබෙන පාටක් පෙනෙන්නට  නැත. වැරැද්දක් ඇතත් නැතත් මහින්දට සම්බන්ධ කෙනෙක් කූඩුවේ තියාගෙන සිටීමට ආණ්ඩුවට සිදුවීම අනිවාර්ය වී තිබෙන්නේ මේ හේතුව නිසාය. ආණ්ඩුවේ කාලය දික්වෙන තරමට කූඩුවේ ඉන්න අයගේ නම් ලැයිස්තුව දීර්ඝවීමට නියමිත ය. තමන්ව හැර අන් හැමෝම කූඩු කිරීමේ වැඩ සටහනකට එජාපයේ ඇමැතිවරුන් ගියහොත් එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අද මේ ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන්ට වත් ඉදිරියේදි මෙයින් ගැලවීමක් ලැබේ යැයි සිතිය නොහැකිය.

‘ආපසු හැරෙන්න බෑ’ න්‍යායේ බරපතළම ගොදුර බවට පත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය සහ  ඒ පක්ෂයට සම්බන්ධව සිටි හා තවමත් සිටින දේශපාලනඥයෝ ය. අනෙක් අතට ඒ පක්ෂයේ සිටි සහ සිටින පාක්ෂිකයෝය.  මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන් පක්ෂයෙන් එළියට ගියේ රාජපක්ෂ පාලනය යටතේ තමන්ට අගමැතිධුරයවත් කවදාවත්ම නොලැබෙනු ඇතැයි සිතු නිසා විය යුතුය. එසේ  එළියට ගොස් තමන්ට අයිති නොවූ පිට්ටනියක සටන් කර ජය ගත් ඔහුට  ජනාධිපති ධුරයේ වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ පක්ෂයෙන්   එළියේ සිටින කෙනකු ලෙසින් නොව ශ‍්‍රීලනිපයේ නිල නායකයා ලෙසින්ය. දැන් මේ තත්ත්වය යටතේ ඔහු සිටින්නේ ආපහු හැරෙන්න බැරි තත්ත්වයන් දෙකක් එකවිට හිස දරාගෙන බව පෙනෙන්නට තිබේ. ඔහුට රාජපක්ෂලා සමඟ දේශපාලන කරන තත්ත්වයකට හෝ තැනකට ආපසු හැරෙන්න බැරි බවක් එක් පැත්තකින් පෙන්නුම් කරන අතර තමන්ගේ ඇඟේ තියෙන දේශපාලනයට කිසිදු අනුකූලතාවක් නැති එජාපය දෙසට  සම්පූර්ණයෙන්ම ආපසු හැරෙන්නට ද නොහැකි බව තවත් පැත්තකින් ඔහුගේ කථා තුළින් පෙන්නුම් කරමින් තිබේ. කොළඹ සිවිල් සමාජය මෛත‍්‍රීට විරුද්ධ වන්නේ මේ දෙවන හේතුව නිසා විය යුතුය. එජාපය පැත්තට සම්පූර්ණයෙන් ආපහු හැරෙන්නට මෛත‍්‍රීගේ හිතේ ඇති විචිකිච්ඡාවට සිවිල් සමාජයේ අය විහිළු කරන්නේ ඒ නිසා ය. දැන් මේ තත්ත්වය විසින් මෛත‍්‍රී ජනාධිපතිතුමන් රැගෙන යන්නේ අනතුරක් වෙතට මිස විසඳුමක් වෙතට නොවේ. මේ දෙපැත්තෙන් එක පැත්තකටවත් ආපහු හැරෙන්න බැරි වීම යනු අනාගතයේ ඇතිවිය හැකි දේශපාලනමය අර්බුදයක පෙර නිමිත්තක්  පමණක් නොව තමන්ගේ වර්තමාන දේශපාලනයේ බරපතළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමක්ද විය හැකි බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

අනෙක් අතට ශී‍්‍රලනිපයේ බහුතර ජනතාවක් විශ්වාස කරන නායකයා බවට පත් වී ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වර්තමාන දේශපාලනය කේන්ද්‍ර ගත වන්නේම මෛත‍්‍රී වෙතට ආපසු හැරෙන්න බැරි තත්ත්වයක් පදනම් කර ගෙනය. ‘මෛත‍්‍රී සමඟ වුවත් වැඩ කළ හැකි බව’ ඔහු ප‍්‍රසිද්ධ සභාවේ කීවත් දේශපාලනමය තේරුමෙන් එවැනි දෙයක් කරන්නට ඔහුට නොහැකි බව දෙපැත්තෙන්ම සිදුවන දේවල්වලින් පෙන්නුම් කරමින් තිබේ. තමන්ගේ බලයට අභියෝග කළ මෛත‍්‍රී සමග එකට යන්නේ කෙසේ දැයි මහින්දට සිතෙනවා විය හැකි අතර රාජපක්ෂලා එක්ක එකට දේශපාලනය කරන්න යාම සිය දිවි හානියක් බඳු යැයි මෛත‍්‍රීට  සිතනවා විය හැකිය. මේ නයි මුගටි කෝන්තරය හරහා ගොඩ නැඟෙන ‘ආපසු යා නොහැකි’ බෙදීම අද දවසේ පමණක් නොව ඉදිරි දශකයේම ශ‍්‍රීලනිපයේ දේශපාලනික ජයග‍්‍රහණ හකුලා දැමීමටද ඉඩ තිබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.

ඉහළ නායකයන්ගේ මේ තත්ත්වය ශ‍්‍රීලනිපයේ දෙවැනි පෙළ නායකයන් අතරින් මතු කෙරෙන්නේ  මීටත් වඩා බරපතළ ආකාරයෙන් ය. පසුගිය මැතිවරණයෙන් මහින්දට මුවා වී ජයග‍්‍රහණය කර වර්තමාන ආණ්ඩුවේ තනතුරු ගත් සමහර  ශ‍්‍රීලනිප මන්තී‍්‍රවරුන්  ඔවුන් එතෙක් කල් මෛත‍්‍රී ගැන කියූ නරක කථා එක රෑට වෙනස් කරන්නට උත්සාහ ගන්නේ යළි කවදාවත් මහින්දගේ පැත්තට හැරෙන්න බැරි බවට සපථ වෙමින්ය. මේ ශ‍්‍රීලනිප ඇමැතිවරුන්ට තම තමන්ගේ දිස්ත‍්‍රික්කවල පාක්ෂිකයන්ගෙන් ලැබෙන නරක ප‍්‍රතිචාරය නිසාම ඔවුන්  ඉන්නේ ‘රාජපක්ෂ කේක් වත්’ කන්නේ නැති ගානට හිත යටින් තරහින්ය. මේ තරහට පාක්ෂිකයෝ හෝ රාජපක්ෂලා හෝ වැරදිකරුවෝ නොවෙති. රට ගැන හෝ පක්ෂය ගැන හෝ හැඟීමකට වඩා තම තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් වැඩ කිරීම හේතුවෙන් ඔවුන් සිටින්නේ තමන් විහින්ම වැටුනු වළක ය. මහින්ද මෛත‍්‍රී එක්විය යුතු බව ඒ අය පෞද්ගලික සාකච්ජාවලදි පිළිගනිතත් එවැනි එක්වීමක දී වුවත් තමන් පරාජයට පත්විය හැකි යැයි භීතියෙන් සිටින නිසා පිටතට පෙන්වන්නේ ආපසු හැරෙන්න බැරි මානසිකත්වයක්ය.

ඒකාබද්ධ විපක්ෂයේ තත්ත්වයද මෙයටම දෙවැනි වන්නේ නැත. එහි සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අතරින් බහුතරය (හැමෝම නොවේ) දේශපාලනය ලෙසින් කරන්නේ ඒ ඒ දිස්ත‍්‍රික්කවල තමන්ට තිබෙන මනාප ඉල්ලම වෙන කාටවත් ගරන්න නොදී රැක ගැනීමය. ‘මැණිකක් රකිනා නා රජිඳකු සේ’ ඒ අය රකින්නේ ඊළඟ මැතිවරණයේ මනාප ඡන්ද ටිකය. මහින්ද වෙනුවෙන් ඉන්නවා කියා කියන්නේ ඒකටය. ඒ නිසාම මෛත‍්‍රී - මහින්ද එක්වූ දේශපාලනයකට ආපසු හැරෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ හුඟක් අයට නොහැකි බව පෙන්වන්නේ ඒ නිසාය.

දැන් මේ ආකාරයට  රටේ දේශපාලනය එක් අතකිනුත්  ශ‍්‍රීලනිපයේ දේශපාලනය අනෙක් අතිනුත් ‘ආපසු හැරෙන්න බැරි’ තැනක හිරකර  තිබෙන මේ ගැටය ලෙහිය හැක්කේ කෙසේද යන්න මේ මොහොතේ ඇසිය යුතු වැදගත්ම ප‍්‍රශ්නයක්ය. එය කරන්නට හැකිවන්නේ ‘රතන සූත‍්‍රය’ යළිත් වරක් ජප කිරීමෙන්ද එසේත් නැතහොත් ‘විද්වතුන්ගේ මඟ’ ගමන් කිරීමෙන්දැයි නිශ්චිතවම කිව නොහැකිය. එහෙත් එවැනි උත්සාහයක් තුළ තිබිය යුතු ප‍්‍රධානම  සාධකයක්  විය යුත්තේ පෞද්ගලික චරිතවලින් පාට නොවුණු දේශපාලන ව්‍යාපෘතියක් බව නම් නිශ්චිතව කිව හැකිය. මේ හැමෝටම ආපසු හැරෙන්න හැකිවන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් මඟ කියන ස්වදේශිකවාදයේ ම දිගුවක් ලෙසින් වූ වාමජාතිකවාදී ප‍්‍රවේශයක් යටතේ හැදෙන  දේශපාලන වැඩ සටහනක් හරහාය.

-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්